Friday, January 8, 2010

A Herb ද, An Herb ද? සුද්දන්ටත් හොල්මන්ද?



ඡායාරුවට ස්තුතිය Denis Defreyne හට

අද අපි බලන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ කවුරුත් මුලින්ම වාගේ ඉගෙන ගන්න, බැලූ බැල්මට simple case එකක් ගැන. ඒ කියන්නේ aසහ anගැන. මේවට කියන්නේ indefinite articles කියලා ඒ දවස්වල ඉස්කෝලෙදි කියල දුන්නා නේද?

ඒක මතක නැතත් මේවා පාවිච්චි වෙන්නේ පුටුවක්, “මිනිහෙක් වගේ කියවෙන තැන්වල කියලා හැමෝම දන්නවනේ.

ඉතින් ඇයි මේ දෙකක්? ඉංග්‍රීසි vowel (ස්වරාක්ෂර) එකකින්, ඒ කියන්නේ a, e, i, o, u වලින්, පටන් ගන්න වචනවලට ඉස්සරහින් an දානවා, අනිත් ඒවට a දානවා කියලා තමයි කියන්නේ, නේද?

හැබැයි මෙතන පොඩි පරහක් තියනවා. ඕනැම ස්වාභාවික භාෂාවක් මුලින්ම ඇති වුණේ කතා කරන මාධ්‍යයක් හැටියටනේ. ඉතින් මේ රටා ඇති වුණෙත් ශබ්ද හරහා මිසක්, අකුරු හරහා නෙමෙයි. අකුරු ආවේ පස්සේ.

ඉංග්‍රීසි දෙවෙනි භාෂාවක් විදිහට ඉගෙන ගන්න අපේ අවාසනාවට, මේ පස්සේ හැදුන ඉංග්‍රීසි අකුරු රටා (spelling) හරි අපිළිවෙලයි. (ඒකට හේතුව එයට අනිත් වෙනස් වෙනස් භාෂාවල ලිවීමේ ක්‍රමයන්ගේ බලපෑම එක් එක් කාලවලදී ඇතිවී තිබීම.) 

ඒ නිසා ස්වර ශබ්දයකින් (vowel sound) පටන් ගන්න හැම වචනයකම මුලට යෙදෙන්නේ ස්වර අකුරක් නෙමේ. (මූලික සිංහල ස්වර ශබ්ද වෙන්නේ අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ යන ඒවා. ඉංග්‍රීසියේ ස්වර ශබ්ද මේවාම නොවුණත් ඒවාත් මීට ආසන්නයෙන් යන ශබ්දයි.)

ඔය හේතුව නිසා තමයි 

an hour /aʊə(r)/ පැයක්

an
honour [බ්‍රි]/honor [ඇ] /ˈɒnə(r)/ ගෞරවයක්

an
honest man* /ˈɒnɪst/ අවංක මිනිහෙක්

වශයෙන් කියවෙන්නේ. මේ වචනවල h අකුර මුලින් තිබුනට ඒක ශබ්ද වෙන්නේ නැහැ. 

(*මේ ආකාරයට නාම පදයට (noun) කලින් ඒ පදය හඳුන්වන විශේෂණ පද (adjectives) තියෙන තැන්වල වැදගත් වෙන්නෙ විශේෂණ පදවල මුලින් ඇති ශබ්දයයි. උදා: an excellent new car විශිෂ්ට අළුත් කාරෙකක්)

ඒ වුණාට බොහොමයක් h වලින් ඇර‍‍ඹෙන වචනවල h  අකුර ශබ්ද වෙනවනේ. ඒ තැන්වලදී

a
house /haʊs/ ගෙදරක්

a
horror /ˈhɒrə(r)/ බයක්, බය හිතෙන දෙයක්

වගේ තමයි. මේක අපි හුඟ දෙනෙකුට මතකයි.

ඉතින් මේ ඉංග්‍රීසි උදවිය ලියන්න එහෙම හුරු වුණාට පස්සේ දිගෙන් වැඩි නම් සහ යෙදුම් ඒ විදිහටම ලියන්න ටිකක් කම්මැලි වුණා. ඒ සඳහා ඒවගේ මුල් අකුරු අරගෙන කෙටි යෙදුම් (abbreviations) හදා ගත්තා වැඩි පහසුවට,

PTA (parent-teacher association)
ගුරු දෙගුරු සමිතිය

MP (member of parliament)
මන්ත්‍රීතුමා

වගේ.

මේවායින් සමහරක vowel එකක් නොවන අකුරක් - එනම් consonant (ව්‍යංජනාක්ෂර) අකුරක් - මුලට තිබුනත්, උච්චාරණයෙදි පටන් ගන්නේ vowel sound එකකින්. මොකද, අකුරුවල නම්නේ මෙතනදී කියවෙන්නේ, ඒවගේ ශබ්ද නෙමේනෙ.

මේ හේතුවෙන් තමයි

an MP /
ˌɛm ˈpiː/ මන්ත්‍රීතුමෙක්

an SMS /ˌɛs ɛmˈɛs/ කෙටි පණිවිඩයක් (SMS එකක්)

an NGO /
ˌɛn dʒiː ˈəʊ/ [බ්‍රි] - /ˌɛn dʒiː ˈoʊ/[ඇ] (non-governmental organization) රාජ්‍ය නොවන සංවිධානයක්

වෙන්නේ.

ඉංග්‍රීසි මව් බස හැටියට කතා කරන අයට ඉබේම මේ විදිහට කියවුණත්, අපේ සමහර අය මුල අකුර නිසාවෙන් a මේ තැන්වල යොදනවා පෙනෙනවා. මෙය හදා ගත යුතුයි.

ඊළඟට පටලැවිල්ලක් තියෙන්නේ u අකුරේ. ඒකෙන් සාමාන්‍යයෙන් නිරූපනය වෙන vowel sounds ටික තමයි 

/ʊ/ (put /pʊt/ දමනවා, තබනවා)

/u/ (cruel /kruːəl/ නපුරු)

/ʌ/ (but /bʌt/ නමුත්)  

මේවාගෙනුත් සාමාන්‍යයෙන් වචනයක මුලට එන්නේ /ʌ/ ශබ්දය. (උදා: an uncle /ˈʌŋkəl/ මාමා කෙනෙක්) 

කලාතුරකින් යෙදෙනවා /ʊ/ ශබ්දය. (උදා: an Ubuntu-compatible program /ʊˈbʊntʊ/, /ʊˈbuːntʊ/ උබුන්ටුවල වැඩ කරන මෘදුකාංගයක්)

නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ u අකුරෙන්ම ඇර‍‍ඹෙන තවත් වචන තියෙනවා යු- /ju-/ කියලා මුලට කියවෙන. ඒ කියන්නේ unit,union, university වගේ. මේ හඬ vowel sound එකක් නෙමේනේ, ඒක y ශබ්දයක්. 

ඉතින් මෙතනදී 

a
unit /ˈjuːnɪt/ ඒකකයක්

a union /සංගමයක්/ 

a
university  /ˌjuːnɪˈvɜːsɪti/ [බ්‍රි] - /ˌjuːnɪˈvɜrsɪti/ [ඇ] විශ්ව විද්‍යාලයක්

ආදී වශයෙන් තමයි යෙදෙන්නේ.

U අකුර මුලට එන abbreviations වලත් එකකොට මෙහෙමයි.

a UN meeting /ˌjuː ˈɛn/ එක්සත් ජාතීන්ගේ රැස්වීමක්

එතකොට තව තියෙනවනෙ eu වලින් පටන් ගන්න පද කීපයක්. ඒවත් සාමාන්‍යයෙන් පටන් ගන්නේ y හ‍‍ඬෙන්. 

a European /ˌjʊərəˈpiːən/ [බ්‍රි] - /ˌjʊrəˈpiːən/ [ඇ] යුරෝපීය ජාතිකයෙක්

a eulogy /ˈjuːlədʒi/ ගුණ කථනයක්

අපේ සමහරුන් මේකත් තේරුම් අරන් නැහැ, ශබ්දවලට වඩා අකුරු ගැන හිතන නිසා. මව් භාෂාව ලෙස ඉංග්‍රීසි කතා ර‍ටවල අයට නම් මේකත් නිරායාසයෙන් දැනෙනවා, මොකද අකුරු ඉගෙන  ගන්න බොහොම කලින් ශබ්ද රටා හුරු වෙන නිසා.

හොඳයි, ආයෙත් බලන්න තියෙනවා h වචන කීපයක් දිහා. 

herb /hɜːb/ - /ɜrb/ පැලෑටිය 

මෙම පදයේ බොහෝ ඇමරිකානුවන්ගේ උච්චාරණයේ h නොකියවෙන නිසා ඔවුන් පමණක් an herb කියනවා. 

අනිත් අතට ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයන් (වර්තමානයේ නම් සුළුතරයක්) historical /hɪˈstɒrɪkəl/ වැනි h ඇති මුල් කොටස බර කර නොකියවෙන - එනම් stress නොවන - පදවලද h ශබ්ද නොකර, ඒ පදවලට මුලින් an යොදනවා.

උදා: an historical novel /ɪˈstɒrɪkəl/ ඉතිහාසමය නවකතාවක්

රොබට් නොක්ස්ගේ (Robert Knox) ලංකාව ගැන ලියූ පොතේ නම An Historical Relation of Ceylon වී ඇත්තේ මේ හේතුවෙන්.

ඉතින් ඔන්න ඔහොම තමයි a සහ an වෙනස් වෙන්නේ.


යම් දෙයක් හෝ කෙනෙක් අනෙක්වා අතරින් හුවා දැක්වීමට නම් a හෝ an වෙනුවට යොදා ගෙනෙන්නේ one යන්නයි. පහත ප්‍රකාශ දෙකේ වෙනස බලන්න.


Lots of children were playing there when a girl started to cry. එතන ළමයි ගොඩක් සෙල්ලම් කර කර ඉන්න අතරේ ගෑණු ළමයෙක් අඬන්න පටන් ගත්තා.

Lots of girls were playing there when one girl started to cry. එතන ගෑණු ළමයි ගොඩක් සෙල්ලම් කර කර ඉන්න අතරේ (ඒ අයගෙන්) එක ගෑණු ළමයෙක් අඬන්න පටන් ගත්තා.

සංඛ්‍යාවක් දැක්වීමේදී hundred, thousand, million වැනි පද ඉදිරියෙන් a හෝ one යෙදෙනවා. මෙයින් one යන්න අදාළ සංඛ්‍යාව වඩා හුවා දක්වනවා. එම නිසා නිශ්චිතවම සංඛ්‍යාවක් දක්වන තැන්වල සාමාන්‍යයෙන් one යොදා ගැනෙනවා. මෙවැනි පදයක් සංඛ්‍යාවක් දක්වන පද පෙළක මැද යෙදෙන විට නම් ගැනෙන්නේ one පදය පමණයි.

a / one hundred rupees රුපියල් සීයක්

a / one hundred and fifty people* මිනිස්සු එක සිය පනහක්

one hundred and four kilos* කිලෝ එකසිය හතරක් (මෙවැනි නිශ්චිතවම දක්වන සංඛ්‍යාක් සඳහා බොහෝ විට one යොදා ගැනෙනවා.)

two thousand one hundred dollars ඩොලර් දෙදාස් එක සීයක් (සංඛ්‍යා මැදදී යෙදෙන්නේ one පදයයි.)

*ඇමරිකානු භාවිතයේ සාමාන්‍යයෙන් මෙවැනි තැන්වල and පදය අත් හරිනවා.

මිනුම් ඒකක සමගත් නිශ්චිතවම ප්‍රමාණයක් දක්වන විට භාවිතා වෙන්නේ one යන්නයි.

an hour and a half පැය එක හමාරක්

one hour, thirty minutes පැය එකයි, විනාඩි තිහක්



(මීට අනුරූප definite article යනුවෙන් හැඳින්වෙන the පදය යෙදීම ගැන The Trouble with ‘The’ – මොකටද මේ වචනෙ?ලිපිය හා article පද නොයෙදීම ගැන "Go to Hell! ඒක කොහෙද?" ලිපිය බලන්න.)

 

12 comments:

  1. අලුත් දෙයක් ඉගනගත්තා. අමතක වෙලා තිබුන දේවල් මතක් කොර ගත්ත. බොහොම පිං.

    ReplyDelete
  2. ගින්දර නොවැ..

    ReplyDelete
  3. ස්තුති යහලුවා. දෙයක් ඉගෙන ගත්තා. දන්න දෙවල් ලියන්න එක ගොඩාක් ලොකු දානමය පූණ්‍යකර්මයක්...දෙයක් කියලා දෙද්දි ගොඩක් දෙවල් හම්බවෙනවා...

    ReplyDelete
  4. an MP කියන එක නම්, මට මතකම නැති වෙන එකක්.. ඇයි ඉතිං අපි කට ඇරලම මෙම්බර් ඔෆ් පාර්.... කියනවානේ.. බොහොම ස්තූතියි!!!

    ReplyDelete
  5. @Sam, änthräX, රවා, .::පිස්සා::.

    ප්‍රතිචාරවල‍ට ස්තුතියි.

    ReplyDelete
  6. is there a previous post explaining the way -ed
    is pronounced at the end of regular verbs.thanks

    ReplyDelete
  7. @Anonymous

    This was dealt with in a recent post that was mainly about instances where Sri Lankan pronunciation sometimes differs from international norms(http://ingirisi.blogspot.com/2010/05/what-is-matter-2.html).

    ReplyDelete
  8. wow, what a poor knowledge I had about an, a. Thanks mr sujeewa. I Am surprised about your exploration.

    ReplyDelete
  9. Do Americans use "an" ? I thought they use only "a"

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails