Wednesday, January 13, 2010

සර්වලෝක පූට්ටුව හා බුද්ධි අංශ - අපේ කඩු හැරවිලි


Double Universal Joint
සේයාරුව spyffe ගෙන්


අපි කවුරුත් දන්නවා යම්කිසි කොටස් දෙකක් එකතු වන (join) තැනකට ඉංග්‍රීසි භාෂාවෙන් joint කියලා කියනවා. ඇ‍ඟේ අස්ථි අතර, කම්බි දෙකක් අතර එහෙම joints තියනවනෙ.

අපේ වැලමිටේ, දණහිසේ තියන සන්ධි එක් දිශාවක් ඔස්සේ නවන්න, දිග හරින්නත් පුලුවන්. යන්ත්‍රවල චලනය වෙන කොටස් දෙකක් යා කරන තවත් එවැනි සන්ධි වර්ගයක් තියෙනවා ඕනැම දිශාවකට නැවෙන. වාහනවල ඇක්සලයේ ඇති C.V. Joint (constant velocity joint) එක උදාහරණයක්.

මේ හැම දිශාවකටම නැවෙන සන්ධි වර්ගයට ඉංග්‍රීසියෙන් කියනවා universal joint කියලා. මෙම යෙදුම මුලදී සිංහලට පරිවර්ථනය වුණ විදිහ දන්නවද? සර්වලෝක පූට්ටුව කියලා!

මේක විකාරයක් වුණාට මෙහෙම වෙන්න හේතුවක් තියනවා. විශ්වයට ඉංග්‍රීසියෙන් universe කියන නිසා ඊට සම්බන්ධ universal පදය තැන නොතැන නොබලා සර්වලෝක ලෙස මෙහි පරිවර්ථනය කර තිබෙනවා. ඉංග්‍රීසි වචනවල එකිනෙකට තරමක් වෙනස් අර්ථ ඇති බව මෙහිදී පරිවර්ථකයාට අමතක වුණ හැඩයි. මෙම universal පදය බොහෝ විට සලකා බැලෙන සියළු දෙයට/දෙනාට අදාළ අර්ථයෙන් භාවිතා වෙනවා. උදාහරණ:

universal franchise/suffrage සර්වජන ඡන්ද බලය

There was universal agreement about the matter. කාරණය ගැන අදාළ සියල්ලන්ගේ එකඟත්වය තිබුණා.

“universal joint” හි එම පදය ඇත්තේ එහි සියළු දිශාවන්ට හැරෙන ලක්ෂණය නිසා. ඉතින් ඒ මත පදනම් වී සුදුසු සිංහල වචනයක් හදාගත යුතුව තිබුණා.

කාලෙකට ඉහතදී තවත් මෙවැනි විකාර පරිවර්ථනයක් රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයේදී අසන්නට ලැබුනා මතකයි. එයින් කියවුණේ යම්කිසි රටකින් ලංකාවට හරක් ඔළු කිසියම් සංඛ්‍යාවක් ආනයනය කිරීමට යන බවයි. මේ පුවත ඇසූ ජනතාව අන්ද මන්ද වුණාට සැකයක් නැහැ.

cattleයනු හරක් බව සැබෑය. නමුත් head of cattle නම් හරක් ඔළුම නොවේ. ගොවිපොළක හෝ රංචුවක සතුන් ගණන් කිරීමේදී head යන්න යෙදීම ඉංග්‍රීසියේ දක්නට ලැබෙනවා.

30 head of cattle හරකුන් 30 දෙනෙක්

20 head of sheep බැටළුවන් 20 දෙනෙක්

නමුත් එහි ඇත්තේ ඔළු පමණක් නොවන බව පරිවර්ථකයා නොදැන සිටියා විය හැකියි.  

සර්වලෝක පූට්ටුව, “හරක් ඔළු ආදිය ගැන දැන් එතරම් අසන්නට නොලැබුනත්, බහුලව භාවිතා වෙන - ඒත් එතරම් නොගැලපෙන - පරිවර්ථනත් තියෙනවා. එයින් මතකයට එන කීපයක් සලකා බලමු. එකක් තමයි,

සාමාන්‍යධිකාරි (general manager)

ඉංග්‍රීසි general වචනය සාමාන්‍ය ලෙසින් පරිවර්ථනය general public (සාමාන්‍ය ජනතාව, පොදු ජනතා‍ව) වැනි තැන්වලදී ගැලපුනත්, ඇතැම් තැන්වලදී (context) එහි ඇත්තේ ප්‍රධාන යන අර්ථයයි. මෙය නිවැරදිව යොදා ඇති අවස්ථා නම්:

General Hospital මහ රෝහල

General Post Office මහ තැපැල් හල

Inspector General of Police  පොලිස්පතිතුමා

Attorney General නීතිපතිතුමා

නමුත් general manager මුලින් පරිවර්ථනය කළ තැනැත්තා පොට වරද්දා ගැනීම නිසාත්, බොහෝ දෙනා එහි නොගැලපීම නුදුටු නිසාත්, මෙම  සාවද්‍ය යෙදුම අදත් භාවිතා කිරීමට අපට සිදු වී තිබෙනවා.

හමුදා බුද්ධි අංශ (intelligence units) ගැන පහුගිය කාලෙ නිතරම අහන්න ලැබුනා. බුද්ධි අංශවල සාමාජිකයන් ‍විශාල මෙහෙවරක් ඉටු කළ බවත් අපි දන්නවා. නමුත් මේ පදයේ නම් යම් නොගැලපීමක් තියෙනවා.

ඉංග්‍රීසි intelligence” පදයේ ප්‍රධාන අර්ථය බුද්ධිය බව ඇත්ත. නමුත් එහි තවත් අර්ථයක් නම් රහස් ඔත්තු සේවා/ඔවුන් සපයන තොරතුරු යන්නයි. මේ දෙවෙනි අර්ථයේදී බුද්ධි යනුවෙන් මුල් අර්ථය යෙදීම එතරම් නිවැරදි නොවන බව මගේ නම් හැඟීමයි. කෙසේ වෙතත් මෙයත් අද අපට භාවිතා කිරීමට සිදු වෙනවා.

තවත් තරමක පටලැවිල්ලක් ඇති පදයක් තමයි central. මෙහිද මධ්‍යගතව පිහිටි මෙන්ම කේන්ද්‍රීය, ප්‍රධාන යන තේරුමත් තියෙනවා. උදාහරණ:

Respect for parents is a central part of our culture. දෙමව්පියන්ට ගරු කිරීම අපේ සංස්කෘතියේ ප්‍රධාන අංගයක්.

Central Bank of Sri Lanka ශ්‍රී ලංකා මහ බැංකුව

නමුත් එවැනි අර්ථයක් තිබෙන Central Environmental Authority  සඳහා මධ්‍යම පරිසර අධිකාරිය යනුවෙනුයි යෙදෙන්නේ. එසේම central school යන්නට යෙදෙන්නේ මධ්‍ය මහා විද්‍යාලය යනුවෙනුයි. මේ දෙතැනම ඇත්තේ කේන්ද්‍රීය, ප්‍රධාන වැනි අර්ථයක්.

කණගාටුවට කාරණයක් තමයි අපි බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගත්ත free education යන්නත් සාවද්‍ය ආකාරයට පරිවර්තනය වී තිබීම. ඉංග්‍රීසි free පදය  a free country (නිදහස් රටක්) වැනි තැන්වල නිදහස් යන අර්ථය දුන්නත්, එය මුදල් අය නොකරන, නොමිලේ ලබා දෙන යන අර්ථයෙනුත් භාවිතා වෙනවා.

This is a free blog. මෙය මුදල් අය නොකරන බ්ලොග් අඩවියකි.

මේ free education යන්නේත් තිබෙන්නේ නොමිලේ අධ්‍යාපනය යන තේරුමයි.

පදයක එක් අර්ථයක එල්ලී නොසිට අවස්ථානුකූල අරුත (relevant meaning) ගැන සිතා මුල් පරිවර්ථන කළා නම් මීට වඩා අර්ථාන්විත යෙදුම් අපේ භාෂාවට එක් වෙන්න තිබුනා. මෙහිදී අපගේ උත්සාහය විය යුත්තේ මෙම සිංහල යෙදුම් භාවිතා නොකිරීම නොවෙයි. අදහස් හුවමාරුව සඳහා සමාජයේ ‍බහුලව ඇති යෙදුම් අපිත් භාවිතා කළ යුතු වෙනවා, සමහර විට ඒවා එතරම් නොගැලපුනත්.

ඒත් ඉංග්‍රීසි භාවිතයෙදි එයට අදාළ නියම අර්ථයන් දැන සිටීම අපේ නිවැරදි අවබෝධය හා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව සඳහා වැදගත්. එසේම අපි යමක් පරිවර්ථනය කළ යුතු අවස්ථාවලදී වචනවල එක් තේරුමකම නොරැඳී, යෙදුමේ අන්තර්ගත අදහස අනිත් බසට හැරවීමට හැකි සෑම විටම උත්සාහ කිරීම යෝග්‍යයි.

11 comments:

  1. සුපර්බ් . . .
    නියමයි මචං . . . හරක් ඔලු වැඩෙ නම් පට්ට . . කොයි එකෙද බන් එහෙම කිව්වෙ??? හික් හික් . .

    මේ උඹෙ මෙ බ්ලොග් එක දිගටම කරගෙන යන්න ඕන හරිද මචං . . සෑහෙන්න දෑවල් ඉගෙන ගන්නවා මේකෙන් මම නම් . . .

    ReplyDelete
  2. @දුකා

    මචං, ඔය හරක් ඔළු කතාව කිව්වේ 1980 ගණන්වල. ඒ කාලෙ තිබුනෙ අපේ පරණම රජයෙ නාලිකා දෙක විතරයි. ඒ දෙකෙන් කොයි එකේද කියල නම් හරියට මතක නැහැ. හික්,හික්..

    බ්ලොග් එක නමි ඉතිං දිගටම කරන්න බලමු. දෙන සපෝට් එකට ස්තුතියි.

    ReplyDelete
  3. අපෙන් මොන සපෝර්ට්ද බං . . . උඹනේ මේ ෆුල් සපෝර්ට් එකක් දෙන්නේ අපේ කඩ්ඩ හදා ගන්න . ..

    ReplyDelete
  4. @දුකා
    උනන්දු කරවීමත් ලොකු සපෝට් එකක්නෙ, මචං.

    ReplyDelete
  5. ඔබේ මෙම ලිපි පෙළ ඉතා අගෙයි

    ReplyDelete
  6. You are doing a great work. keep it up.

    ReplyDelete
  7. බොහොම ප්‍රයෝජනවත්

    ReplyDelete
  8. ඇයි තව අපි කියන්නෙ පැච් එකක් ගියා කියල...!!
    බයිසිකලේ රෝදෙ පන්චර් එක්ක උනොත් අනිවාර්යයයෙන්ම පැච් එක්ක දාන්න වෙනව තමා...
    නමුත් අපේ උන්ගෙ යන්නෙම පැච්නෙ.....!!

    ReplyDelete
    Replies
    1. එක භාෂාවකින් තවත් භාෂාවකට මේ වගේ අර්ථය වෙනස් වෙලා එකතු වෙන යෙදුම් "false friends" නමින් භාෂා විද්‍යාඥයන් හඳුන්වනවා. මේවා භාෂා ඉගෙන ගන්න අයට ගැටළු ඇති කරනවා.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails