Monday, January 4, 2010

'ඉස්' ගෑවොත් නම් ලෙඩක් - අපේ කඩ්ඩේ වගතුග

සේයාරුව  takomabibelot ගෙන්

ඉංග්‍රීසි භාෂාවේ කොතෙකුත් තියෙනවා stand, skill, still, smile වගේ වදන්. මේවගේ විශේෂත්වය තමයි ආරම්භයේදී s  /s-/* ශබ්දයට පසුව ව්‍යංජනාක්ෂර ශබ්දයක් පිහිටීම. (ඉංග්‍රීසියේ ස්වරාක්ෂර, එනම් vowels, කියන්නේ a, e, i, o, u අකුරු. අනිත් ඒවා ඔක්කොම ව්‍යංජනාක්ෂර, එනම් consonants.) 

*මෙම IPA සංකේත ගැන පහත විස්තර දැක්වෙනවා. 

අපේත් මෙවැනි වචන තියෙනවා. ස්මරණය, ස්වභාවය, ස්ථානය, ස්තූතිය වැනි ස්+ව්‍යංජනාක්ෂර මුලට ඇති වදන් අපට ලැබිලා තියෙන්නේ සංස්කෘත (Sanskrit) භාෂා මූලයකින් (language origin). සංස්කෘතයෙන් මෙවැනි වචන අපට ලැබුණත් කතා ව්‍යවහාර සිංහල භාෂාවට (colloquial Sinhala) මූලික වශයෙන් පදනම් වෙලා තියෙන්නේ ප්‍රාකෘත (Prakrit) භාෂා මූලයන්.

සංස්කෘත කියන්නේ ඒකාලෙ ඉන්දියාවේ උගතුන්ගේ භාෂාව. සාමාන්‍ය ජනතාවගේ බස් වහර හැඳින්වුණේ ප්‍රාකෘත නමින්. බුද්ධ ධර්මයේ ලිඛිත බස වශයෙන් පාලි භාෂාව ලංකාවේ උගතුන්ගේ ව්‍යවහාරයක් බවට පත් වුණත් මුලින් ඉන්දියාවේ පාලියද අයත් වුණේ ප්‍රාකෘත ගණයටයි. ඉතින් අපට සංස්කෘතයට වඩා ප්‍රාකෘතය හුරු වීම අරුමයක් නොවෙයි.

ප්‍රාකෘත භාෂාවල ස්වර+ව්‍යංජනාක්ෂර සංකලනය වෙනුවට සාමාන්‍යයෙන් වෙනත් යෙදුමක් ආදේශ කෙරුණා.

උදා: ස්ථවිර > තෙර, ශ්‍රී > සිරි, ස්තුති > තුති

ඒ වගේම ස්ථානය, ස්තූතිය වැනි වචන ඉස්තානය, ඉස්තූතිය ආදී ලෙසින් උසුරුවන්නටත් අපේ සාමාන්‍ය උදවිය පුරුදු වුණා. තවත් සමහර අය මෙහි එන ස්- /s-/ ශබ්දය අ(ə)ස්- /əs-/ වශයෙන් උච්චාරණය කරනවා. ඒ අපේ භාෂාවෙ සාමාන්‍ය ස්වරූපය ‍වෙලා.

නමුත් මේ ඉස්- /is-/, නැත්නම් අ(ə)ස්- /əs-/ පුරුද්ද සමහර අය‍ට ඉංග්‍රීසි වචන කියද්දිත් මතු වෙනවා. එනම් skill වචනය  /skɪl/ වෙනුවට /iskil/ හෝ /əskil/ ලෙසත්, stand වචනය /stænd/ වෙනුවට /istænd/ හෝ  /əstænd/ ලෙසත්, ආදී වශයෙන් කියවෙනවා. ඒ වගේම තමයි still /stɪl/, smile /sml/, stop /stɒp/, small /smɔːl/ වැනි වචනවලත්. ඉහත පදවලට සබැඳි වෙබ් පිටුවලට පිවිස නිවැරදි උච්චාරණයට සවන් දීමට අවශ්‍ය නම් ඔබට හැකියාව තිබෙනවා.

මෙම උච්චාරණ රටාව අපේ රටේ ඉංග්‍රීසි දත්තන් විසින් අනෙකුන් සමච්චලයට ලක් කිරීමට යොදා ගැනීම අවාසනාවක්. මෙය ගැන ඔවුන් අවමානයෙන් යුතුව කියන්නේ It shows where you are from (ඒකෙන් පෙනෙනව කෙනෙක්ගෙ පසුබිම) කියලා. කෙසේ නමුත් මෙහිදී නිවැරදි උච්චාරණ රටාව හුරු වීම කාටත් වඩා යෝග්‍ය වෙනවා. තමන්ට පුරුදු වී ඇති ක්‍රමයෙන් මිදීම මුලින් තරමක් අපහසු විය හැකි වුවත් පුහුණුව තුළින් එය කළ හැකියි.

නිවැරදි උච්චාරණය පුහුණු වීම සඳහා උපකාර කරගත හැකි වෙබ් අඩවි කිහිපයක් මම මේ බ්ලොග් සටහනේ ඉහළින්ම ඇති menu bar කොටසට එකතු කර තිබෙනවා. එහි ඉංග්‍රීසි ඉගෙනුමට අත්වැල් යටතේ ඇති ඉංග්‍රීසි වචනසබැඳිය (link) තුළින් ඕනෑම ඉංග්‍රීසි වදනක උච්චාරණය බ්‍රිතාන්‍ය හා ඇමරිකානු රටාවලින් අසා ගත හැකියි. අපේ රටේ තවමත් වැඩිපුර ඇත්තේ බ්‍රිතාන්‍ය ආභාෂය නිසා එහි ඇති බ්‍රිතාන්‍ය ස්වරූපයට වැඩි අවධානයක් දැක්වීම යෝග්‍යයි. (බොහෝ වදන්වලදී මේ දෙආකාරය අතර එතරම් වෙනසක් නොඇසෙන්නට හැකි නමුත් ඇතැම් විට විශාල වෙනස්කම්ද තිබෙනවා.)

*ශබ්ද රටා නිරූපනයට මෙම ලිපියෙහි යොදාගෙන ඇති ජත්‍යන්තර ශබ්ද රටා හෝඩියේ සංකේත (Symbols of the International Phonetic Alphabet) - එනම් IPA සංකේත (IPA symbols) - ඉංග්‍රීසි ශබ්ද නිරූපනයට යොදා ගන්නා ආකාරය ඉංග්‍රීසි ශබ්ද රටා සබැඳියෙන් ශ්‍රව්‍ය උදාහරණද (audio examples) සහිතව උගත හැකියි.

***ඉහත සඳහන් menu bar  අංගය මෙහි අන්තර්ගත කෙරුණේ SarangaRathnayake සොහොයුරාගේ බ්ලොග් එකට MenuBar එකක් දාගමු නම් ලිපියේ; ආධාරයෙන්. ඒ සඳහා ඔහු ඉතා කාරුණිකව මාහට ලබා දුන් වැඩිදුර උපදෙස්ද එම වටිනා ලිපියේ ප්‍රතිචාර කියවන්නෙකුට පෙනී යාවි. නාඳුනන එම සොයුරාට බෙහෙවින් තුති!

19 comments:

  1. උදවු කරන්න ලැබීම සතුටක්!
    නියම පාඩම් පෙළ, මම මුල ඉඳලම කියෙව්ව.
    දිගටම ලියන්න, ඔබට ජය !

    ReplyDelete
  2. @Saranga Rathnayake
    ප්‍රතිචාරයට සහ දිරිගැන්වීමටත් ස්තුතියි.

    ReplyDelete
  3. එළකිරි.., නියම පෝස්ට් ටික.. දිගටම ලියන්න. :)

    ReplyDelete
  4. මේ බ්ලොග් එකේ අන්තර්ගතය බොහොම වටිනවා.. හරිම ආසාවෙන් කියෙව්වේ.. :)

    ReplyDelete
  5. @ශාකුන්තල
    ස්තුතියි.

    ReplyDelete
  6. ඉතාම හොද බ්ලොග් එකක්. ගොඩක් වටිනවා. ඔබට ස්තතියි, ඒ වගේම ඉදිරියට කරගෙන යන්නත් සුභ පතනවා.

    ReplyDelete
  7. @Grand Creations
    දිරි ගැන්වීමට ස්තුතියි.

    ReplyDelete
  8. a great blog sir...... keep it going.......

    ReplyDelete
  9. @kanchana
    Thanks for your encouragement.

    ReplyDelete
  10. ඉතාම වටිනා උත්සහයක්...ඔබ කරන්නේ ඇත්තටම ලොකු සේවයක්
    …දිගටම ලියන්න..

    ReplyDelete
  11. @Lahiru
    දිරි ගැන්වීමට ස්තුතියි.

    ReplyDelete
  12. මමත් මුලඉඳලා කියවන්න ගත්තා...බොහොම ස්තුතියි.....

    ReplyDelete
  13. @හරී
    බොහොම සංතෝසයි කව්රුහරි මේකෙන් තවමත් වැඩක් ගන්නවා කියලා දැනගන්න ලැබුනට.

    ReplyDelete
  14. එහෙම හිතන්න එපා අපි තාමත් මේවා බලනවා... මුල ඉදන්ම බලාගෙන යනවා.. ගොඩක් වටිනවා... බොහෝම ස්තුතියි.

    ReplyDelete
  15. @රාසී ...
    අහන්නත් සංතෝසයි. Ebook එකත් බාගන්න ඇති කියලා හිතනවා.

    ReplyDelete
  16. මම නමි ඔය සුද්දගේ භාෂාව ගැන එච්චරටම තියා කෙිහොම වත් දන්නෙ නෑ .... ඒත් අනේ දැන් ාමනෙ මගුලක් කරන්න ගියත් ඕක පුලුවන්ද අහනවනේ .... ඉතින් මටත් හිතුන ඉන්ගිරිස් ටිකක් ඉගෙන ගන්න ඒකට නියම තැන හම්බවුනේ අද තමා...

    ඒකට ඉතින් පින් තමා දෙන්න වෙන්නෙ ....

    ReplyDelete
    Replies
    1. මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් සතුටුයි.

      Delete
  17. ලොවෙත් නී නියමි........

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails