Tuesday, August 14, 2012

Things to Be Done - කරන්න ඇති දේ

කරන්න වැඩ ගොඩක් තියනවා.
ලියන්න ලියුම් හතරක් තියනවා.

යම් ක්‍රියාවකට ලක් කළ යුතු දෙයක්/කෙනෙක් සම්බන්ධ මෙවැනි වාක්‍ය අපට එදිනෙදා ජීවිතයේ නිතර අවශ්‍ය වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් මේවා ඉංග්‍රීසියෙන් කියන්න, ලියන්නත් දැන ගන්න වෙනවා. ඉතින් මෙතනින් එහාට කියවන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද මේ ප්‍රකාශ ඉංග්‍රීසියට නගන්නේ කියලා.

හොඳයි එහෙනම් දැන් බලමු ඒ හිතපු විදිහ නිවැරදිද කියලා. මේවගේ දෙයක් දෙආකාරයකින් කියන්න පුළුවන්.

There is a lot of work to do.
/  There is a lot of work to be done.

There are four letters to write.
/ There are four letters to be written.

මෙයින් පළමු රටාවේ active voice ස්වරූපය ගන්නා ක්‍රියාවක් යෙදෙන විට, දෙවැන්නේ passive voice ස්වරූපයේ ක්‍රියාවක් යෙදී තිබෙනවා. (කතෘ කාරක හා කර්ම කාරක ලෙස සිංහලෙන් හැඳින්වෙන මේ active voice” හා passive voice” ගැන නැවත මතක කර ගැනීමට Made in Sri Lanka - හැදුවෙ කව්රු වුණාම මොකද! ලිපිය බලන්න.) මෙම ප්‍රකාශවල කියාවකට භාජනය වන දෙයක් ගැන සඳහන් වෙතත්, අර්ථයේ වෙනසක් නැතිව මෙහිදී මෙම රටා දෙකම භාවිතා කළ හැකියි.

***නමුත් හැම විටම මෙය මෙසේ නොවෙයි. ක්‍රියාව කරන්නා ගැන වැඩි අවධානයක් යොමු කරන අවස්ථාවල නම් බොහෝ විට ගැනෙන්නේ පළමු රටාවයි. එසේ නොමැතිව ක්‍රියාව හෝ ක්‍රියාවට ලක් වෙන දෙය/කෙනා ඉස්මතු කර දක්වන තැන්වල බොහෝ විට දෙවෙනි රටාව යෙදෙනවා.

I have a lot of work to do.
අපට  කරන්න වැඩ ගොඩක් තියනවා.

She has four letters to write.
එයාට  ලියන්න ලියුම් හතරක් තියනවා.

You have several people to contact.
ඔයා කතා කළ යුතු කීප දෙනෙක් ඉන්නවා.

Books to read
කියවීමට පොත් (ඔබට, මට, අපට හෝ වෙනත් කෙනෙකුට කියවීම සඳහා)

Books to be read
කියවිය යුතු පොත් (කියවිය යුතු බව හුවා දැක්වීමට)

She put all the bills to be paid in one file.
ගෙවන්න තියන බිල් ඔක්කොම එයා එක ෆයිල් එකකට දැම්මා..

We have to do something about the words to be learned.
ඉගෙන ගන්න තියන වචන ගැන අපි යමක් කරන්න ඕන.

The patients to be tested are in the other room.
පරීක්ෂණයට ලක් කළ යුතු ලෙඩ්ඩු ඉන්නේ අනිත් කාමරේ.

***මේ අනුව ක්‍රියාවට ලක් වෙන දෙය/කෙනා හා ක්‍රියාව අතර be” ක්‍රියා රුපයක් (එනම් is, are, am, was, were...) ඇති පහත ආකාරයේ රටාවලත් ගැනෙන්නේ දෙවෙනි ස්වරූපයයි.

These letters are to be rewritten.
මේ  ලියුම් නැවත ලිවිය යුතුයි.

Those clothes are to be washed.
ඒ ඇඳුම හෝදන්න තියෙන්නේ.

All his friends are to be invited.
එයාගේ යාළුවෝ ඔක්කොටම ආරාධනා කරන්නයි ඉන්නේ.

***මීට විරුද්ධව blame” ක්‍රියා පදය මෙම රටාවේදීත් පළමු ස්වරූපය ගන්නවා. (එය සම්ප්‍රදායික ලෙස (idiomatically) එම අර්ථයෙන් එසේ යෙදෙනවා.)

My brother is to blame for this mess.
මේ අවුලට දොස් කියන්න ඕන මගේ මල්ලිට/අයියාට.

***නමුත් වෙනත් ක්‍රියා පද සමග නම් මේ පළමු ස්වරූපය ඇති රටාව දක්වන්නේ කතෘ කාරක අදහසක්.

My boss is to go abroad tomorrow.
මගේ ලොක්කා හෙට රට යන්න ඉන්නේ (රට යන්න නියමිතයි).

We have to practise[BrE]/practice[AmE] more if we are to win this match.
අපි මේ මැච් ඒක දිනන්න නම් අපට මීට වඩා ප්‍රැක්ටිස් කරන්න වෙනවා.

Would you sell me your car if I were to offer you a good price?
මම හොඳ ගානක් දෙනවා කිව්වොත් එහෙම ඔයා මට ඔයාගේ කාර් ඒක විකුණනවද?

(ඉහත “if” සහිත වාක්‍ය ගැන වැඩි විස්තර සඳහා If You Went to the Moon… - ‘if’සහිත වැකි ගැන ලිපිය බලන්න.)

***පළමු හා දෙවන ස්වරූප යෙදෙන පහත රටාත් බලන්න.

She likes to wake up early.
එයා කලින් (උදෙන්) ඇහැරෙන්න කැමතියි.

She likes to be woken up early.
එයා කැමතියි එයාව කලින් (උදෙන්) ඇහැරවනවට.

It’s time for you to introduce others.
ඔයාට අනිත් අයව හඳුන්වලා දෙන්න වෙලාව හරි.

It’s time for you to be introduced to others.
ඔයාව අනිත් අයට හඳුන්වලා දෙන්න වෙලාව හරි.

We went there to see the documents.
අපි එහේ ගියේ ලියකියවිලි බලන්න.

We went there to be shown the documents.*
අපි එහේ ගියේ (ඒ අයට) ලියකියවිලි අපට පෙන්නන්න පුළුවන් වෙන්න.

All they want is to go home.
ඒ අයට ඕනැ එකම දේ ගෙදර යන්න.

All they want to is to be taken home.
ඒ අයට ඕනැ එකම දේ කවුරුහරි ඒ අයව ගෙදර එක්ක යන්න.

She was the first to apply.
එයා තමයි මුලින්ම අයදුම් කළේ.

She was the last to be interviewed.
එයාව තමයි අන්තිමට ඉන්ටවිව් කළේ.

It’s their wish to leave immediately.
ඒ අයගේ කැමැත්ත තියෙන්නේ දැන්මම යන්න.

It’s their wish to be left alone.
ඒ අයගේ කැමැත්ත තියෙන්නේ අනිත් අය ඒ අයට තනියම ඉන්න දෙනවට.

*මෙවැනි තැනක වාක්‍ය ඛණ්ඩ දෙකම active voice ලෙස යොදනවා නම්, ක්‍රියා දෙක දෙදෙනෙක් කරන නිසා මෙය පහත ආකාරයකට යොදන්න වෙනවා. (මෙම රටාව මෙහිදී passive voice සමගද යොදා ගත හැකියි. එමෙන්ම, එකම කෙනා එක් ක්‍රියාවක් අනිත් ක්‍රියාව සඳහා කරන අවස්ථාවලත් ඇතැම් විට මෙම රටාව යොදා ගන්නවා.)

We went there so that they could show us the documents. / We went there so they could show us the documents. [අවිධිමත්]
අපි එහේ ගියේ ඒ අයට ලියකියවිලි අපට පෙන්නන්න පුළුවන් වෙන්න.

We went there so that the documents could be shown to us. / We went there so the documents could be shown to us. [අවිධිමත්]
අපි එහේ ගියේ (ඒ අයට) ලියකියවිලි අපට පෙන්නන්න පුළුවන් වෙන්න. 

“so (that)සමග අනාගත අර්ථයෙන් ඇතැම් විට වර්තමාන කාල ක්‍රියා දකින්න ලැබෙනවා. 

You should send it now so (that) he will get / gets it by Friday. එයාට ඒක සිකුරාදා වෙනකොට ලැබෙන්න ඔයා ඒක දැන් යවන්න ඕනැ.

විධිමත් භාවිතයේ මේ සඳහා “in order that” ද යොදා ගැනෙනවා.

You should send it now in order that he will get/gets it by Friday. [විධිමත්] එයාට ඒක සිකුරාදා වෙනකොට ලැබෙන්න ඔයා ඒක දැන් යවන්න ඕනැ.

***එමෙන්ම nothing” පදය සම්බන්ධ පහත රටාවල මෙම ස්වරූප අතර අර්ථයේ වෙනසක් දැකිය හැකි වෙනවා.

There was nothing to do; it was a boring weekend.
(ඔබට, මට, අපට හෝ වෙනත් කෙනෙකුට) කරන්න  කිසි දෙයක් තිබුනේ නැහැ, ඒක නීරස සති අන්තයක්.

There was nothing to be done; we had to pay the fine.
වෙන කරන්න (කළ හැකි) දෙයක් තිබුනේ නැහැ, අපට දඩය ගෙවන්න වුණා.

***පළමු රටාවම යෙදෙන පහත වාක්‍යවල වෙනසත් බලන්න.

There was nobody to write. ලියන්න (හැකි හෝ කැමති) කෙනෙක් හිටියේ නැහැ.

There was nothing to write. (ඔබට, මට, අපට හෝ වෙනත් කෙනෙකුට) ලියන්න දෙයක් තිබුනේ නැහැ.

***ක්‍රියාවකට බඳුන් වෙන දෙයක/කෙනෙක්ගේ එම ක්‍රියාවට සම්බන්ධ වූ ගුණයක් දැක්වෙන පහත සඳහන් ආකාරයේ වාක්‍යවල හැමවිටම යෙදෙන්නේ පළමු ස්වරූපයයි. (මෙම රටාවල එම අදාළ ගුණය දැක්වීමට easy”, “difficult”, “hard”, “interesting”, “impossible” වැනි පද භාවිතා වෙනවා.)

This lesson is easy to understand.
මේ පාඩම තේරුම් ගන්න ලේසියි.

This lesson is difficult
/hard to understand.
මේ පාඩම තේරුම් ගන්න අමාරුයි.

This lesson is impossible to understand.
මේ පාඩම තේරුම් ගන්න බැහැ.

That book is interesting to read.
ඒ පොත කියවන එක රසවත්.

What she said was hard to believe.
එයා කියපු දේ විශ්වාස කරන්න අමාරුයි.

That guy isn’t so easy to please.
ඒ මිනිහව සතුටු කරන්න එච්චර ලේසි නැහැ.

That type of friend is hard to find.
ඒ වගේ යාළුවෙක් හොයා ගන්න අමාරුයි.

***ඉහත ඇතැම් ප්‍රකාශ පහත ආකාරයද ගත හැකියි.

It’s a difficult lesson to understand.
ඒක තේරුම් ගන්න අමාරු පාඩමක්.

It’s an interesting book to read. 
ඒක කියවන්න රසවත් පොතක්.

***යම් වැඩක් සඳහා යොදා ගැනීමට යන අර්ථයෙන් යෙදිය හැක්කේත් එක් රටාවයි.

They have nothing to talk about.
ඒ අයට කතා කරන්න දෙයක් නැහැ.

I need a file to put my documents in.
මට මගේ ලියකියවිලි දාන්න ෆයිල් එකක් ඕනැ.

We don’t have a knife to cut bread (with).
අපට පාන් කපන්න පිහියක් නැහැ.
(Image credit: heliosphan)

28 comments:

  1. ඔබගේ මෙම පාඩම් මාලාව ආධුනිකයකුට ඉතා වැදගත් ඔබගේ උත්සාහය අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තුතියි.

      Delete
    2. එල වැඩක් ඇ.නියමයි මම දැක්කා මේ අඩවියෙත් ඉන්ගිරිසි උගන්වානවා නොමිලේ http://www.LapCool.info

      Delete
  2. අදයි මුලින්ම ආවේ... ලිපි දෙක තුනක් කියවලා බැලුවා... මුල ඉඳන්ම කියවන්න ඕන.... ආයෙමත් එන්නම්...

    ReplyDelete
  3. මට මේ බ්ලොග් 1 අහම්බෙන් ඊ‍යෙ තමා හම්බුනෙ. ගොඩක් ලිපි මුල ඉඳන් බැලුව. ඇත්තටම ගොඩක් වටිනා බ්ලොග් එකක්.
    ගොඩාක් ස්තුති‍යි මේ කරන මිල කල නොහැකි සේව‍යට.
    දිගටම ලි‍යන්න.
    ඔබට ජ‍යෙන් ජ‍යම වේවා!
    -නුවන්

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් බව දැනගන්න ලැබීම සතුටක්.

      Delete
  4. When do you post your next lesson?

    we are looking forward to read it.
    -Nuwan

    ReplyDelete
    Replies
    1. Right now I'm a bit busy, so it might take some time. Thanks for your enthusiasm.

      Delete
  5. සර් මේ වාක්‍ය ඉංගිරිසියෙන් ලියන්නෙ කොහොමද?
    රජයෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මත පාඨමාලා ගාස්තුවෙන් අඩක් පමනක් ඔබ විසින් ගෙවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. "Based on Government funding, you only need to pay half of the course fee."

      (මේ ඒ අදහස දෙන එක විදිහක්; මේක මේ ආකාරයෙන්ම ලියන්න ඕන නැහැ.)

      Delete
  6. ස්තූතියි සර්

    ReplyDelete
  7. "I have a lot of work to do.
    අපට කරන්න වැඩ ගොඩක් තියනවා."

    There is a sentence to be corrected :)

    ReplyDelete
    Replies
    1. As explained in the article, the way you put it depends on the way you look at the task.

      Delete
  8. Waiting for your next post sir...

    ReplyDelete
    Replies
    1. Sorry I haven't been able to write anything lately.

      Delete
  9. ඔබ වන් මෙවැනි සේවාවන් කරන අය ඉන්නේ අතලොස්සකි. ඔබට මන් බෙහෙවින් ස්තූති වන්ත වෙනවා..

    ReplyDelete
  10. Sir ayet liynne nadda.site eka update wela nane.ayet liynna.

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුනොත් බලමු,

      Delete
  11. annnneeee , apahu padam dannakooooooooooooooooo Sir

    ReplyDelete
  12. බොහොම. සන්තෝසයි, අහන්න.

    ReplyDelete
  13. @S.B. OLA GEDARA

    මේක ලොකු වැඩක්. එකම වචනය යොදන තැන අනුව වෙනස් තේරුම් දෙනවා. කොතරම් වෙනස්කම් තියනවද කියලා "පදවල විවිධ අරුත් - Varied Meanings" යටතේ ඇති ලිපි බැලුවොත් තේරේවි. ඒවගේම "How to Break Free - සීමාවෙන් මිදීමට" හා "It’s Not Really About IFFA – ‘අයිෆා’ ගැනම නොවෙයි" ලිපිවල මම මාධ්‍යවලින් උපුටා ගත් ප්‍රකාශ කීපයක අර්ථ විග්‍රහ කරලා තියෙනවා. ඒවායින් පෙනේවි ඔය කාරණයේ ගැඹුර. භාවිතා වෙන ආකාර දැක්වෙන උදාහරණ ඇතිව මිස, වචන හා අර්ථය පමණක් දීමෙන් මෙවැන්නක් සාර්ථකව කළ නොහැකියි.

    මම මගේ පෞද්ගලික පන්තිවල නම් මේ සඳහා පුහුණු කිරීම කරනවා. නමුත් බ්ලොග් සටහනක කරන්න අපහසුයි, මේ සඳහා කැප කළ යුතු කාලය නැති නිසා.

    ReplyDelete
  14. We went there so that we could meet him.
    අපි එහෙ ගිය නිසා අපිට ඒ අයව හම්බුනා .
    මේ අර්ථය ඇතිව අපිට so that මේ විධියට ගන්න බරිද සර්.
    සර් ඒ වහෙම සර් දාල තියනවා my boss is to go abroad tomorrow කියල.ඒ වගේම we have to practice more if we are to win this match.කියලත් ..
    අතටම මොකක්ද සර් මේ subject එකට is,am,are,was were දාලා to එක්ක ක්‍රියා පදයක් දැන්මම වෙන්නේ.
    මං සර් දාපු I'm about to / I was about කියපු නොට් එක නම් බැලුව.එකේ තියන්නේ යමක් කරන්න ආසන්නයි කියලනේ..මේකේ about පදය නෑනේ .තේරුම් ගන්න ටිකක් අමාරුයි සර් .මන් google එකෙත් බැලුව සර් ඒවා එත් තේරෙන්නේ නෑ .පැහැදිලි කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් සර්.

    ReplyDelete
  15. "අපි එහෙ ගිය නිසා අපිට ඒ අයව හම්බුනා." - "We met them because/as/since we went there."

    "We went there so that we could meet him." - "අපි එහෙ ගියේ එයාව හම්බ වෙන්න (හමු වීමට හැකි වීම පිණිස)."

    "We are to" and "We are about to" are two different patterns that have different meanings. You're right about the meaning of "We are about to". "We are to" has meanings like "We are scheduled to" or "We are destined to".

    "My parents are to meet the principal tomorrow." - "මගේ දෙමව්පියෝ හෙට විදුහල්පතිතුමා හම්බ වෙන්න ඉන්නේ."

    "The report is to be submitted tomorrow." - "වාර්තාව හෙට බාර දිය යුතුයි."

    "I was to meet her the following day." - "මට පහුවදා එයාව හම්බ වෙන්න (නියමිතව) තිබුනා." හෝ "මට පහුවදා එයාව හම්බ වෙන්න දෛවයේ ලියවිලා තිබුනා."

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails