Monday, July 9, 2012

No More English Necessary - කියන තරම් වැදගත් නැහැ


ඉංග්‍රීසි භාෂාව ගැන අපේ රටේ මිත්‍යා මත ගොඩක් තියනවා. ඉංග්‍රීසි දැනුම  වැදගත් යයි බොහෝ අය කීවත්, එසේ වැදගත් වන්නේ කාටද, කුමක් සඳහාද, කුමන මට්ටමකටද යන කරුණු ගැන සම්මුතියක් නැහැ. ඒ නිසා ඒ සඳහා - රාජ්‍ය මට්ටමෙන් හා පෞද්ගලිකව - කෙරෙන වියදම්වලින් එතරම් පලයක්‌ ලැබෙන අයුරක් පෙනෙන්නත් නැහැ.

මට හැඟෙන ආකාරයට නම් එවැනි වැරදි මතවලින් කීපයක් මෙහෙමයි.
 
ශ්‍රී ලාංකිකයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතා දුර්වලයි.

ශ්‍රී  ලංකාවේ ඉංග්‍රීසි දැනුම පෙරට සාපේක්ෂව පිරිහී ඇති බව සත්‍යයක්. ඒ වගේම අසල්වැසි ඉන්දියාව වැනි රටවලට සාපේක්ෂව වර්තමානයේ ලංකාවේ ඉංග්‍රීසි මට්ටම පහල ගොස් ඇති බවත් ඇත්තක්. නමුත් පාසැල විෂයක් ලෙස අවුරුදු ගණනාවක් ඉංග්‍රීසිය - අඩුපාඩු රැසක් සහිතව වුවත් - උගන්වන නිසා බොහෝ අයට ඒ සම්බන්ධ සුළු දැනුමක් හෝ තියනවා. ඉංග්‍රීසි හෝඩියවත් බැරි අය අඩුයි; නමක් ගමක් කියවගන්නවත් බැරි අය අඩුයි; බොහෝ අයට "My name is...", "How are you?", "Where are you from?" වැනි මූලික වාක්‍ය ටිකක් කියා ගන්නත් බැරි කමක් නැහැ. ඇතැම් රටවල මෙහෙම තත්වයක්වත් නැහැ. (මෙය ප්‍රමාණවත්ද, නැද්ද යන්න වෙනම ප්‍රශ්නයක්.)

හොඳ රැකියාවක් සඳහා හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි.   

ඇතැම් හොඳ රැකියාවලට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වුණත්, පාසැලෙන් ලැබූ සුළු දැනුම ප්‍රමාණවත් වෙන - එසේත් නැත්නම් එම දැනුමත් අවශ්‍ය නොවෙන - රැකියා අවස්ථා අද ලංකාවේ තියනවා. ඒ අතර ඉහළ අදායම් ලබන ඒවාත් තියනවා. විශේෂයෙන් රාජ්‍ය අංශයේ රැකියා විශාල ප්‍රමාණයකට - වර්තමානයේ හොඳම ක්ෂේත්‍රය විය හැකි දේශපාලනය ඇතුළුව - එතරම් ඉංග්‍රීසියක් උවමනා වෙන්නේ නැහැ (ඇතැම් අවස්ථාවල භාෂාව සම්බන්ධ යම් විභාගයක් කෙසේ හෝ ගොඩ දමා ගැනීම අවශ්‍ය වුණොත් හැරුනකොට). ඊට අමතරව ලංකාව තුළ යම් ව්‍යාපාරයක් කරන්නේකුටත් එය එතරම් වැදගත් වෙන්නේ නැහැ (මෙයත් අද රටේ ඉතා සාර්ථක විය හැකි ක්ෂේත්‍රයක්).   

පෞද්ගලික අංශයේ රැකියාවකට ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. 

පෞද්ගලික අංශයේ රැකියාවලදී ඉංග්‍රීසි දැනුම සමස්තයක් වශයෙන් රාජ්‍ය අංශයට වඩා වැදගත් වුණත්, ඉහළ මට්ටමේ රැකියාවලට හැරුන විට ඉතා හොඳ ඉංග්‍රීසි දැනුමක් බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේදී ප්‍රධාන සාධකය වෙන්නේ ගෙවන පඩියට කෙතරම් සේවයක් ලබා ගත හැකිද යන්නයි.  

තැනකට ගිහින් යමක් කර ගන්න නම් ඉංග්‍රීසියෙන් කතා කළ යුතුයි.  

යම් තරමකට තවමත් ඇත්ත වුණත්, මීට වඩා වැදගත් කරුණු අද තියනවා. උපක්‍රමශීලීව කටයුතු කිරීම ඉන් එකක්. (කීයක්‌ හරි මිට මෙලවීමත් අද ඉතා සාර්ථක ක්‍රමයක්, එය සදාචාරාත්මක් නොවුණත්.) 

ඉහළ සමාජයට ඇතුළු වෙන්න ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි. 

ඉහළ සමාජය යනු කුමක්ද යන්න ප්‍රශ්නයක්. එය මුදල් යහමින් ඇති අයගේ සමාජය නම්, ඊට අවශ්‍ය වෙන්නේ තමනුත් කෙසේ හෝ මුදල් ඇත්තෙකු වීමයි (කලින් සඳහන් කළ පරිදි මේ සඳහා අද ලංකාවේ ඉංග්‍රීසිය එතරම් වැදගත් නැහැ). ඇතුළු වීමට අවශ්‍ය ඉංග්‍රීසි කතා කරන සෝබන ඉහළ පැලැන්තියට නම්, භාෂාව කෙතරම් හුරු වුණත් අදාළ පවුල් හා පාසැල් පසුබිම නොමැතිව එය කිරීමට අපහසු විය හැකියි.

ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අද ලංකාවේ ලොකු උනන්දුවක් තියනවා.

කලින්  කතා කළ මත හේතුවෙන් ඉංග්‍රීසි ඉගෙනීම වැදගත් යයි මුලින් සිතුවත්, ප්‍රායෝගිකව එය තමන්ට කියනා තරම් අවශ්‍ය නොවන බව පසුව වටහා ගන්නා බොහෝ අය ටික කලකින් අධ්‍යයනය අත් හරිනවා පෙනෙනවා.  

ඉහත කරනා එසේ නම් හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ කාටද යන්න ගැන හිතන්න වෙනවා. 

(1) අධ්‍යාපනය ඉහළට කර ගෙන යාමට බලාපොරොත්තු වෙන අයට 

උසස් අධ්‍යාපනය සඳහා වූ පොත පත හා අනෙකුත් අධ්‍යයන මෙවලම් බොහෝ විට ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මෙවැන්නන්ට හොඳ ඉංග්‍රීසි දැනුමක් වැදගත් විය හැකියි. (ඉංගිසි භාෂාව අද ජාත්‍යන්තර උසස් අධ්‍යයන මාධ්‍යය බවට බොහෝ දුටට පත් වී ඇති නිසා මෙය අද අනෙකුත් රටවල අයටත් මෙසේමයි.)

(2)  විදේශගතව අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙන අයට

විදේශගත අධ්‍යාපනය හැදෑරීම වෙනත් භාෂාවලින්ද කළ හැකි වුණත්, ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසිය ලබා ඇති තත්වය නිසා එම මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම වඩා ප්‍රයෝජනවත් විය හැකියි.

(3) විදේශගතව ඉහළ මට්ටමේ  රැකියා කිරීමට බලාපොරොත්තු වෙන අයට

එතරම් ඉංග්‍රීසි දැනුමක් නැතිව කළ හැකි පහල මට්ටමේ විදේශ රැකියා කොතෙකුත් ඇතත්, ඉහළ මට්ටමේ  රැකියා සඳහා බොහෝ විට ජාත්‍යන්තර භාෂාවෙන් සාර්ථක ලෙස වැඩ කිරීමේ හැකියාව පිටුබලයක් වෙනවා  (ඒ සඳහා තමන්ගේ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ නිපුනත්වයක්ද අවශ්‍ය බව කීමට උවමනා නැහැ).

(4) ඇතැම් වෘත්තීන්වල ඉහළට යාමට බලාපොරොත්තු වෙන අයට 

දේශීය වශයෙන් හෝ ඇතැම් ක්ෂේත්‍රවල ඉහළ තත්වයකට යාම සඳහා මනා ඉංග්‍රීසි දැනුමක් උපකාරී විය හැකියි. විදේශිකයන් හා සම්බන්ධ විය යුතු හා ජාත්‍යන්තර මූලයන්ගෙන් එන දැනුම හා සම්බන්ධ ක්ෂේත්‍රවල ඉහළ තනතුරු සඳහා මෙය වඩාත් ඉවහල් වෙනවා.

(5)  සමස්ත ලෝකය සමග එකතු වීමට ජාත්‍යන්තර මාධ්‍යයක් අවශ්‍ය අයට  

ඉහත බලාපොරොත්තු කිසිවක් නැතත්, විශ්ව ගම්මානයේ පුරවැසියෙක් ලෙස බාහිර ලෝකය සමග අදහස් සාර්ථකව හුවමාරු කර ගැනීමට හා සමස්ත ලෝකයෙන් තොරතුරු ලබා ගැනීමට ලොව ප්‍රධාන ජාත්‍යන්තර භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබීම පාදක වෙනවා. 

මේ ආකාරයෙන් හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් අවශ්‍ය අයට ඒ සඳහා භාවිතා කළ හැකි අධ්‍යයන ක්‍රම සම්බන්ධයෙන් භාෂා අධ්‍යයනය පිළිබඳ විශාරදයෙකුගේ අදහස් ගැන අපි "How Do You Learn a Language II - විවිධ ක්‍රම ගැන" හා "How Do You Learn a Language III - තමන්ම ඉගෙනීම ගැන" ලිපිවල කතා කළා. එයින් පළමු ලිපියේ  විශේෂිතව සාකච්ඡා කෙරුනේ එම විවිධ ක්‍රමවේද අතරින් එකක් වන ගුරුවරයෙකුගෙන් පංතියකදී ඉගෙනීම ගැනයි. අනෙකුත් ක්‍රම ගැන දෙවන ලිපියේ කතා කළ අතර එහිදී ස්වඅධ්‍යයනය ගැන විශේෂිතව අවධානය යොමු කෙරුණා. මෙම කරුණු ගැන නැවත අවධානය යොමු කිරීම හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් අවශ්‍ය අයට වැදගත් විය හැකියි.

මේ සම්බන්ධයෙන් මෙම බ්ලොග් අඩවියේ අරමුණ වුණේ මෙවැනි අය සඳහා ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයේ විවිධ අංග උදාහරණ සහිතව පැහැදිලි කර දීමයි. නමුත් මීට සමගාමීව ඉංග්‍රීසිය මැනවින් හසුරුවන්නන්ගේ භාවිතය සමග - කියවීම සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ - සමීප වීම අත්‍යවශ්‍ය වෙනවා. බ්ලොග් අඩවියේ පැහැදිලි කර ඇති භාෂා රටා හොඳින් ධාරණය කර ගැනීමට හැකි වන්නේ ඒවා ව්‍යවහාරය තුළ නැවත නැවත හමු වන විටයි.

එසේම මෙහි ලිපි විනෝදයට කියවන්නාක් මෙන් එක් වරක් කියවීම බොහෝ විට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවා ටික කලකට පසුව නැවත කියවූවොත්, ඒ අතරතුරදී ව්‍යවහාරයේ හමු වුණ ඊට අදාළ කරුණුද ඉවහල් කරගෙන අවබෝධය වඩාත් වර්ධනය වෙනු ඇති. මෙහි ලිපි ඇතුළත් කර ඉංගිරිසි ඊපොත සකස් කෙරුණේත් එම කාර්යය පහසු කිරීම සඳහායි. 

(Image credit: shehal)

      

2 comments:

  1. ඉංග්‍රීසි ඊ පොතේ මුල් පිටු කියවල නතර වුණේ භාවිතාවේ නැති වීම නිසා. නමුත් අවශ්‍ය ඕනම දෙයක් උදාහරණ එක්කම හොයාගන්න ඒකෙන් ලැබෙන පිටුවහල කියල නිම කරන්න බැරි තරමි. ඉගෙනගන්න තියෙන හොඳම ක්‍රමය කියවීම කියන අදහසේ මම ඉන්නෙ. ඒ නිසා හැකි හැම විටම කියවීමයි කරන්නෙ. රාජ්‍ය අංශයේ සේවය කරන නිසා ඉංග්‍රීසිය ඒ තරම්ම අවශ්‍ය නෑ කියන කතාව හරි කියල තේරෙනවා. නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ ඒක අවශ්‍ය නෑ කියල.

    උවමනාව තමයි!

    ReplyDelete
  2. සම්පුර්ණයෙන් එකඟ වෙනවා.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails