Saturday, January 30, 2010

They Will Be Working - අනාගතයේ තවත් පැත්තක්

 
සේයාරුවට ස්තුතිය: jonrawlinson 

මේ දවස්වල අපි බලන්නේ ඉංග්‍රීසි භාෂාවෙ අනාගත කාල ක්‍රියා ගැනනේ. කලින් ලිපියෙන් සාකච්චා කළා මතක ඇති ඉදිරියේ සිදු වීමට නියම, එසේ නැති නම් සිදු වෙයි කියලා හිතන දේ සම්බන්ධයෙන් පාවිච්චි කරන වාක්‍ය රටා හතරක් ගැන. ඉතින් අද අවධානය යොමු කරමු ඒ පිළිබඳව භාවිතා වෙන තවත් රටා කීපයක් ගැන.

(K) He / She / It / I / We / You / They / The boy / Sunil / The boys / Sunil and Mala... will be playing cricket.

(L)He / She / It / I / We / You / They / The boy / Sunil / The boys / Sunil and Mala... will have played cricket.

(M) He / She / It / I / We / You / They / The boy / Sunil / The boys / Sunil and Mala... will have been playing cricket. 



*** (K)  හා (M) රටාවල ගැනෙන present participle ස්වරූපය ගැන අපි “They Play Cricket, but Are They Playing Cricket? - වර්තමාන ක්‍රියා ගැන ලිපියේ බැලුවා. (L) රටාවේ ගැනෙන past participle ස්වරූපය ගැන අපි “You Have Always Liked It - එහෙනම් තවමත් එහෙමයි ලිපියේ බැලුවා.

***මෙම (K) රටාව future continuous’ හෝ future progressive’ යනුවෙනුත්, (L) රටාව ‘future perfect’ හෝ ‘simple future perfect’ යනුවෙනුත්, (M) රටාව ‘future perfect continuous’ හෝ ‘future perfect progressiveයනුවෙනුත් හැඳින්වෙනවා.


දැන් බලමු මේවා යෙදෙන විවිධ අවස්ථා ගැන.

1. අනාගතයේ යම් අවස්ථාවක සිදු වෙමින් පවතීයැයි සිතන දෙයක‍ට - (K) රටාව

By this time tomorrow, we will be watching the match. හෙට මේ වෙලාව වෙනකො‍ට අපි මැච් එක බල බල ඉඳීවි.

When he reaches* the office, the others will already be discussing the matter. එයා කාර්යාලයට යනකොටත් (ළඟා වෙන විටත්) අනිත් අය කාරණය සාකච්චා කරමින් ඉඳීවි.

2. කලින් ආසන්න වශයෙන් සැලසුම් කර ඇති දෙකට, එනම් මීට කලින් ලිපියේ (3) අවස්ථාවට, ඇතැම් විට (K) රටාව භාවිතා වෙනවා.

I will be meeting them tomorrow. මම හෙට ඒ අයව හම්බ වෙන්න ඉන්නෙ.

My sister will be handling all that. ඒ ඔක්කොම බලලා කරන්න යන්නෙ මගෙ අක්කා / නංගි.

3. අනාගතයේ යම් අවස්ථාවක් වන විට අවසන් වී තිබිය හැකි / තිබිය යුතු දේකට - (L) රටාව

By the time you get* here, all these people will have left. ඔයා මෙහෙ එනකොට (එන වෙලාව වෙන විට) මේ මිනිස්සු ඔක්කොම ගිහින් ඉඳීවි.

They will have finished building this house by next year. ලබන අවුරුද්ද වෙනකොට ඒ අය මේ ගෙදර හදලා ඉවර වෙලා තියේවි.

4. අනාගතයේ යම් අවස්ථාවක් වන විට යම් කාල පරාසයක් පුරා යමක් සිදු වී තිබේවි යන අර්ථයෙන් - සුදුසු ලෙස (L) හෝ (M) රටාව

By 2025, she will have owned this car for 25 years. 2025 වෙනකොට මේ කාරෙක අවුරුදු 25 ක් එයා ළඟ (එයාට අයිතිව තිබිල තියේවි).

By next year we will have been living here for 10 years. ලබන අවුරුද්දට අපි අවුරුදු දහයක් මෙහෙ.

By 9 o’clock he will have been sleeping for 12 hours. 9.00 වෙනකොට එයා පැය 12ක් තිස්සෙ නිදි (තවම 9.00 ‍වී නැහැ).

*මෙහිදී when, until, after, before, while, by the time වැනි කාලය සම්බන්ධ සම්බන්ධීකරණ පද (time conjunctions) ගැන සැලකිලිමත් විය යුතුයි . ඒවා සහිත වාක්‍ය ඛණ්ඩවල (clauses) යෙදෙන අනාගතයට අදාළ ක්‍රියා පද ‍සාමාන්‍යයෙන් යෙදෙන්නේ (A) රටාවෙන් බව මතක තබා ගත යුතුයි.

We will talk to the children about this after they finish their homework. අපි ළමයින්ට මේ ගැන කතා කරමු ඒ අය ගෙදර වැඩ ඉවර කළාට පස්සෙ.

I will see you again before I leave the country. මම රටෙන් පිට වෙන්න කලින් ආයෙ ඔයාට හම්බ වෙන්නම්.

She is not going to come back until you leave. ඔයා යනකම් එයා ආපහු එන එකක් නැහැ.

I will open the windows while you make tea. ‍ඔයා තේ හදනකම් (හදන අතරතුර) මම ජනෙල් අරින්නම්.

- while සමග මේ වෙනුවට “while you are making tea ලෙසින් (B) රටාවද බහුලව යෙදෙනවා.

***if, provided / providing (that), supposing (that), unless සහිත කොන්දේසියකින් යුත් වාක්‍ය ඛණ්ඩවල (conditional clauses) සාමාන්‍ය අනාගත කාල අර්ථයෙන් බොහෝ විට යෙදෙන්නේ (A) රටාවයි. (මෙවැනි වාක්‍යවල අනෙකුත් ප්‍රභේද ගැන පසුව සලකා බලමු.)

My father will talk to you if you come here now. ඔයා දැන් මෙහෙ ආවොත් මගෙ තාත්තා ඔයා එක්ක කතා කරයි.

Anyone will do that job provided you pay them right. ඔයා හරියට ගෙවනවා නම් ඕනැ කෙනෙක් ඒ වැඩේ කරාවි.

Supposing that somebody comes here, we will have to hide somewhere. කවුරු හරි මෙහෙ ආවොත් එහෙම අපට කොහෙ හරි හැංගෙන්න වෙනවා. 

You won't (will not) succeed unless you try. උත්සාහ නොකළොත් ඔයා‍ට සාර්ථක වෙන්න (දියුණු වෙන්න) බැහැ.

***තවත් කියන්න ඕනැ දෙයක් තමයි will පදය ඇතැම් ‍විට අනුමාන වශයෙන් වර්තමානය සම්බන්ධ යමක් කීමේදීත් භාවිතා වෙන බව. 

They will have reached Colombo by now. ඒ අය මේ වෙනකොට කොළඹට ගිහින් (ළඟා වෙලා) ඇති.

The postman has come; that will be a letter from your mother. ලියුම්කාරයා ඇවිල්ලා; ඔයාගෙ අම්මගෙන් ලියුමක් වෙන්න ඇති.

මේ ලිපිය පල කළාම මම ඔක්කොම මේ වගේ ඒවා 28 ක් කරලා තියේවි. (When I publish this post, I will have done 28 of them in all.) ඉංග්‍රීසි භාෂාවට අදාළ තවත් විවිධ දේවල් බලමු අපි ඉදිරි ලිපිවලින්. 

Related Posts with Thumbnails