Sunday, October 17, 2010

What’s on Your Mind? - ප්‍රශ්නයක්ද?


ඉංග්‍රීසි භාෂාවෙ idioms - ඒ කියන්නෙ අන්තර්ගත වචනවල සාමාන්‍ය අර්ථයට වෙනස් දෙයක් අදහස් කරන හෝ සාමාන්‍ය රටාවලින් පිට පනින යෙදුම් - බහුලව තියනවා. මේවා නිසා භාෂාවක අලංකාරය, රසවත්බව වැඩි වුණාට, භාෂාව ඉගෙන ගන්න අයට නම් ඒවා තරමක් ගැටළු සහගත වෙනවා. ඉංග්‍රීසි idioms පිළිබඳව ඉල්ලීමකුත් ඉදිරිපත් වුණ නිසා ඒ ගැන යමක් සඳහන් කරන්න හිතුවා.

ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයේ මූලික පියවරවලින් ඔබ්බට යන විට භාෂාව ස්වාභාවික ලෙස භාවිතා කිරීම සඳහා මෙවැනි යෙදුම් අත්‍යවශ්‍ය වෙනවා.  ඒවායින් සමහරක් නම් භාෂාව ඉගෙනීමේදි  ඉබේටම වාගේ අපට හුරු වෙනවා. දැනටමත් ඉදිරිපත් කරලා තියන ඇතැම් ලිපිවලත් මෙවැනි ඇතැම් දේ අපි සලකා බලලා තියනවා. උදාහරණ වශයෙන් You Idiot! ඉංග්‍රීසියෙන් බනිමුද?, “When You’re Up Against the Wall - ඉනිමගක් ඕනැ වෙයිද?, “I Kind of Like Computers - කම්පියුටර් වර්ගයකටද කැමති?, “Is It Terrible or Terrific? - කෝකත් එකද?, “Look Out! - බලාගෙනයි!, “Ever Lost Face? - එහෙම වෙන්නෙ කොහොමද?, “Taken for a Ride? How Nice! - රවුමක් ගියා නම් කොච්චර හොඳද! වැනි ලිපිවල මේ ආකාරයේ යෙදුම් සාකච්ඡා කෙරුනා.

මේවාගේ අරුත් සමහර අවස්ථාවල නම් අනුමාන කළ හැකි වුණත් එසේ කළ නොහැකි තැනුත් කොතෙකුත් තියනවා.  උදාහරණයක් වශයෙන්

It’ll hit him where it hurts. ඒක එයාට රිදෙන තැනකට වදියි (ඒක එයාට හොඳට වදියි, එයා සංවේදී කාරණයක් නිසා හොඳට හිත පෑරේවි).‍

ප්‍රකාශයෙ තේරුම උපකල්පනය කළ හැකි වුණත්,

They hit it off immediately. ඒ අය ක්ෂණිකව එකිනෙකා එක්ක යාළු වුණා (ටක් ගාලා ෆිට් උනා).

ප්‍රකාශයේ එසේ කිරීම තරමක් අපහසුයි.

තවත් දෙයක් තමයි එකම වචන සම්බන්ධ වුණත් සුළු වෙනසක් නිසා අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි බව.

Do you have something in mind? ඔයාගෙ හිතේ මොකක් හරි අදහසක් තියනවද?

Do you have something on your mind? ඔයාගෙ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවද?

We were kicking our heels, waiting for them. අපි ඒ අය එනකම් කරන්න දෙයක් නැතුව ඔහේ හිටියා.

We kicked up our heels after the exam. විභාගෙට පස්සෙ අපි හොඳ ‍ජොලියක් දැම්මා‍.

මෙවැනි ඇතැම් යෙදුම් පාවිච්චි කරන හා නොකරන අවස්ථා තියන බවත් තේරුම් ගත යුතුයි. උදාහරණ වශයෙන් ඉහත hit it off’, ‘kick one’s heels’, ‘kick up one’s heels’ වැනි ඒවා යෙදෙන්නේ අවිධිමත් භාවිතයේයි. ඒ නිසා එවැන්නක් විධිමත් ලියවිල්ලක හෝ කථනයක යොදා ගැනීම සුදුසු නැහැ.

ඒ වගේම මේ ආකාරයේ ඇතැම් යෙදුම් හමු වෙන්නේ ඇතැම් අයගේ භාවිතයේ පමණක් බවත් මතක තබා ගත යුතුයි. ඉහත kick one’s heels’ බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ එන්නක් වෙන අතර kick up one’s heels’ බොහෝ විට හමු වෙන්නේ ඇමරිකානු ව්‍යවහාරයේයි. එකම යෙදුම පාවිච්චි වෙන ප්‍රදේශය අනුව තරමක් වෙනස් ස්වරූප ගන්නත් පුලුවන්.

We have to find out more about the (lie of the land)[බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව...]/(lay of the land)[ඇමරිකාව, කැනඩාව...] before making a decision. තීරණයක් ගන්න කලින් අපි පවතින තත්වය ගැන තව හොයා ගන්න ඕනැ.

සැලකිල්ලට ගන්න ඕනැ තවත් වැදගත් දෙයක් තමයි මේ ආකාරයේ ඇතැම් යෙදුම් කාලෙකට පස්සෙ භාවිතයෙන් ඈත් වෙන බව. උදාහරණයක් ලෙස නීති රීති නොතකා වැරදි ලෙස හැසිරෙනවා අර්ථය ඇති kick over the traces’ යෙදුම වර්තමාන ව්‍යවහාරයේ යෙදෙන්නේ කලාතුරකින්.

ඉතින් මේ ආකාරයේ යෙදුමක් හමු වුණාම ඒකෙ තේරුම හා යෙදෙන ආකාරය හොයා ගන්නෙ කොහොමද? මේ සඳහා‍ මාර්ග කීපයක් තියනවා:

එකක් තමයි advanced learners සඳහා ලියවුණ හොඳ ශබ්දකෝෂයක අළුත් සංස්කරණයක් පාවිච්චි කිරීම. බහුලව ව්‍යවහාර වෙන යෙදුම් බොහොමයක් මේ වර්ගයේ ශබ්දකෝෂවල සොයා ගත හැකි අතර ඒවා භාවිතා වෙන්නේ කුමන ව්‍යවහාර මට්ටමකද යන්නත් දැක්වෙනවා. (ශබ්දකෝෂයකින් තොැතුරු නිවැරදිව ලබා ගැනීම පිළිබඳව How to Use a Dictionary - පද පෙරළි ලිපිය බලන්න.) 

තවත් ක්‍රමයක් තමයි අන්තර්ජාලයේ ඇති පහසුකම් ප්‍රයෝජනය‍ට ගැනීම. මෙතනදී යොදා ගත හැකි අඩවි කීපයක් සලකා බලමු.

1. The Free Dictionary වෙබ් අඩවියේ අදාළ යෙදුම ඇතුල් කිරීමෙන්‍ බොහෝ විට එහි අර්ථය හා උදාහරණ ලබා ගත හැකියි. එසේ නැති නම් යෙදුමේ ප්‍රධාන වචනයක් වෙබ් අඩවියේ ඇතුල් කර, එවිට ලැබෙන පිටුවේ ඉහළ කොටසේ ඇති idioms’ සබැඳිය මත කෙටීමෙන් එම වදන අන්තර්ගත විශේෂ යෙදුම් වෙත පිවිසිය හැකියි. මෙහි යෙදුම භා‍විතයේ යෙදෙන්නේ කුමන මට්ටමේ ව්‍යවහාරයේද යන්නත් තරමක් දුරට හෝ දැක්වෙනවා.

2. Your Dictionary හි අදාළ යෙදුම හෝ එහි ප්‍රධාන වචනයක් ඇතුල් කිරීමෙන් එහි අර්ථය හා උදාහරණ ලබා ගත හැකියි. මෙහිත් යෙදුම භා‍විතයේ යෙදෙන්නේ කුමන මට්ටමේ ව්‍යවහාරයේද යන්න තරමක් දුරට දැක්වෙනවා.

3. අදාළ යෙදුම සම්මත ව්‍යවහාරයට (තවම) එක් නොවූවක් නම් එය සෙවීමට Urban Dictionary ප්‍රයෝජනයට ගත හැකියි. මෙහි ඇති ඇතැම් යෙදුම් ඉතා ග්‍රාම්‍ය හෝ අසභ්‍ය ඒවා විය හැකියි. ව්‍යවහාර මට්ටම සඳහන් වීම මෙම අඩවියේ අඩු නිසා මෙහි එන යෙදුම් පාවිච්චියට ගැනීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුයි.

මීට අමතරව අන්තර්ජාලයේ ඇති අනෙකුත් බොහෝ ශබ්දකෝෂ වෙබ් අඩවිවලත් (dictionary websites) යම් වචනයක් ඇතුල් කළ විට එම වචනයේ අර්ථවලට අමතරව ඊට අදාළ යෙදුම්වල අර්ථද ලබා දෙනවා.

4. Longman Dictionary of Contemporary English

(සේයාරුවට ස්තුතිය: journeyscoffee

7 comments:

  1. අන්තර් ජාලයේ සබැඳියන් බොහොම වටිනවා. ඔබට ස්තූතියි...
    මට වර්තමානයේ උත්ගත වී ඇති ප්‍රශ්ණයක් කීමට කැමැත්තෙමි..

    දැනට මා උසස් අධ්‍යාපනය ලබන අතර මේ සඳහා සියළුම දේශණ පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.. තේරුම් ගැනීමේ හෝ සටහන් කර ගැනීමේ කිසිදු අපහසුතායවක් නොමැති නමුත්..විභාගය සදහා පිළිතුරු ලිවීමේදි ගලපා ගැනීම විටෙක ඉතා අපහසු වෙයි. දැනට පෙනී සිටි එක් සෙමෙස්ටයක් සඳහා හොඳ ප්‍රතිඵල ලැබී ඇතත් ( එය ගණිතය බහුල ප්‍රශ්ණ පත්‍රයක් නිසා ලිවීමේදි ගැටළු අඩු විය)නමුත් විසිතරාත්මක පරිදි ලිවීම අපහසුයි...

    ReplyDelete
  2. @wath ෴ වත් ෴

    ප්‍රශ්නයකට ගලපලා උත්තර ලියන එක මව් භාෂාවෙනුත් එතරම් ලේසි දෙයක් නොවන නිසා දෙවෙනි බසකින් එය අමාරු වීම අරුමයක් නෙවෙයි. නමුත් එය ප්‍රගුණ කිරීමෙන් එයට හුරු විය හැකියි. පහත ඇති වෙබ් සබැඳි වලිනුත් යම් පිටුබලයක් ලැබේ යයි සිතනවා.

    (මුල් වෙබි අඩවි දෙකේ විභාග ප්‍රශ්නවලට උත්තර සැපයීම සම්බන්ධ දේ සඳහන් අතර පසුව එන අඩවි දෙක ප්‍රතිඵලදායක ලිඛිත භාෂාව පිළිබඳව ලියවී තිබෙනවා.)

    How to effectively answer questions in your exam (http://www.slideshare.net/mrjportman/how-to-effectively-answer-questions-in-your-exam)

    How to write a good English exam answer (http://m.crossref-it.info/articles/312/How-to-write-a-good-English-exam-answer)

    Effective Writing (http://www.sourceaid.com/reference/pdf/effective-writing.pdf)

    The Elements of Style (http://careerplanning.about.com/gi/o.htm?zi=1/XJ&zTi=1&sdn=careerplanning&cdn=careers&tm=938&f=21&su=p284.9.336.ip_p554.13.336.ip_&tt=2&bt=1&bts=1&zu=http%3A//www.bartleby.com/141/index.html)

    ReplyDelete
  3. බොහොම ස්තූතියි...

    ඔබේ අගනා සමාජ මෙහෙවර යලිත් අගය කරමි..

    ReplyDelete
  4. එකම වචනෙන් වෙනස් අදහස් ප්‍රකාශ වෙන අවස්ථාවලදිත් ටිකක් අමාරුවෙ වැටෙනවා.specially movies වල වාගෙ.ස්තුතියි මේ ලිපියටත්.

    ReplyDelete
  5. @dinesh

    වචනවල විවිධ තේරුම් හොයා ගන්නත් යම් advanced learner's dictionary එකක් හෝ The Free Dictionary වැනි වෙබ් අඩවියක් යොදා ගන්න පුලුවන්.

    ReplyDelete
  6. Thanks for your useful work Sujeewa. I try to learn.

    Sorry, I can't type in Sinhala. I don't know how to install Sinhala fonts.

    ReplyDelete
  7. @Maith

    Glad to be of help.

    If you want to have Sinhala Unicode support, you can go for one of the three options I have offered at the top left of this blog.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails