Wednesday, August 25, 2010

Go to Hell! ඒක කොහෙද?



සිංහල භාෂාවේ නැති, ඒත් ඉංග්‍රීසියේ නිතරම භාවිතා වෙන අංගයක් තමයි ‍බොහෝ විට නාම පදවලට (nouns) කලින් යෙදෙන a’, ‘an’ සහ the’ යන articles නමින් හැඳින්වෙන පද. මේවායින් පළමු දෙකේ භාවිතය ගැන අපි A Herb , An Herb ? සුද්දන්ටත් හොල්මන්ද? ලිපියෙන් බැලුවා. දෙවැන්න ගැන The Trouble with ‘The’ – මොකටද මේ වචනෙ? ලිපියේ සාකච්ඡා කෙරුනා.

නමුත් අපි දන්නවා හැම නාම පදයක්ම හැම තැනකදිම මේ article එකක් සමග නෙමෙයි යෙදෙන්නෙ. කිසිම article එකක් නැතිවත් ඇතැම් විට නාම පද පාවිච්චි වෙනවා. එවැනි අවස්ථා පිළිබඳව අද ටිකක් කතා කරමු.

1. සමස්තයක් වශයෙන් යමක් හැඳින්වීමට ගණන් කළ නොහැකි නාම පදයක් (uncountable noun) යෙදෙන විට

We need food to live. අපට ජීවත් වෙන්න කෑම අවශ්‍යයි.

They drank water. ඒ අය වතුර බිව්වා.

Everybody likes music. හැමෝම සංගීතයට කැමතියි.

***ගණන් කළ නොහැකි නාම පද නිසා මේවා a’/’an’ සමග යෙදීමක් නැහැ. නමුත් යම් දෙයක් මෙවැනි පදයක් මගින් විශේෂිතව දැක්වෙන විට ඒ සමග the’ භාවිතා වෙනවා.

The water they drank was not good. ඒ අය බිව්ව වතුර හොඳ නැහැ.

2. සමස්තයක් ලෙස යම් ගුණයක්, තත්වයක්, හැඟීමක් වැන්නක් දක්වන නාම පද (abstract nouns) සමග

They treated us with kindness. ඒ අය අපට කරුණාවෙන් සැලකුවා.

We all appreciate beauty. අපි කව්රුත් ලස්සන අගය කරනවා.

Our country needs progress. අපේ රට දියුණු වෙන්න ඕනැ (දියුණුව අවශ්‍යයි).

Everybody wants happiness; nobody likes sadness. හැමෝටම ඕනැ සතුට; කව්රුවත් දුකට කැමති නැහැ.

***nature (ස්වභාවධර්මය), society (සමාජය), television/TV (රූපවාහිනිය), cinema (සිනමාව), culture (සංස්කෘතිය), history (ඉතිහාසය) ආදී පදත් ඊට අදාළ අර්ථ සමස්තයක් ලෙස දක්වන අවස්ථාවල භාවිතා වෙන්නේ මේ ආකාරයෙනුයි.

Everybody must protect nature. හැම කෙනෙක්ම ස්වභාවධර්මය ආරක්ෂා කළ යුතුයි.

There are all types of people in society. සමාජයෙ හැම විදිහෙම අය ඉන්නවා.

The child is watching television/TV. ළමයා ටී.වී. (රූපවාහිනී) බලනවා. 

Shes very fond of cinema. එයා සිනමාවට (චිත්‍රපටිවලට) හරි කැමතියි.

American culture ඇමරිකානු සංස්කෘතිය

European history යුරෝපීය ඉතිහාසය

***මේ වචනවලින් ඊට අදාළ දෙයක් විශේෂිතව හැඳින්වෙන විට සුදුසු ලෙස article යෙදෙනවා.

That’s the nature of such people. ඒක තමයි ඒ විදිහේ අයගේ ස්වභාවය.

We live in a hectic society. අපි ජීවත් වෙන්නේ කලබලකාරී සමාජයක.

They moved the TV to a corner. ඒ අය රුපවාහිනී යන්ත්‍රය මුල්ලකට කෙරුවා.

We went to the cinema [BrE]/the movies [AmE] yesterday. ඊයේ අපි චිත්‍රපටියක් බලන්න (සිනමා ශාලාවට) ගියා.

the culture of America ඇමරිකාවේ සංස්කෘතිය

the history of Europe යුරෝපයේ ඉතිහාසය

***ක්‍රිස්තියානි පසුබිමක් ඇති god (දෙවියන් වහන්සේ),heaven (දෙව් ලොව), hell (අපාය) වැනි පද එම ආගමික සංකල්පවලදී යෙදෙන්නේත් article නැතිවයි.

God bless you! ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!

Heaven and Hell are powerful religious concepts. දෙව්ලොව හා අපාය ප්‍රබල ආගමික සංකල්පයන්.

Go to hell! බම්බු ගහගනින්!/මකබෑවියන්! (කෙසේ වත් ආගමික කියමනක් නොවන, ‘අපායට පලයන් කියවෙන මෙම යෙදුම ආචාරශීලී එකක් නොවෙයි.)

3. සමස්තයක් වශයෙන් යමක් හැඳින්වීම බහු වචන නාම පදයක් (plural noun) යෙදෙන විට

We like flowers. අපි මල්වලට කැමතියි.

***මෙහිදීත් යම් දෙයක් මෙවැනි පදයක් මගින් විශේෂිතව දැක්වෙන විට නම් the’ භාවිතා වෙනවා.

Where are the flowers? කෝ මල් (කතා කරන්නා හා‍ අසන්නා දෙන්නාම දන්නා යම් මල් වගයක්)?

***පහත වාක්‍යවල වෙනස සසඳන්න.

Rain is important to farmers. ගොවියන්ට වැස්ස වැදගත්. (මෙහිදී පොදුවේ ගොවියන් අදහස් කෙරෙනවා.)

The Government has done a lot for the farmers. ආණ්ඩුව ගොවියන් වෙනුවෙන් ගොඩක් දේ කරලා තියනවා. (මෙහිදී අදාළ රටේ ගොවියන් එක් ජන කණ්ඩායමක් සේ සැලකෙනවා.)

Sri Lankans adore children. ශ්‍රී ලාංකිකයන් ළමයින්ට හරි ආදරෙයි. (මෙහි ශ්‍රී ලාංකිකයන් පොදුවේ ගත් විට ඇති ගුණයක් සඳහන් වෙනවා.)

The Sri Lankans suffered a lot during the civil war. සිවිල් යුද්දේ කාලේ ශ්‍රී ලාංකිකයෝ ගොඩක් දුක් වින්දා? (මෙහි ශ්‍රී ලාංකිකයන් එක් ජනතාවක් ලෙස සැලකෙනවා.)

4. පුද්ගලයන්ගේ නම් හා තනතුරු සමග

I met Nimal yesterday. මට ඊයෙ නිමල්ව හම්බ උනා.

***නමුත් යම් පුද්ගලයෙක් යම් නමක් ඇති කෙ‍නෙක් බව කීමේදී a’ හෝ an’ භාවිතා කෙරෙනවා.

She’s a Perera. එයා පෙරේරා කෙනෙක් (පෙරේරා නම තියන කෙනෙක්).

***පවුල්වල නම් සමග the’ යෙදීම ගැන ආරම්භයේ සඳහන් දෙවෙනි ලිපියේ කියවුණා.

***තමන්ගේ මව, පියා වැනි, තමන්ට ඒ ගණයේ එක් අයෙක් පමණක් සිටින පුද්ගලයෙක් සම්බන්ධව, අදාළ නාම පදය article නැතිව භාවිතා වෙනවා.

Father/Dad(informal) told me to go there. තාත්තා මට කිව්වා එහෙ යන්න කියලා. 

Uncle Nimal called us yesterday. නිමල් මාමා/බාප්පා ඊයේ අපට කතා කළා (call කළා).

***යම් කෙනෙක් යම් පසුබිමක ඇති සුවිශේෂී තනතුරක සිටින බව දැක්වෙන පහත ආකාරයේ රටාවලත් අදාළ තනතුර article නැතිව යෙදෙනවා.

He was elected President of Sri Lanka. එය ලංකාවේ ජනාධිපති හැටියට (එම තනතුරට) තේරුණා.

She’s been appointed Personnel Manager in the company. එයාව සමාගමේ පිරිස් කළමනාකරු හැටියට පත් කරලා.

He’s (the) General Manager here now. එයා දැන් මෙහෙ සාමාන්‍යාධිකාරී.

***කෙනෙකුගේ තනතුර නමට ඉදිරියෙන් යොදන විට article භාවිතා වෙන්නේ නැහැ.

President Premadasa was popular at a time. ප්‍රේමදාස ජනාධිපතිතුමා එක කාලෙක ජනප්‍රිය වෙලා හිටියා.

Lieutenant General Denzil Kobbekaduwa was killed in a bomb explosion. ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව බෝම්බ පිපිරීමකදී මරණයට පත් වුනා.

***කෙසේ නමුත් යම් තනතුරක් දරන්නා පුද්ගලයෙකු ලෙස දැක්වෙන විට සුදුසු ලෙස article යෙදිය යුතුයි.

I had to talk to the Personnel Manager. මට පිරිස් කළමනාකරු එක්ක කතා කරන්න උනා.

***නෑදෑකම හෝ තනතුර කියා ආමන්ත්‍රණය කිරීමේදී article භාවිතා කරන්නේ නැහැ.

Come here, Son. මෙහෙ එන්න, පුතේ.

Good morning, Doctor. සුබ උදෑසනක්, දොස්තර මහත්තයා.

***කෙනෙකුගේ වෘත්තීය හා නම එකට බැඳී ඇති ලෙස සලකන විට ඇතැම් අය article භාවිතා කරන්නේ නැහැ,
 විශේෂ තනතුරක් නොතිබුනත්.

Lots of people like (the) actor Shah Rukh Khan. ශාරුක් ඛාන් නළුවාට ගොඩක් අය කැමතියි.

***පහත සඳහන් වාක්‍ය රටා දෙකේ වෙනසත් සැලකිල්ලට ගත යුතුයි.

This is Vijaya Yapa, an engineer. මේ විජය යාපා, ඉංජිනේරුවෙක්.

This is Vijaya Yapa, the engineer. මේ විජය යාපා, ප්‍රසිද්ධ ඉංජිනේරුවා.

5. රටවල, මහාද්වීපවල, නගරවල, මාර්ගවල, සාප්පුවල, පාසල්වල, සමාගම්වල හා වෙනත් ඇතැම් ආයතනවල නම් සමග

Have you been to India? ඔයා ඉන්දියාවෙ ගිහිල්ලා තියනවද?

We live in Asia. අපි ජීවත් වෙන්නේ ආසියාවේ.

She has lived in Kuala Lumpur. එයා ක්වාලා ලම්පූර්වල (එනම් නගරයේ) ඉඳලා (ජීවත් වෙලා) තියනවා.

Their office is on Anderson Road. ඒ ගොල්ලන්ගෙ කාර්යාලය තියෙන්නෙ ඇන්ඩසන් පාරේ.

I bought it at NOLIMIT. මම ඒක ගත්තෙ නෝලිමිට් එකෙන් (සාප්පුවෙන්).

He attended Royal College. එයා ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ.

She works at John Keells. එයා වැඩ කරන්නේ ජෝන් කීල්ස් සමාගමේ.

The project was funded by UNESCO. ව්‍යාපෘතියට මුදල් ලැබුණේ යුනෙස්කෝ ආයතනයෙන්.

***ඇතැම් රටවල නම් සමග the යෙදෙන ආකාරය ආරම්භයේ සඳහන් දෙවෙනි ලිපියේ විස්තර කෙ‍රුනා.

***ආක්ටික් හා ඇන්ටාක්ටික් මහාද්වීප සඳහා නම් the’ යෙදෙනවා: the Arctic, the Antarctic

***කලාතුරකින් නගරවල නම් සමගත් the’ යෙදෙනවා.  උදා: the Hague (හේග් නගරය), the Vatican (වතිකානුව)

***ඇතැම් මාර්ගවල නම් සමග the’ යෙදෙනවා. උදා: the Main Street, the High Street

***ආයතනවල නම්වල ‘the’ යෙදෙන තැන් ගැන The Troublewith ‘The’ – මොකටද මේ වචනෙ? ලිපිය බලන්න.

6. විල්, කඳු ආදියේ නම් සමග

Did you see Lake Michigan when you visited the US? ඔයා ඇමරිකාවෙ ගිය වෙලාවෙ මිෂිගන් විල දැක්කද?

(Mount) Kilimanjaro is the highest mountain in Africa. කිලිමන්ජාරෝ (කන්ද) අප්‍රිකාවේ උසම කන්දයි.

***කඳු වැටිවල නම් සඳහා the’ යෙදෙන බව ආරම්භයේ සඳහන් දෙවෙනි ලිපියේ දැක්වුණා. වෙනත් යුරෝපීය භාෂාවල ආභාෂය නිසා ඇතැම් තනි කඳු සඳහාත් the’ පාවිච්චි වෙනවා. උදා: the Matterhorn (මැටර්හෝන් කන්ද), the Dom (ඩෝම් කන්ද)

7. ග්‍රහලෝකවල නම් සමග

Scientists are very interested in Mars. විද්‍යාඥයින් අඟහරු (ග්‍රහයා) ගැන ඉතා උනන්දුයි.

Jupiter is the largest planet in our solar system. බ්‍රහස්පති අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ලොකුම ග්‍රහ ලෝකයයි.

***අපේ ඉර හා සඳ ආශ්‍රයෙන් නම් යෙදෙන්නේ the sun සහ the moon කියායි. පෘතුවිය හුදෙක් ග්‍රහලෝකයක් ලෙස සැලකෙන විට Earth ලෙස කියවුණත් එය අප ජීවත් වන ලෝකය ලෙස සඳහන් වන වි‍ට the earth වශයෙන් භාවිතා වෙනවා.

8. දින, මාස, සෘතු (බොහෝ විට), නිවාඩු දින, කෑම වේල් ආදියේ නම් සමග

We’ll let you know on Monday. අපි ඔයාට සඳුදට දැනුම් දෙන්නම්.

The wedding will be held in November. මංගල උත්සවය නොවැම්බර් මාසේ පැවැත්වෙයි.

They’re coming here in (the) winter. ඒ අය ශීත සෘතුවෙ මෙහෙ එනවා.

I’ll see you at Christmas. මම නත්තලට ඔයාව හම්බ වෙන්නම් (බලන්න එන්නම්).

She’s having dinner. එයා (රෑ) කෑම කනවා.

***මෙම වචනත් යම් දෙයක් වීශේෂිතව හඳුන්වන තැන්වල සුදුසු article පදයක් සමග යෙදෙනවා.

It happened in the summer of 2006. ඒක සිද්ද උනේ 2006 ග්‍රීෂ්ම කාලෙ.

We had a hearty breakfast. අපට හොඳ (හිත පිරෙන) උදේ කෑමක් ලැබුනා.

9. විෂයන්,භාෂා, ක්‍රීඩා ආදියේ නම් සමග

Children learn geography in school. ළමයි ඉස්කෝලෙ භූගෝලය (එනම් විෂය) ඉගෙන ගන්නවා.

Do you want to learn Chinese? ඔයාට චීන භාෂාව ඉගෙන ගන්න ඕනැද? (නමුත් ‘the Chinese language’)

Do you like tennis? ඔයා ටෙනිස්වලට කැමතිද?

10. ලෙඩ රෝගවල නම් සමග

රෝගයක් සමස්තයක් ලෙස සඳහන් කිරීමේදී article යෙදෙන්නේ නැහැ.

He has asthma. එයාට ඇදුම තියනවා.

Dengue has become a big problem. ‍‍ඩෙංගි (ඩෙංගු උණ) ලොකු ප්‍රශ්නයක්බවට පත් වෙලා.

***නමුත් යම් කෙනෙකුට විශේෂිතව බලපාන දෙයක් ලෙස යම් රෝගයක් සඳහන් වන විට නම් උචිත ලෙස article යෙදෙනවා. cold (සෙම්ප්‍රතිෂ්‍යාව)’,headache (හිස රදය)’, ‘heart attack (හෘදයාබාදය) වැනි දේ යෙදෙන්නේ මේ ලෙසයි.

I’ve got a cold. මට හෙම්බිරිස්සාව(ක්) හැදිලා.

He recovered quickly from the heart attack he had. එයාට හැදුන හෘදයාබාදයෙන් එයා ඉක්මන‍ට සුවය ලැබුවා.

***toothache (දත් කැක්කුම), earache (කන් කැක්කුම), stomachache (බඩේ කැක්කුම), backache (කොන්ද කැක්කුම) ආදියත් එසේ a’ සමග යෙදෙනවා (බ්‍රිතාන්‍ය භාවිතයේ නම් ඒවා article නැතිවත් යෙදෙනවා).

He has a toothache. / He has toothache [BrE]. එයාට දත් කැක්කුම හැදිලා.

***mumps (කම්මුල් ගාය), measles (සරම්ප), flu (ඉන්ෆ්ලුවෙන්සාව) වැනි රෝග සමස්තයක් ලෙස සඳහන් වන තැන්වලත් ඇතැම් විට the’ සමග යෙදෙනවා. නමුත් එවා එම අර්ථයෙන් article නැතිවත් භාවිතා වෙනවා.

All these children have had (the) measles. මේ ළමයි ඔක්කොටම සරම්ප හැදිලා තියනවා.

11. school (පාසැල), church (පල්ලිය), court (උසාවිය), prison (හිර ගෙදර), jail (හිර ගෙදර) ආදී පද සමග

මෙවැනි වචන යම් නිශ්චිත ස්ථානයක් දැක්වීම වෙනුවට එයට අදාළ කාර්යය හෝ සංකල්පය හුවා දැක්වීමට යෙදෙන විට article නැතිව භාවිතා වෙනවා.

My daughter is in/at school. මගෙ දුව ඉස්කෝලෙ ගිහින් (ඉගෙන ගන්න ගිහින්).

I’ll pick you up after school. ඉස්කොලෙ ඇරුනම (ඉගෙනීම ඉවර වුණාම) ඔයාව එක්ක යන්න මම එන්නම්.

They’ve gone to church. ඒ අය (ආගමික වතාවත් සඳහා) පල්ලි ගිහිල්ලා.

The criminal was sent to jail. අපරාධකාරයාව සිරගත කෙරුනා.

***ඊට අදාළ කාර්යය හෝ සංකල්පය සඳහා වෙනුවට යම් නිශ්චිත ස්ථානයක් හැඳින්වීමට මේ පද යෙදීමේදී නම් සුදුසු article පදයක් පාවිච්චි කෙරෙනවා.

I went to the school to meet the principal. මම විදුහල්පතිතුමා/තුමිය හම්බ වෙන්න ඉස්කෝලෙට ගියා.

***බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ at university / to university’සහ in hospital / to hospital’ යෙදුම් පාවිච්චි වෙනවා එම ආයතනවලට සම්බන්ධ ප්‍රධාන කාර්යය - එනම් ඉගෙන ගැනීම හා ප්‍රතිකාර ගැනීම - සම්බන්ධ අවස්ථාවලදී. වෙනත් කරුණක් සම්බන්ධ වූ විට හෝ ඇමරිකානු ව්‍යවහාරයේ නම් සැම විටම නාම පදයට පෙර the’ යෙදෙනවා. (නමුත් ඇමරිකානු භාවිතයේ බොහෝ විට university වෙනුවට යෙදෙන college යන්න නම් ‍‍එහි ප්‍රධාන කාර්යය සම්බන්ධව ‘in college / to college’ ආදී වශයෙන් භාවිතා වෙනවා.)

He is at university now. [BrE] / He is at the university now. [AmE] / He is in college now [AmE] එයා දැන් විශ්ව විද්‍යාලෙ (ඉගෙන ගන්නවා).

She’s in hospital. [BrE] / She’s in the hospital. [AmE] එයා ‍(අසනීප වෙලා) ඉස්පිරිතාලෙ.

I had to go to hospital. [BrE] / I had to go to the hospital. [AmE] මට (ප්‍රතිකාර ගන්න) ඉස්පිරිතාලෙ යන්න උනා.

I had to go to the hospital to visit a sick friend. [BrE සහ AmE] මට අසනීප වෙලා ඉන්න යාළුවෙක් බලන්න ඉස්පිරිතාලෙට යන්න උනා.

12. නිපාත පද සමග යෙදෙන විවිධ වාක්‍ය ඛණ්ඩවල (prepositional phrases)

Put this dress on top of the other clothes. මේ ඇඳුම අනිත් ඇඳුම් උඩින් තියන්න.

We went there by bus. අපි එහෙ ගියේ බස් එකේ.

Travel by land is time-consuming. ගොඩබිමින් ගමන් යන්න බොහොම වෙලාව ගත වෙනවා.

This has to be written by hand. මේක අතින් ලියන්න ඕනැ.

I saw it on TV/television. මම ඒක රූපවාහිනියෙ දැක්කා. ‍

***නමුත් රේඩියෝව සම්බන්ධයෙන් නම් යෙදෙන්නේ I heard it on the radio. (මම ඒක රේඩියෝ එකේ ඇහුවා.), ‘He’s listening to the radio. (එයා  රේඩියෝ අහනවා.) ආදී වශයෙනුයි. අන්තර්ජාලය සම්බන්ධයෙනුත් මෙසේ the’ භාවිතා කොරනවා.

We found it on the Internet. අපි ඒක අන්තර්ජාලයෙන් හොයා ගත්තා.

13. නොම්මරයක් සහිතව යමක් සඳහන් කරන විට

මෙහිදී සාමාන්‍යයෙන් ‘the’ පදය යෙදෙන්නේ නැහැ.

Turn to page no. 81. 81 වෙනි පිටුවට පෙරලන්න.

We’re starting Module Two next week. අපි ලබන සතියේ දෙවෙනි කොටස පටන් ගන්නවා.

නමුත්

Take the no. 12 bus. නොම්මර 12 බස් එක ගන්න.

14. උපදෙස් පත්‍රිකා ආදියේදී දන්නා දේවල් සඳහන් කරන විට

මෙහිදී බොහෝ විට ‘the’ පදය අත් හරිනවා.

i.   Remove battery cover and take battery out. 
ii.  Insert SIM.
iii. Replace both battery and cover. 

i.   බැටරි ආවරණය ඉවත් කර හා බැටරිය පි‍ටතට ගන්න.
ii.  SIM පත ස්ථානගත කරන්න.
iii. බැටරිය හා ආවරණය නැවත තිබූ පරිදි සවි කරන්න.

15. පුවත් පත් සිරස්තල ආදියේ

මේවායේ සාමාන්‍යයෙන් article පද අත් හරිනවා.

President Meets US Ambassador ජනපති ඇමරිකානු තානාපති හමු වෙයි

Man Killed in Accident හදිසි අනතුරකින් පුද්ගලයෙක් මරුට

(සේයාරුවට ස්තුතිය: jaqian) 


8 comments:

  1. ගොඩාක් ස්තුතියි.....

    ReplyDelete
  2. @dinesh
    ලිපිය කියෙව්වටයි, ප්‍රතිචාරයටයි ස්තුතියි.

    ReplyDelete
  3. ඉතාම අගනා ලිපියක්... ඔබේ ලිවීමේ රටාවේ ඇති සිත්ගන්නා සුළු බව සහ පැහැදිලි බව ඉතා වටිනවා.. ස්තූතියි

    ReplyDelete
  4. හ්ම්..අපිව දැණුවත්කළාට ස්තූතියි..
    ජයවේවා!!!

    ReplyDelete
  5. @sameerausa
    ඇගයීමට ස්තුතියි. ඉදිරිපත් කිරීමේ යම් පැහැදිලිබවක් තියනවා නම් ඒ අවුරුදු ගණනාවක් ජාතික සංචාරක නියාමකයෙක් හැටියට සේවය කිරීමේදී ඒ සඳහා ලැබුන පරිචය වෙන්න ඇති.

    ReplyDelete
  6. @සම්පත් / jt
    මෙයින් ප්‍රයෝජනයක් ගත්තට ස්තුතියි. ජයවේවා!!!

    ReplyDelete
  7. ආයිබොවන්ඩ. සොරි වෙන්න ඕනා, කාලෙකින් කොමෙන්ට් නොකලාට. මේ දවස්වල අපි ඉතිං බස්සො බකමූණො වගේ තමා, රෑ වැඩ.

    go to hell හරිම වැදගත්. එතකොට go( and) fly a kite.

    මෙන්න මගේ දයිනික වචන සැට් එක.
    what the hell you are doing?
    have you lost your mind?
    in your dreams!
    you wish!
    beats me!

    නැතුව අමාරුයි අප්පා, මුන්දලත් එක්ක.ඉහගහගෙන ඉන්න. දන්නවනෙ නිවටයට එළුවත් නිකට පාන විත්තිය.


    බැරිද මේක තව ටිකක් එකතු කරලා. හොදට ලුණු ඇඹුල් ඇතුව සහ සීලාචාර විදිහට බනින පෝස්ට් එකක් කරන්න. මං මේ විහිලු කරනවා හෙම නෙවෙයි. මේක ඇත්තටම අවශ්ෂය දෙයක්. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි, නැත්නම් සොරි ඩොට් කොම් තමා.

    ReplyDelete
  8. @Siribiris

    ආයිබෝවන්ඩ සිරිබිරිස් මහත්තයා. කාලෙකට පස්සෙ හරි ප්‍රතිචාරයක් දාපු එක ලොකු දෙයක්.

    කතාව නම් ඇත්ත. ඉඳල හිටල හරි කටහඬ පොඩ්ඩක් උස්සන්නෙ නැතිව ජීවත් වෙන්න මෙහෙත් බැහැ. ඒවගේ වෙලාවට පාවිච්චියට ගන්න පුලුවන්, සැර වුණත් අසභ්‍ය නොවන, ඔය ආකාරයෙ තවත් යෙදුම් ටිකක් දාලා ලිපියක් ලිව්වොත් හොඳයි තමයි.

    අදහස සැපයුවාට ස්තුතියි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails