Monday, April 5, 2010

Small Small Things? - පොඩි පොඩි දේවල්ද?




අදත් කතා කරන්න හිතුනා අපේ ඉංග්‍රීසි භාවිතයයි, ජාත්‍යන්තර ඉංග්‍රීසි භාවිතයයි අතර තියන වෙනස්කම් කීපයක් ගැන. මොකද, ඉස්සර වගේ නෙමේ දැන් අපි කව්රුත් මේ රටෙන් පිට පුද්ගලයන්, සමාගම්, මාධ්‍ය ආදිය එක්ක සම්බන්ධකම් වැඩි නිසා, ඒ අයත් එක්ක පැහැදිලිව අදහස් හුවමාරු කර ගන්න අවශ්‍ය වෙනවනේ. ඒ සඳහා කාටත් පොදු ජාත්‍යන්තර සම්මතයන් දැන සිටීම වැදගත් වෙනවා.

1. small small

අපි සිංහලෙන් පොඩි පොඩි දේවල්, වෙනස් වෙනස් ප්‍රශ්න වගේ යෙදුම් කොතෙකුත් පාවිච්චි කරනවා. ඒකෙන් අදහස් වෙන්නෙ ඒ ආකාරයෙ විවිධ දේවල් කියන එකනේ. ඉතින් ඉංග්‍රීසි කතා කරනකොටත් අපි ඒ පුරුද්දට “small small things”, “different different problems” ආදී වශවෙන් කියන්න නැඹුරු වෙනවා.

නමුත් සම්මත ඉංග්‍රීසි ව්‍යවහාරයේ එම අර්ථය දීමට adjective පදයක් දෙවතාවක් යෙදීම කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඒ මෙවැනි අවස්ථාවල අර්ථයට ගැලපෙන ආකාරයට වෙනත් යෙදුමක් තෝර ගන්න පුලුවන්.
උදාහරණ වශයෙන්:

We talked about various small things / various problems. අපි විවිධ පොඩි (සුළු) දේවල් / විවිධ ප්‍රශ්න ගැන කතා කළා.

We talked about many small things / many different problems. අපි පොඩි (සුළු) දේවල් / විවිධ ප්‍රශ්න ගොඩක් ගැන කතා කළා.

We talked about several small things / several different problems. අපි පොඩි (සුළු) දේවල් / විවිධ ප්‍රශ්න කීපයක් ගැන කතා කළා.

එසේම ‘තිත් තිත් ඇඳුමක්’ වැනි අර්ථ සඳහා ‘a dot dot dress’ ආකාරයෙන් ලංකාවේ කියවුණත් ඒ සඳහා යෙදෙන්නේත් වෙනත් රටා.

She was wearing a dotted/checked/striped dress. එයා තිත් තිත්/කොටු කොටු/ඉරි ඉරි ඇඳුමක් ඇඳගෙන හිටියා.

නමුත් ඉංග්‍රීසියේ  තියනවා adjective එකක් දෙවතාවක් යෙදීම සමහර අවස්ථාවල වෙනත් අර්ථයකින් නම්. එහෙම කරන්නෙ ඉතාම..., “ගොඩාක්... වැනි තේරුමකින්.

I saw her long, long ago. මම එයාව දැක්කෙ ගොඩාක් ඉස්සර.

2. get down from

බස් එකෙන් / කෝච්චියෙන් / කාරෙකෙන් බහිනවා වැනි දේ අපේ අය “get down from the bus / train / car” ආකාරයෙන් කියනවා. නමුත් ඉංග්‍රීසියේ get down from කියා සාමාන්‍යයෙන් යෙදෙන්නේ උස් තැනක සිට පහළට එන අවස්ථාවලයි. ඒ නිසා , උදාහරණයක් වශයෙන්, වහලයක සිට බිමට බැසීමේදී get down from the roof කියා කියනවා.

බස්, ‍කෝච්චි, ගුවන් යානා වැනි ලොකු, පොදුවේ පාවිච්චි කරන වාහනවලින් සහ බයිසිකල්, මෝටර් සයිකල් වැනි රෝද දෙකේ වාහනවලින් බැසීමේදී භාවිතා වෙන්නේ get off යන්නයි. කාරෙකක්, වෑන් එකක්, ජීප් එකක්, ටැක්සියක් වැනි කුඩා, පෞද්ගලිකව පාවිච්චි කරන වාහනයක් සම්බන්ධව get out of පාවිච්චි කරනවා. (අපේ රටේ නම් get off the car / van / three-wheeler” ‍ආදියත් බහුලව ඇහෙනවා.)

We got off the bus / train at Maradana. අපි මරදානෙදි බස් එකෙන් / කෝච්චිවෙන් බැස්සා.

He is going to get off his motorcycle / motorbike [බ්‍රි]. එයා එයාගෙ මොටර්බයික් එකෙන් බහින්න යන්නෙ.

She is getting out of the car / van / three-wheeler. එයා කාරෙකෙන් / වෑන් එකෙන් / ත්‍රීවීලරෙකෙන් (දැන්) බහිනවා.

***එසේම ජාත්‍යන්තර භාවිතයේ පළමු ගණයේ වාහනයකට නැගීමේදී get on යන්නත්, දෙවෙනි ගණයේ වාහනයකට නැගීමේදී get into යන්නත් යෙදෙනවා. (ලංකාවේ නම් බොහෝ විට සියළු වාහන සඳහා get into යෙදීම බහුලයි.)

We got on the bus / train at Maradana. අපි මරදානෙන් බස් එකට / කෝච්චියට නැග්ගා.

She is getting into the car / van / three-wheeler. එයා කාරෙකට / වෑන් එකට / ත්‍රීවීලරෙකට (දැන්) නගිනවා.

3. play out

ඒ ගොල්ලො මාව රැවැට්ටුවා යන අර්ථයෙන් “They played me out” යන්න ලංකාවේ භාවිතා වෙනවා. නමුත් ජාත්‍යන්තර ව්‍යවහාරයේ නම් play out යන්න යෙදෙන්නේ වෙනත් අර්ථ ඇතිවයි.

We played out the scene. අපි ජවනිකාව රඟදක්වලා පෙන්නුවා. 

They played the game out. ඒ අය අවසානය වෙනකම්ම සෙල්ලම් කළා (ගේම් එක ඉවර කළා).

We played out part of the rope. අපි ලණුවෙ කොටසක් දිග ඇරල දුන්නා.

Her energy played out / was played out. එයාගේ ශක්තිය වැය වුණා (එයාට මහන්සි උනා).

Let’s see how things play out / are played out. අපි බලමු මොනවද වෙන්නෙ කියල (මොන විදිහටද දේවල් සිද්ද වෙන්නෙ කියල).

රවටනවා යන අර්ථයෙන් වෙනත් යෙදුම් භාවිතා වෙනවා.

They cheated me / deceived me / conned me [අවිධිමත්] / took me for a ride [අවිධිමත්].   ඒ ගොල්ලො මාව රැවැට්ටුවා.

4. ask from

අපි සිංහලෙන් කියනවා එයාගෙන් අහන්න, “මට එයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියනවා කියලා. ඒ පුරුද්දට ඉංග්‍රීසියෙනුත් සමහර අය “Ask from him”, “I want to ask a question from her” වැනි දේ කියනවා. නමුත් ඉංග්‍රීසියෙ ask වචනය එක්ක සාමාන්‍යයෙන් from යෙදෙන්නෙ නැහැ.

Ask him. එයාගෙන් අහන්න.

I want to ask (her) a question. මට (එයාගෙන්) ප්‍රශ්නයක් අහන්න තියනවා.

I want to ask (you) something. මට (ඔයාගෙන්) යමක් අහන්න තියනවා.

He asked (me) the way to Negombo. එයා (මගෙන්) මීගමුවට පාර ඇහුවා.

Ask (him) his name / the time. (එයාගෙන්) එයාගෙ නම / වෙලාව අහන්න.

They are going to ask his opinion about the matter. ඒ අය කාරණය ගැන එයාගෙ අදහස අහන්න යනවා.

They are going to ask him for his advice about the matter. ඒ අය කාරණය ගැන එයාගෙන් උපදෙස් ඉල්ලන්න යනවා.

He wanted to ask (you) a favour [බ්‍රි] / favor [ඇ]. එයාට ඕනැ උනා (ඔයාගෙන්) උදව්වක් ඉල්ලන්න.

He wanted to ask a favour [බ්‍රි] / favor [ඇ] of you. එයාට ඕනැ උනා ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න.

“Where have you been?” she asked (us). කොහෙද ඔය ගොල්ලො හිටියෙ?” එයා (අපෙන්) ඇහුවා.

She asked (us) where we lived / what time our friends would come / what we had seen / how to go there. එයා අපෙන් ඇහුවා කොහෙද අපි ඉන්නෙ (පදිංචිය) / අපේ යාළුවො කොයි වෙලාවටද එන්නෙ / මොනවද අපි දැක්කෙ / කොහොමද එහෙ යන්නෙ කියල.

They asked (me) for some money / for a drink / for a job / for some information. ඒ අය (මගෙන්) සල්ලි ටිකක් / බොන්න දෙයක් / රස්සාවක් / තොරතුරු ටිකක් ඉල්ලුවා.

The boss asked (me) for an explanation.  ලොක්කා (මගෙන්) ඉල්ලුවා (යම් දෙයක් සම්බන්ධව) කරුණු පැහැදිලි කිරීමක්.

He asked to leave. එයා යන්න අවසර ඉල්ලුවා.

She asked to see the manager. එයා කළමනාකාරතුමා හම්බවෙන්න ඉල්ලුවා.

She asked to be informed of our plans. එයා ඉල්ලුවා අපේ සැලසුම් ගැන එයාට දන්වන්න කියලා.

She asked that she be / should be [බ්‍රි] informed of our plans [විධිමත්].* එයා ඉල්ලුවා අපේ සැලසුම් ගැන එයාට දන්වන්න කියලා.

She asked whether / if she could come in. එයා ඇහුව ඇතුළට එන්නද කියලා.

They are asking me whether / if I can help them. ඒ අය මගෙන් අහනවා මට ඒ අයට උදව් කරන්න පුලුවන්ද කියලා.

He asked me to leave / take a seat / come with him. එයා මට යන්න / වාඩි වෙන්න / එයා එක්ක එන්න කිව්වා.

They asked us to come in. ඒ අය අපට ඇතුළට එන්න කිව්වා.

They asked us in. ඒ අය අපට ඇතුළට එන්න කිව්වා.

We asked them to dinner / the party tomorrow. (We invited them to dinner / the party tomorrow.) අපි ඒ අයට හෙට රෑ කෑමට / උත්සවයට (පාටියට) එන්න කිව්වා (ආරාධනා කළා).

They asked Rs. 50,000 for the computer. ඒ ගොල්ලො කම්පියුටර් එකට රු. 50,000ක් ඉල්ලුවා.

They are asking too much of their children. ඒ අය එයාලගෙ ළමයින්ගෙන් ඕනැවට වැඩිය බලාපොරොත්තු වෙනවා.
 
*මෙම රටාව ගැන Would You Mind Reading This? – ඉල්ලීම් හා යෝජනාලිපිය බලන්න.

***යමක් කියන ලෙස ඉල්ලන විට ask something ආකාරයෙනුත්, යමක් දෙන ලෙස ඉල්ලන විට ask for something ආකාරයෙනුත් බොහෝ විට යෙදෙන බව උදාහරණවලින් පෙනෙන්නට ඇති. යමක් එසේද, නැද්ද කියා ඇසීමේදී whether යෙදීම if යෙදීමට වඩා විධිමත් ආකාරයක් වෙනවා.

5. discuss about

සිංහලෙන් යමක් ගැන සාකච්චා කරනවා යන්නට ලංකාවේ ඇතැම් අය “discuss about something” කිව්වත් ජාත්‍යන්තර භාවිතයේ discuss සමග about වැනි පද යෙදෙන්නේ නැහැ. (නමුත් “have a discussion about/on something” යනුවෙන් නම් යෙදෙනවා.)

We discussed that matter with them. අපි එයාලා එක්ක ඒ කාරණය ගැන සාකච්ඡා කළා.

We had a discussion with them about that matter. අපි එයාලා එක්ක ඒ කාරණය ගැන සාකච්ඡාවක් කළා.

6. survive from

මෙම පදයයම් බරපතල දෙයකට මුහුණදී එයින් බේරෙනවා / දිවි ගලවා ගන්නවා වැනි අර්ථවලින් යෙදෙන විට ඒ සමග from භාවිතා වෙන්නේ නැහැ. (එනම් “survive from an accident” ආදී වශයෙන් යෙදෙන්නේ නැහැ.)

You need courage to survive these hard times. මේ අමාරු කාලය ජය ගන්න ධෛර්‍යය අවශ්‍යයි.

Not many people survived the accident. වැඩි දෙනෙක් අනතුරෙන් බේරුනේ (පණ බේරා ගත්තේ) නැහැ.

යම් කාලයක / කණ්ඩායමක සිට තවමත් (නොනැසී) පවතිනවා යන අර්ථයෙන් නම් ඒ සමග from යෙදෙනවා.

Very few books survive from that period. ඒ කාල වකවානුවේ පොත් ඉතා ස්වල්පයයි ඉතිරි වෙලා තියෙන්නේ.

She was the only one who survived from that family. ඒ පවුලෙන් එයා විතරයි ඉතුරු උනේ.

7. go behind

“යමක්/යමෙක් පිටුපසට යනවා” යන අර්ථයෙන් මෙය යොදා ගැනුනත් “යමක්/යමෙක් පසුපස යනවා” යන්නට භාවිතා වෙන්නේ go after යන්නයි. මේ දෙවෙනි අර්ථය ඇති අවස්ථාවල “go after politicians” වැනි දේ ලංකාවේ ඇහෙනවා.

Go behind that door so that she can’t see you. එයාට ඔයාව පේන්නෙ නැති වෙන්න අර දොර පිටිපස්සට යන්න.

You know that I don’t like to go after politicians. ඔයා දන්නවා මම දේශපාලනඥයො පස්සෙ යන්න කැමති නැහැ කියලා.

8. off the light

විදුලි උපකරණයක් ක්‍රියා විරහිත කිරීමේදී ‘off the light/TV...’  යනුවෙන් ලංකාවේ ඇතැම් විට අසන්නට ලැබුණත් ඒ සඳහා යෙදෙන්නේ ‘switch/turn off the light/TV...’ ආකාරයෙනුයි.

I’m going to switch/turn off the lights. මම ලයිට් (විදුලි පහන්) නිවන්නයි යන්නේ. 

සබැඳි ලිපි:

සේයාරුවට ස්තුතිය: *SuiKa* 

12 comments:

  1. ස්තුතියි.

    ReplyDelete
  2. @Anonymous, පහන්, බිඟුවා...!
    දිරිගැන්වීම්වලට ස්තුතියි.

    ReplyDelete
  3. ඇත්තටම වැදගත්. ප්‍රශ්ණෙ අපේ භාවිතයේ දුර්වලකම තමයි. භාවිතා නොවෙන නිසා හරි දේ දැනගත්තත් කතා කෙරෙන්නෙම සිංහලේ පරිවර්ථනේ තමයි :)

    ReplyDelete
  4. මේක ඉතා හොඳ සේවයක්.. අප උනත් නිතර ඉංග්‍රීසි භාවිත කලත් මේ වගේ අඩුපාඩු සමහර තැන් වල පුරුද්දක් වශයෙන්ම වෙන බව වැටහෙන්න මේ ලිපිය ඉවහල් උනා... දිගටම කියා දෙන්න මේ වගේ දේවල්... ජය වේවා!

    ReplyDelete
  5. බොහොම ස්තුතියි

    ReplyDelete
  6. @h
    සම්පූර්ණ ඇත්ත. අපේ රටේ හුඳක් අයට ඉංග්‍රීසි භාවිතයට තියන අවස්ථා අඩුයි තමයි. ඒ නිසා මේකට තියන විසඳුම තමයි හැකි තරම් ජාත්‍යන්තර තළයේ ප්‍රකාශ;න කියවීම හා එවැනි මාධ්‍යවලට සවන් දීම. ඒකට ප්‍රයෝජනවත් විස්තර දැනගන්න side bar එකේ තියන සබැඳියෙන් "Ingirisi Google Group" එකට එන්න.

    ReplyDelete
  7. @ජීවිතේමල්
    හැකි හැම අවස්ථාවෙම උත්සාහ කරනවා.

    ReplyDelete
  8. @panhida
    ප්‍රයෝජනවත් වුණ බව දැන ගැනීම සතුටක්.

    ReplyDelete
  9. නවත්තන්න එපා.දිගටම ලියන්න,අපිට තවමත් ඔබේ ලිපි ගොඩක් වටිනවා.දිගින් දිගටම ලියන්න. අපි අලුත් ලිපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා

    Thank you very much for your great job sir..:))

    ReplyDelete
    Replies
    1. වැඩ අධික වීම නිසා කාලෙකින් ලියන්න බැරි වුණා. ඒත් ඊටත් වඩා තවත් ගැටලුවක් තියනවා. අන්තර්ජාලයේ තියෙන මේ බ්ලොග් සටහන අපේ රටේ මේ වගේ පාඩම් මාලාවක් වැඩිපුරම අවශ්‍ය අය අතරට යනවද කියන එක.

      ඉංග්‍රීසි භාෂාව ගැන මම මේ වෙනකම් ලියපු ලිපි උනන්දුවෙන් අධ්‍යයනය කළ කෙනෙකුට ඒවාගේ ඇති දේ පිලිබඳ - එසේ නැතිනම් ඒ හා සම්බන්ද අනෙකුත් දේ ගැන - ප්‍රශ්න මතු වී තිබිය යුතුයි. ඒත් අන්තර්ගතය හා සම්බන්ද එවැනි ප්‍රශ්න නම් ප්‍රතිචාර ඔස්සේ එතරම් ඉදිරිපත් වෙලා නැහැ.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails