Thursday, April 22, 2010

Is This‍ All in Vain? - ගඟට ඉනි කැපීමක්ද?




කලිනුත් කීප වතාවක් අපි කතා කළා අපේ රටේ භාවිතා කරන ඉංග්‍රීසියයි, ජාත්‍යන්තරව භාවිතා වෙන ඉංග්‍රීසියයි අතරෙ තියන යම් යම් වෙනස්කම් ගැන. අදත් බලන්න යන්නෙ ඒ වගේ අවස්ථා කීපයක්.

මේකෙන් අදහස් කෙරෙන්නෙ නැහැ, අපේ රටට ආවේණික ඉංග්‍රීසි යෙදුම් වැරදියි කියන එක. යම් භාෂාවක් පාවිච්චි වෙන ඕනැම රටක ඒ රටේ පමණක් යොදා ගැනෙන වචන සහ රටා තියනවා. නමුත් ඉංග්‍රීසි අද ජාත්‍යන්තර භාෂාව බවට පත් වෙලා තියන නිසාත්, ඉංග්‍රීසි ඉගෙන ගැනීමෙදි අපේ මූලික අරමුණ ජාත්‍යන්තරය සමග සම්බන්ධවීම නිසාත්, ජාත්‍යන්තර ව්‍යවහාරය ගැන දැන ගැනීම වැදගත් වෙනවා.

1. in vain

මේ යෙදුම අපේ රටේ ඇතැම් වෙලාවට පාවිච්චි වෙනවා අයියා ගාව වැඩිපුර ටිකට් තිබුනා. අපරාදෙ ඔයා සංදර්ශනයට නාවේ. My brother had extra tickets. In vain you didn’t come to the show.වැනි අවස්ථාවල. මෙයින් අදහස් වෙන්නෙ ඒ කළ (හෝ නොකළ) දෙයින් අනවශ්‍ය පාඩුවක් ඇති වූ බව (හෝ ලැබෙන්න තිබූ වාසියක් නොලැබුන බව). මේ අවස්ථාවල සිංහලෙන් අපරාදෙ කියලා කියන නිසා මේවා අපි තරමක් වෙනස් අර්ථයකින් අපරාදෙකියන පහත සඳහන් අවස්ථා එක්ක පටලවා ගන්නවා.

ජාත්‍යන්තර ව්‍යවහාරයේ in vain” යන්න යෙදෙන්නේ, කරන ලද යම් උත්සාහයකින් කිසිදු ප්‍රතිඵලයක් නොලද විටයි. එනම් සිංහලෙන් ගඟට ඉනි කැපුවා වගෙයි කියන අවස්ථාවලයි. (සිංහලෙන් මේ අවස්ථාවලත් අපරාදෙ කියලා කියනවා,)

I tried in vain to explain the matter to her. මම එයාට කාරණය පැහැදිලි කරල දෙන්න උත්සාහ කළත් පලක් උනේ නැහැ.

They waited in vain for a bus to come. ඒ අය බස් එකක් එනකම් බලන් හිටියත් පලක් උනේ නැහැ.

We went there in vain. අපි එහෙ ගියාට වැඩක් උනේ නැහැ.

All our efforts were in vain. අපේ උත්සාහය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල උනා.

අපේ රටේ in vain” පාවිච්චි වෙන මුලින් සඳහන් කළ අර්ථයෙන් නම් ජාත්‍යන්තරව යෙදෙන්නෙ වෙනත් රටා.

My brother had extra tickets. In vain you didn’t come to the show. [Sri Lanka]

My brother had extra tickets. It’s a shame (that) you didn’t come to the show. (You could have come to the show and seen it free.) [international]

අයියා ගාව වැඩිපුර ටිකට් තිබුනා. අපරාදෙ ඔයා සංදර්ශනයට නාවේ.  (ඇවිල්ලා ඒක නොමිලේ බලන්න තිබුනා.)

The manual is only in Malay. In vain. / In vain we bought this gadget in Malaysia. [Sri lanka]

The manual is only in Malay. What a shame. / It’s a shame (that) we bought this gadget in Malaysia. [international]

උපදෙස් පොත තියෙන්නෙ මැලේ භාෂාවෙන් විතරයි. අපරාදෙ. / අපරාදෙ අපි මේ ගැජට් එක මැලේසියාවේදී ගත්තේ.

(උපදෙස් පොත මැලේ බසින් නිසා අපහසුතාවයක් ඇතුවා මිස ගැජට් එක වැඩ නොකරනවා නොවේ.)

2. for lies

සිංහලෙන් බොරුවට කියන තැන්වල, අපේ සමහර අය ඒක කෙලින්ම ඉංග්‍රීසියට හරවලා for lies” කියනවා. නමුත් එවැනි යෙදුමක් නම් ජාත්‍යන්තර ව්‍යවහාරයේ ඇත්තෙම නැහැ.

Don’t shout for lies. [Sri lanka]

Don’t shout in vain. [international]

බොරුවට (හේතුවක් නැතුව) කෑ ගහන්න එපා.

He said it for lies. [Sri lanka]

He said it as a joke. [international]

එයා ඒක කිව්වෙ බොරුවට (විහිළුවට).

For lies she is crying.* [Sri Lanka]

She is pretending to cry. [international]

එයා බොරුවට අඬන්නේ (අඬනවා වගේ බොරුවට පෙන්නනවා, ඒක රඟපෑමක්).

*හුවා දැක්වීමට අවශ්‍ය කොටස් මෙසේ සිංහල රටාවට වාක්‍යයේ මුල යෙදීම in vain’ හිදීත් දකින්න ඇති.

3. keep

සිංහල භාෂාවෙ තියනවා සහ තියා තබනවා / ගන්නවා දෙක එක ළඟින් යන නිසා අපේ සමහර අය ඉංග්‍රීසි keep පදය මේ දෙකටම පාවිච්චි කරනවා. නමුත් keep හි නියම අර්ථය මේ දෙවැන්න පමණයි. ඒ කියන්නේ යමක් තරමක් දිග කාලයක් යම් තැනක තියා තබන විටයි.

Keep it with you. ඒක ඔයා ළඟ තියා ගන්න.

Let’s keep it on the table. අපි ඒක මේසෙ උඩ තියලා තියමු.

Why don’t you keep it in the cupboard? ඇයි ඔයා ඒක කබඩ් එකේ තියල තියන්නෙ නැත්තෙ?

තියනවා අර්ථයෙන් නම් භාවිතා වෙන්නෙ put” වැනි පදයි.

Keep it on the table. [Sri Lanka]

Put it on the table. [international]

ඒක මේසෙ උඩ තියන්න.

Keep it in the cupboard. [Sri Lanka]

Put it in / into the cupboard. [international]

ඒක කබඩ් එකට දාන්න.


4. now itself / today itself

දැන්ම, අදම වැනි අර්ථ ඇතිව ඉහත යෙදුම් අපේ රටේ භාවිතා වුනත් ජාත්‍යන්තරයේ “now”, “today” වැනි ක්‍රියා විශේෂණයක් (adverb) ලෙස යෙදෙන පදයක් හුවා දැක්වීමට කෙරෙන්නේ ඒවා බර කර (stress) කීමයි.

Go there now itself. [Sri Lanka]

Go there NOW. / Go there right now. [international]

දැන්ම එහේ යන්න.

You can buy it today itself. [Sri Lanka]

You can buy it TODAY. [international]

ඔයා(ල)ට ඒක අදම ගන්න පුළුවන්.

ජාත්‍යන්තර ව්‍යවහාරයේ “myself”, “ourselves”, “yourself”, “yourselves”, “himself”, “herself”, “itself” හා “themselves” පද යෙදෙනවා දෙආකාරයකින්:

(i) නාම පදයක් හුවා දැක්වීමට (එයම, එයින්ම.... ආදී වශයෙන්)

My friend will talk to you himself. / My friend himself will talk to you. මගේ යාළුවම ඔයාට කතා කරයි.

They want to write it themselves. ඒ අයට ඕනැ ඒක තමන්ම ලියන්න.

(ii) ක්‍රියාවක් කරන්නාම ක්‍රියාවට භාජනය වන බව දැක්වීමට    

She blamed herself for the mistake. වැරැද්දට එයා තමන්ටම දොස් පවරගත්තා.

I looked at myself in the mirror. මම මා දිහා කණ්ණාඩියෙන් බැලුවා.

(iii) පුද්ගලයන් කීප දෙනෙක් සඳහන් තැනක එක් අයෙක් හුවා දැක්වීමට මෙන් ඇතැම් අය පහත රටාව යොදතත්, ඊට වඩා එසේ නොකරන රටාව සුදුසු බව අනෙක් අයගේ මතයයි.

The boss scolded Nimal, Mala and myself.

The boss scolded Nimal, Mala and me.

ලොක්කා නිමල්ටයි, මාලාටයි මටයි බැන්නා.

(iv) වාක්‍යයක “like”, “except” වැනි පදවලට පසුව සඳහන් කෙනෙක් හුවා දැක්වීමට මෙන් ඇතැම් අය පහත රටාව යොදතත්, ඊට වඩා එසේ නොකරන රටාව සුදුසු බව අනෙක් අයගේ මතයයි.

This job is not suitable for people like yourself.

This job is not suitable for people like you.

මේ රස්සාව ඔයා වගේ අයට ගැලපන්නෙ නැහැ.

(v) කීප දෙනෙක් අතරදී තමන්වම යන්නට themselves යෙදුනත් එකිනෙකාව යන්නට යෙදෙන්නේ each other හෝ one another යන යෙදුම්. (දෙදෙනෙකු අතර each other ද, ඊට වැඩි පිරිසක් සමග one another ද යෙදිය යුතු බවට අතීතයේ මතයක් තිබුනත් වර්තමානයේ මේ දෙකම වෙනසක් නැතිව භාවිතා වෙනවා. මෙයින් each other වඩා බහුලයි.)  

They praised themselves for the victory. ඒ අය ජයග්‍රහණයට තමන්වම වර්ණනා කර ගත්තා.

They praised each other / one another for the victory. ඒ අය ජයග්‍රහණයට එකිනෙකාව වර්ණනා කර ගත්තා.

5. sin

සිංහලෙන් අනුකම්පාව දැක්වීමට පවු කියලා කියන තැන්වල ඉංග්‍රීසියේ ‘sin’ කීම අපේ ඇතැම් අය කරතත්, ජාත්‍යන්තරයේ එවැනි අවස්ථාවල එසේ කියන්නේ නැහැ.

He has failed the exam again. Sin, no?* [Sri lanka] 

He has failed the exam again. It’s a pity, isn’t it?/It’s a pity (that) he has failed the exam again, isn’t it? [international] 

එයා අයෙත් විභාගෙ ෆේල් වෙලා. පවු නේ?

*අපේ කඩ්ඩේ වගතුග You Know, No?ලිපියත් බලන්න.

 

සබැඳි ලිපි:

සර්වලෝක පූට්ටුව හා බුද්ධි අංශ - අපේ කඩු හැරවිලි

Do You Like Ladies’ Fingers? - සුද්දන්ට බැරිඅපේ ඉංග්‍රීසි 

Small Small Things? - පොඩි පොඩි දේවල්ද? 

(සේයාරුවට ස්තුතිය: Ollie Crafoord)

2 comments:

  1. I spent a life time trying to find a good place to learn English in vain. Then I came to this blog.
    :)

    ReplyDelete
  2. @තමීර | Thameera
    Thanks for the compliment.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails