Friday, April 2, 2010

Do You Like Ladies’ Fingers? - සුද්දන්ට බැරි අපේ ඉංග්‍රීසි



අපි කලිනුත් කීප වතාවක් කතා කළා මතක ඇති අපේ රටේ පාවිච්චි වෙන ඉංග්‍රීසියෙයි, ජාත්‍යන්තර ප්‍රමිතිය ලෙස යම් තරමකට පිළිගැනෙන ඉංග්‍රීසියෙයි‍ අතර තියන වෙනස්කම් ගැන. මේක ඇත්තටම සාමාන්‍ය දෙයක්. යම් භාෂාවක් භාවිතා වෙන ඕනැම රටක ඒ රටේ  සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, කෑම බීම, කතා කරන අනිත් භාෂා ආදී දේවල ආභාෂය අනිවාර්යෙන්ම ඒ භාෂාවෙ භාවිතයට බලපානවා.

ඇත්තෙන්ම ඒක තමයි රටවල් කීපයක පාවිච්චි වෙන අනිත් භාෂාවලත් ස්වරූපය. ස්පාඤ්ඤ (Spanish), ප්‍රංශ (French), ජර්මන් (German), දෙමළ (Tamil) වැනි භාෂාවලත් මෙවැනි ලක්ෂණ අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. ඒක ජීවමාන භාෂාවක ලක්ෂණයක්. එහෙම නොවෙනව නම් ඒ ලතින්, පාලි වගේ එදිනෙදා භාවිතයේ නැති භාෂාවල විතරයි.

ඉංග්‍රීසි අද ලෝකෙ රටවල් ගණනාවක පාවිච්චි වෙනවා. ඒ හැම රටකම ඉංග්‍රීසි භාවිතයේ තමන්ට ආවේණික වෙනස්කම් පවතිනවා. අපේ රටේ ඉංග්‍රීසියෙත් ඒ වගේ ආවේණික අනන්‍යතා තියනවා. 

හැබැයි මෙතනදි සැලකිල්ලට ගත යුතු දෙයක් තමයි, ‍අපේ රටේ පාවිච්චි කරන ඉංග්‍රීසියේ තියන මේ ගති ලක්ෂණ අතර රට තුළ යම් පිළිගැනීමකට පාත්‍ර වුණ අංග සහ එසේ පිළි නොගැනෙන අංග තියන බව.

මේක ඇත්තෙන්ම ඉංග්‍රීසි මව් බස හැටියට කතා කරන රටවලත් තියන තත්වයක්. උදාහරණයක් වශයෙන්, ඉස්සර නිවැරදි යයි පිළිගැනුන “It’s I. - මේ මමවෙනුවට දැන් “It’s me.” යන්නත් පිළිගැනෙනවා, ඒ රටවල උගත් අයත් බොහෝ විට එය පාවිච්චි කරන නිසා. නමුත් ඇතැම් අය “My wife and I went there. - මමයි, මගෙ බිරිඳයි එහෙ ගියා. වෙනුවට “Me and my wife went there.” කිව්වත්, එය පිළිනොගත් - එනම් non-standard  - රටාවක් ලෙසයි සැලකෙන්නේ.    

අපේ ලංකාවෙ ගත්තොත්, question tags වෙනුවට “no?” යෙදීම (“අපේ කඩිඩේවගතුග - You Know, No?” බලන්න.) අපේ රටේ ඉංග්‍රීසි කතා බහේදි (ලිවීමේදී නොවේ) සියල්ලන්ම පාහේ යොදාගන්නා නිසා, එය ශ්‍රී ලාංකික භාෂිත ඉංග්‍රීසියේ සම්මත අංගයක් (a standard feature of Sri Lankan colloquial English) ලෙස පිළිගත හැකියි. නමුත් වචනයක මුලට “s-” යෙදෙන විට එය “ඉස්-” යනුවෙන් උච්චාරණය කිරීම (“'ඉස්' ගෑවොත් නම් ලෙඩක් - අපේ කඩ්ඩේ වගතුග” බලන්න.) එසේ පිළිගැනෙන්නේ නැහැ, භාෂා ප්‍රවීණයන් එසේ නොකරන නිසා.

ඒ වගේම පරහක් තියනවා ඉංග්‍රීසි “o ශබ්ද උච්චාරණයෙත්. “note”, “boat වැනි වචනවල ඇති ශබ්දය “ඕ /oː/ ලෙස කීම මෙහි පිළිගැනීමට ලක්වී ඇතත්, “shop, office” වචනවල ශබ්දය “ඔ /o/” ලෙස හෝ “call, law” වචනවල ශබ්දය “ඕ /oː/” ලෙස කීම එසේ පීළිගැනීමට ලක් වී නැහැ. (“You Wont LawcalEnglish? - අපේ කඩ්ඩේ වගතුග” බලන්න.)

කොහොම වුණත් අපි ‍තේරුම් ගත යුතු තවත් දෙයක් තියනවා. අපේ රට තුළ - ඒ වගේම බොහෝ විට දකුණු ආසියාව තුළ - යම් පිළිගැනීමක් තියන භාෂා රටා හා වචන අපි කව්රුත් මෙහෙදි පාවිච්චියට ගත්තත්, වෙනත් රටවල අය සමග කතාබහේදී නම් ඔවුන්ට තෙරුම් නොයන ඇතැම් යෙදුම් අප අතර තියන බව දැන සිටීම අවශ්‍ය වෙනවා. එවැනි යෙදුම් කීපයක් පහත දැක්වෙනවා.

1. ladies’ fingers, brinjal, dhal…

කෑමට බීමට ගන්නා දේ සම්බන්ධව බොහෝ අපැහැදිලිකම් මතුවෙනවා. බණ්බක්කා ladies’ fingers හෝ lady’s finger යනුවෙනුත්, වම්බටු brinjal යනුවෙනුත්, පරිප්පු dhal යනුවෙනුත් දකුණු ආසියාතික රටවල හඳුන්වනු ලැබුවත්, ජාත්‍යන්තර වශයෙන් ඒවා හැඳින්වෙන්නේ පිළිවෙලින් okra, ‍‍‍aubergine [බ්‍රි] / eggplant [] හා lentils යනුවෙනුයි.

“jak fruit -කොස්”, “breadfruit - දෙල්”, “snake gourd - පතෝල“, “bitter gourd - කරවිල”, “ridged gourd - වැටකොළු”, “bottle gourd - ලබු”, “drumsticks - මුරුංගා”, “winged bean - දඹළ”, “wood apple - දිවුල්”, “custard apple - වැලි අනෝදා”,”soursop - කටු අනෝදා”, “rose apple, jambu - ජම්බු”, “beli - බෙලි“, “ambarella ඇම්බරැල්ලා“, “veralu, Ceylon olive - වෙරළු‍”, “nelli - නෙල්ලි වැනි පදත් විදේශිකයන්ට - විශේෂයෙන් බටහිරවාසීන්ට - නුහුරුයි. ඒවා සඳහා වෙනම වචනත් ඉංග්‍රීසි භාෂාවෙ නැහැ, ඉංග්‍රීසිය බිහි වුණ පරිසරයෙ ඒවා නොතිබුණ නිසා. එම නිසා මෙවැනි දේ කෙටි විස්තරයකින් පැහැදිලි කීරීම අවශ්‍ය විය හැකියි.

“rambutan - රඹුටන්‍ගැන කීමේදී නම් එය ඊට වඩා ප්‍රසිද්ධ litchi වැනි පළතුරක් සමග සංසන්දනය කළ හැකියි. කෙසෙල් සඳහා “banana” පදය යොදා ගත යුතු වෙන්නේ “plantain” පදය ජාත්‍යන්තර ව්‍යවහාරයේ ඉවීමට ගන්නා කෙසෙල් හැඳින්වීමට යෙදෙන නිසායි.

ඒ වගේම අපි පිළියෙල කරන කැවුම් (kevum, oil cakes), කොකිස් (kokis), ඇඹුල් තියල් (ambul thiyal) වැනි කෑම වර්ග ගැනද විස්තර සැපයීම මගින් විදේශිකයාට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දිය හැකියි. ආප්පවලට hoppers‍ කියා කිව්වත් (plain hoppers - සුදු ආප්ප, egg hoppers - බිත්තර ආප්ප), එයත් එසේ පැහැදිලි කළ යුත්තක් (මෙහිදී ආප්ප pancakes සමග සසඳා එහි ස්වභාවය දැක්විය හැකියි).

තේ බීමේදී අපි පාවිච්චි කරන plain tea වෙනුවට tea හෝ black tea ද, milk tea වෙනුවට tea with milk හෝ white tea [බ්‍රි] ද, භාවිතා කිරීමට වෙනවා. තම්බපු බිත්තර පිළිබඳව half-boiled වෙනුවට soft-boiled (බාගෙට තම්බපු) ද, full-boiled වෙනුවට hard-boiled (‍හොඳට තම්බපු) ද යොදා ගැනීමට වෙනවා.
 
ඉන්දියාවේ ආභාෂය නිසා, “බුරියානි” හැඳින්වීමට අපි පාවිච්චි කරන “buriyani”  යන්නට වඩා ”biriyani” (හෝ "biryani") පදය ඉංග්‍රීසියේ යෙදෙනවා. “පැණි” සඳහා යෙදෙන්නේ treacle හෝ golden syrup යන්නයි. honey යනුවෙන් අදහස් කෙරෙන්නේ මී පැණියි.

2. pirith ceremony, alms-giving, puja…

“pirith ceremony - පිරිත් පින්කම”, “alms-giving - දානමය පින්කම”, “puja - පූජාව ආදී බෞද්ධ හා හින්දු වතාවත් ගැන කතා කිරීමේදී, ඒවාගේ පසුබිම ගැන කියා දීම ඉතා වැදගත් වෙනවා. ඉහත දැක්වෙන වචනවලට අමතරව “dagoba දාගැබ“, “kovil – කෝවිලආදී සිද්ධස්ථානවලට භාවිතා වෙන වචනත් අන්‍යාගමිකයන්‍ට ඇතැම් විට නුහුරුයි.

“Vesak - වෙසක්”, “Poson - පොසොන්වැනි ආගමික උත්සව ගැනත් පැහැදිලි අවබෝධයක් බොහෝ අයට නැති නිසා (වෙසක් උත්සවය ගැන යම් තරමක ප්‍රසිද්ධියක් තිබුණත්), ඒවා ගැන කතා කිරීමේදී නම පමණක් නොකියා, ඒ ගැන පැහැදිලි කිරීමක්ද එක් කිරීම වැදගත් වෙනවා. “Maha Shivaratri - මහා ශිව රාත්‍රී, “Diwali, Dipavali - දීපාවලී වැනි හින්දු උත්සව ගැනත් ඊට වැඩි වෙනසක් නැහැ (ඉන්දියාවේ ආභාෂය නිසා Diwali පදය ඉංග්‍රීසියේ වැඩි පුර භාවිතා වෙනවා).

3. tank, bund, anicut

“වැව” යන්න සඳහා අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරන  tank පදයත් ජාත්‍යන්තර ව්‍යවහාරයේ එම අර්ථයෙන් යෙදෙන්නෙ නැහැ. එහිදී මේ වෙනුවට reservoir වැනි වචනයක් යොදා ගන්න වෙනවා. “වැව් බැම්ම” සඳහාත් bund වෙනුවට dam, dyke වැනි වචනයක් අවශ්‍ය වෙනවා. “ඇළ පාර” සඳහා ඇතැම් විට පාවිච්චි වෙන anicut වෙනුවට irrigation channel වැන්නක් සුදුසු වෙනවා.

4. lakh

“ලක්ෂය”, “දෙලක්ෂය” වැනි සංඛ්‍යාවලට අපි කියන one lakh, two lakhs ආදිය වෙනුවට one hundred thousand, two hundred thousand ආදී වශයෙන් යොදන්න වෙන්නෙ lakh යන්නත් දකුණු ආසියාතික වචනයක් නිසා. ජාත්‍යන්තර ඉංග්‍රීසි භාවිතයේ දස ලක්ෂය සඳහා one million (විසි ලක්ෂය - two million, තිස් ලක්ෂය - three million...) භාවිතා වෙනවා. කෝටිය දැක්වීමට one hundred million (100,000,000) ද, කෝටි සියය - එනම් මිලියන් දහස - සඳහා one billion (1,000,000,000) ද, යෙදෙනවා.

මෙතනදී කියන්න ඕනැ තවත් දෙයක් තමයි, ඉස්සර කාලෙ බ්‍රිතාන්‍ය ජාතිකයන් one billion කිව්වේ මිලියන් මිලියනයක් සඳහා බව (අනෙකුත් බොහෝ යුරෝපීය රටවල වර්තමානයේ නිල වශයෙන් භාවිතා වෙන මෙම රටාව “the long scale” ලෙස හැඳින්වෙනවා - එම රටාවට අනුව මිලියන් දහස සඳහා යෙදෙන්නෙ one milliard යන පදයයි). ඒත් 1970 ගණන්වල සිට - ඇමරිකානු ආභාෂය නිසා - බ්‍රිතාන්‍යයන් නිල වශයෙන් පාවිච්චි කරන්නේ මීට කලින් දැක්වූ රටාවයි (එය “the short scale” ලෙස හැඳින්වෙනවා). ඒ අනුව අද ජාත්‍යන්තර ඉංග්‍රීසි ව්‍යවහාරයේ මිලියන් මිලියනයක් සඳහා ගැනෙන්නේ one trillion (1,000,000,000,000) යන පදයයි.

ඉතින් ජාත්‍යන්තරයෙදී ඉංග්‍රීසි උපන් රටේ පාවිච්චි කළ වචනත් ඇතැම් විට මේ ආකාරයෙන් වෙනස් කරන්න වෙනවා නම් අපේ වචන වෙනස් කරන්න වෙන එක අරුමයක් නෙමේ, නේද? හැබැයි මේ එවැනි වෙනස්කම් ඔක්කොම නම් නෙමෙයි. අනිත්වා ගැන ඉදිරියට බලමු. 

(සේයාරුවට ස්තුතිය: mckaysavage

13 comments:

  1. වටින ලිපියක්.

    මුදල් අගයන් කිව්වම මතක් උනේ ලඟදි මට 24,078,000 හා 784,034,568 වගේ ගානක් ඉංග්‍රීසියෙන් කියන්න බැරුව ලොකු අමාරුවක වැටුනා. හොඳ වෙලාවට මිලියන භාවිතයෙන් අගය කියල ඇඟ බේරගත්ත.

    හැබෑටම කොහොමද මේ ගනන් මිලියන භාවිතයක් නැතුව කියවන්නෙ?

    ReplyDelete
  2. @Anonymous

    ස්තුතියි.

    24,078,000 - twenty-four million seventy-eight thousand (දෙකෝටි හතළිස් ලක්ෂ හැත්තැ අට දාහයි - 2,40,78,000)

    784,034,568 - seven hundred and* eighty-four million thirty-four thousand five hundred and* sixty eight (හැත්තැ අට කෝටි හතළිස් ලක්ෂ තිස් හතර දාස් පන් සිය හැට අටයි - 78,40,34,568)

    (*ඇමරිකානු ව්‍යවහාරයේ නම් මෙම "and" යන්න ‍යෙදෙන්නේ නැහැ.)

    සිංහල හා ඉංග්‍රීසි ක්‍රම සෑහෙන්න වෙනස් නේද? මිලියන් භාව්තය ඉංග්‍රීසියේ සාමාන්‍ය ක්‍රමය නිසා ජාත්‍යන්තර ඉංග්‍රීසියෙ මේවගේ ගණන් මිලියන භාවිතයක් නැතිව කියන්නේ නැහැ.

    ReplyDelete
  3. හපොයි, ඇමරිකාවට ඇවිත් එලවළු ජාති හොයද්දි ලොකු අමාරුවක වැටුනා මමත්. ඒවට කියන නම් අපි දන්න ඉංගිරිසි නම් නෙවෙයිනෙ. හොඳ ලිපියක්.
    පොඩි වැරැද්දක් තිබ්බා-බැදපු බිත්තර නොව තම්බපු බිත්තර ලෙස වෙනස් විය යුතුයි නේද?

    ReplyDelete
  4. @nadeesthoughts
    තම්බපු බිත්තර නේන්නම්. බැදපු කතාව කොහෙන් ආවද මන්දා. වැරැද්ද ගැන කණගාටුයි. ඒක පෙන්නල දුන්නට ගොඩ‍ක් ස්තුතියි. ඔන්න නිවැරදි කළා.

    ReplyDelete
  5. බොහොම වටිනා වැඩක්.. තවත් මේවැනි ලිපි ලියන්න දිරිය ශක්තිය ලැබේවා..

    ReplyDelete
  6. @Udara || උදාර මදුෂංක
    දිරි ගැන්වීමට ස්තුතියි.

    ReplyDelete
  7. I found your articles interesting and useful.
    Continue your good work!

    ReplyDelete
  8. @Anonymous
    Thanks for the encouragement.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails