Friday, October 14, 2011

Rs. 100 Is Not Enough! - එකක්ද, ගොඩක්ද?

අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙත් - අනිත් බොහෝ භාෂාවල වගේම - ඒක වචන හා බහු වචන නාම පද (singular and plural nouns) තියනවා. ඒ අතරින් බොහොමයක් යෙදෙන තැන අනුව පහසුවෙන් හඳුනගෙන, අදාළ ක්‍රියා පද ආදී දේ ඊට ගැලපෙන ආකාරයට යොදා ගන්න පුළුවන්. නමුත් ඇතැම් තැන්වලදී නම් යම් පදයක් singularද, pluralද යන්න ගැන ගැටළු මතු වෙන්න ඉඩ තියනවා. එවැනි අවස්ථා කීපයක් සලකලා බලමු.

1. Rs. 100 is not enough. (රුපියල් සීයක් මදි.)

 මෙතනදී අපි කතා කරන්නේ රුපියල් සීයක් - ඒ කියන්නේ එකට වැඩි ගණනක් - ගැන වුණාට, ඒක වචන ක්‍රියාවක් යොදාගෙන තියනවා. ඒකට හේතුව තමයි මෙතනදී මේ රුපියල් වෙන වෙනම නොසලකා ඒවා ඔක්කොම එක මුදල් ප්‍රමාණයක් ලෙස සලකා තිබීම.

තවත් මේ ආකාරයේ උදාහරණ කීපයක් බලමු.

Two hours is more than enough for this journey. මේ ගමනට පැය දෙකක් ඕනෑවටත් වැඩිය ඇති(ප්‍රමාණවත්).

Three litres[BrE]/liters[AmE] is what I think we'll need. මට හිතෙන විදිහට ලීටර් දෙකක් තමයි අපට ඕන වෙන්නේ.

2. It's a two-hour journey. (ඒක පැය දෙකක ගමනක්.)

මෙතන පැය දෙකක් - ඒ කියන්නේ බහු වචනයක් විය යුතු දෙයක් - ගැන කතා කළත්, "hour" යන ඒක වචන පදය යොදා ගෙන තියනවා. බහු වචනයක් විය යුතු පදයක් මේ ආකාරයට නාම පදයකට පෙර යෙදෙන නාම විශේෂණයක (attributive adjective clause) කොටසක් වශයෙන් පාවිච්චි වෙද්දී එය බොහෝ විට ඒක වචන ස්වරූපයෙනුයි පවතින්නේ..
  
Do you have a five-rupee coin? ඔයා ළඟ රුපියල් පහේ කාසියක් තියනවද?

I have a three-year-old daughter. මට අවුරුදු තුනක දුවක් ඉන්නවා.

නමුත් ඒ නාම විශේෂණ වාක්‍ය ඛණ්ඩය අදාළ නාම පදයට පසුව (predicative adjective clause) යෙදන විට නම් සාමාන්‍ය බහු වචන ස්වරූපයම ගන්නවා.

My daughter is three years old. මගේ දුවගේ වයස අවුරුදු තුනයි.

3. One of my friends lives in Malaysia. (මගේ යාළුවෙක් ඉන්නේ මැලේසියාවේ.)

මෙතන ක්‍රියා පදය ඒක වචන ස්වරූපය ගන්නේ එය අදාළ වෙන්නේ "one" යන ඒක වචනයට මිස, ක්‍රියා පදයට පෙර ඇති "friends" පදයට නොවන නිසයි.

One of her brothers is married to a foreigner. එයාගේ එක සහෝදරයෙක් බැඳලා ඉන්නේ පිටරට කෙනෙක්.

4. The team are not playing very well. (කණ්ඩායම එච්චර හොඳට සෙල්ලම් කරන්නේ නැහැ.)

පිරිසක් හඳුන්වන team, family, committee, firm, government වැනි ඇතැම් වචන සමග මෙසේ බහු වචන ලෙස සැලකීම - විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතයේ - ඇතැම් විට දකින්න ලැබෙනවා. මෙසේ කෙරෙන්නේ එය විවිධ පුද්ගලයන්ගේ එකතුවක් වශයෙන් සලකන විටයි. නමුත් පුද්ගලයන් ගැන නොසිතා එය එක ඒකකයක් වශයෙන් සලකන විට නම් ඒක වචන ලෙස ගැනෙනවා.

Their family were united after a long time. ගොඩක් කාලෙකට පස්සේ ඒගොල්ලන්ගේ පවුලේ අය එකට එකතු වුණා.

Their family was very rich. ඒගොල්ලන්ගේ පවුල ගොඩක් පෝසත්ව හිටියා (පවුල එක ඒකකයක් ලෙස සලකා).

(ඡායාරූපයට ස්තුතිය: indi.ca)

13 comments:

  1. හොඳ බ්ලොග් එකක්.. ලිපියත් හොඳයි..

    ReplyDelete
  2. අප විසින් දිනපතාම සරළ යමක් පිළිබඳව ලියා එය ඔබ වෙත එවා ඒ ගැන ගුණදොස් විමසීමට ක්‍රමයක් තිබේ නම් ඒ කෙසේද ? ඔබ ගේ ලිපි අපගේ ඉංග්‍රීසි දැනුම වැඩිවීම සඳහා ඉතාම ප්‍රයෝජනවත්.

    ReplyDelete
  3. @Chathura Wijekoon|චතුර විජේකෝන්
    ස්තුතියි.

    ReplyDelete
  4. @kandyangate
    ඔබ Facebookහි "Sri Lankan Speakers and Learners of English (http://www.facebook.com/groups/101814893249882/)" කණ්ඩායමට බැඳුනොත් ඒ හරහා එය කළ හැකියි.

    ReplyDelete
  5. ගොඩක් දවසකින් අලුත් පාඩමක් දාල තියෙන්නෙ. ස්තූතියි.

    ReplyDelete
  6. මමත් නිතරම කියවන බ්ලොග් එකක්...ඔබ කරන්නේ අගය කල යුතු සත්කාරයක්...මම හිතන්නෙ කොමෙන්ට් නොකලට ගොඩක් දෙනෙක් මේක කියවනවා

    ReplyDelete
  7. @``` Outsider```
    වැඩ අධික නිසා නිතර ලියන්න බැරි වුණාට කණගාටුයි.

    ReplyDelete
  8. @ලකී
    ස්තුතියි.ගැටළු තියනවා නම් කොමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  9. ඇයි post update වෙන්නෙ නැත්තේ.

    ReplyDelete
  10. @Sagara
    මේ දවස්වල ලියන්න වෙලාවක් නැති නිසා.

    ReplyDelete
  11. we need a new lesson :D

    ReplyDelete
  12. SBU එකෙත් ලින්ක් නොතිබුන නිසා ඇවිල්ලම බැලුව. මොකද සර් කාලෙකින් අප්ඩෙට් වෙලා නෑ නේද.

    ReplyDelete
  13. @ Anonymous & Namal Jayathunga ( NJ )

    වැඩ අධික වීම නිසා කාලෙකින් ලියන්න බැරි වුණා. ඒත් ඊටත් වඩා තවත් ගැටලුවක් තියනවා. අන්තර්ජාලයේ තියෙන මේ බ්ලොග් සටහන අපේ රටේ මේ වගේ පාඩම් මාලාවක් වැඩිපුරම අවශ්‍ය අය අතරට යනවද කියන එක.

    ඉංග්‍රීසි භාෂාව ගැන මම මේ වෙනකම් ලියපු ලිපි උනන්දුවෙන් අධ්‍යයනය කළ කෙනෙකුට ඒවාගේ ඇති දේ පිලිබඳ - එසේ නැතිනම් ඒ හා සම්බන්ද අනෙකුත් දේ ගැන - ප්‍රශ්න මතු වී තිබිය යුතුයි. ඒත් අන්තර්ගතය හා සම්බන්ද එවැනි ප්‍රශ්න නම් ප්‍රතිචාර ඔස්සේ එතරම් ඉදිරිපත් වෙලා නැහැ.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails