Tuesday, December 28, 2010

A Friend of Mine Had a Picture of Me - ඇයි මේ දෙවිදිහක්?

ඉංග්‍රීසි භාෂාවේ අයිතිය ප්‍රකාශ කරන රටාවල ඇති වෙනස්කම් කීපයක් ගැනයි අද අවධානය යොමු වෙන්නේ. ඒක වචන හා බහු වචන නාමපද ආශ්‍රයෙන් අයිතිය දක්වන තැන්වල එවාගේ උචිචාරණයේ වෙනසක් නොතිබුණත්  එවා ලියන ආකාරයේ වෙනසක් තියනවා.

a boy’s books පිරිමි ළමයෙකුගේ පොත්

boys’ books පිරිමි ළමයින්ගේ පොත්

the boy’s books (/මේ) පිරිමි ළමයාගේ පොත්

the boys’ books (/මේ) පිරිමි ළමයින්ගේ පොත්

නමුත් යම් නාමපදයක බහු වචන ස්වරූපය හැදෙන්නේ  අගට s” එක් කිරීම හැර වෙනත් ආකාරයකට නම් මෙසේ වෙන්නේ නැහැ.

children’s park ළමා උයන

men’s clothes පිරිමින්ගේ ඇඳුම්

අගට s” අකුර ඇති ඒක වචන නාම පද දෙආකාරයකට යෙදෙනවා. මෙහිදී apostrophe ()  ලකුණට පසු s” අකුරක් නොලියන රටාවේදී පවා එය උච්චාරණය කිරීම කළ යුතු වෙනවා.

Charles’s/Charles’ office චාර්ල්ස්ගේ කාර්යාලය

Thomas’s/Thomas’ house තෝමස්ගේ ගෙදර

මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට තවත් රටාවක් යොදා ගැනීමටත් හැකියි.

the books of a boy පිරිමි ළමයෙකුගේ පොත්

a toy of a child ළමයෙකුගේ සෙල්ලම් බඩුවක්

the toys of the children (/මේ) ළමයින්ගේ සෙල්ලම් බඩු
 
the parts of a computer පරිගණකයක කොටස්
(පණ නැති දේ සමග මේ රටාව වඩා බහුලයි.)

අපි කව්රුත් දන්නවා මගෙ යාළුවා, “එයාගෙ පොත, “ඔයාගෙ පෑන... වැනි දේ ඉංග්‍රීසි භාෂාවෙන් my friend”, “his/her book”, “your pen”... ආදී වශයෙන් පහසුවෙන් කියන්න පුලුවන් බව. 

My friend has come. මගෙ යාළුවා ඇවිත්.

Your father wants to talk to you. ඔයාලෙ තාත්තාට ඔයා එක්ක කතා කරන්න ඕනැලු.

මේ තැන්වල බහුලව භාවිතා වෙන මෙම පද - එනම් possessive adjectives” - තමයි my (මගේ) / our (අපේ) / his (එයාගෙ/ඔහුගේ) / her (එයාගෙ/ඇයගේ) / their (එයාලාගේ) / your (ඔයාගේ) / its (උගේ/ඒකේ - සතෙක් හෝ දෙයක් සම්බන්ධව).

නමුත් මේ පොත මගේ (එක) ආදී වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න පාවිච්චි වෙන්නේ මීට ටිකක් වෙනස් පද: එනම් mine/ours/his/hers/theirs/yours/its” යන possessive pronouns”. නාම පදවල නම් අයිතිය දක්වන ස්වරූපය යෙදෙනවා.

This car is hers. මේ කාරෙක එයාගෙ (එක).

Those houses are theirs. අර ගෙවල් එයාලගෙ (ඒවා)..

This car is Nimali’s. මේ කාරෙක නිමාලිගෙ (එක).

Those houses are Nimali’s parents’. අර ගෙවල් නිමාලිගෙ දෙමව්පියන්ගෙ (ඒවා).

ඒ වගේම ඇතැම් වෙලාවට මේ දේවල් ටිකක් වෙනස්  ආකාරයෙන් මගෙ යාළුවෙක්, “එයාගෙ පොතක්, “ඔයාගෙ පෑනක්... විදිහට කියන්න‍ වෙනවනේ. එතකොට මොකද කරන්නේ?

මේ සඳහා a my friend” රටාව ඉංග්‍රීසියේ භාවිතා වෙන්නේ නැහැනේ. ඒ වෙනුවට යොදා ගන්න පුලුවන් one of my/our/his/her/their/your friends” රටාව. මෙතනදී මතක තියා ගන්න ඕනැ දෙයක් තමයි, මෙහිදී කතා කරන්නේ ගොඩක් අතරින් එකක්/එක් කෙනෙක් ගැන නිසා මෙම යෙදුම් ඒකවචන ලෙස සැලකිය යුතු බව. යෙදුමේ බහු වචනයක් අඩංගු නිසා සමහර අයට මෙතන පොඩ්ඩක් පැටලෙනවා.

One of my friends is going abroad next week. ලබන සතියෙ මගෙ යාළුවෙක් රට යනවා.

One of their lorries[BrE]/trucks[AmE] has had an accident. එයාලගෙ ලොරියක් හැප්පිලා.

ඒ වගේම  මේ අදහස ඇතිව යෙදෙන තවත් රටාවක් තමයි a friend of mine/ours/his/hers/theirs/yours”. මෙතනදි ඒක වචන ස්වරූපය නම් පැටලෙන්නෙ නැති වුණාට, භාවිතා වෙන්නේ mine/ours/his/hers/theirs/yours” මිස my/our/his/her/their/your” හෝ me/us/him/her/them/you” පද නොවන බව සැලකිය යුතුයි.

A friend of mine has seen him. මගෙ යාළුවෙක් එයාව දැකලා තියනවා.

A relative of hers was selected as her secretary. එයාගෙ නෑදෑයෙක්ව එයාගෙ ලේකම් හැටියට තෝර ගත්තා.

එතකොට මගෙ පින්තූරයක් කියන්න පාවිච්චි වෙන්නේ a picture of mine” කියලද? මෙතනදී අදහස ගැන ටිකක් හිතන්න වෙනවා. මගෙ (මට අයිති) පිංතූරයක් සඳහා a picture of mine” යොදා ගැනුනත්, “මගෙ (මම පෙනී සිටින) පිංතූරයක් අර්ථයෙන් සාමාන්‍යෙයන් a picture of me” භාවිතා වෙනවා.

A picture of hers has been stolen. එයාගෙ (එයාට අයිති) පිංතූරයක් හොරකම් කරලා.

I had a picture of her. මා ගාව එයාගෙ (එයා ඉන්න) පිංතූරයක් තිබුනා.

අයිතිය හඟවන අවස්ථාවල ඉහත රටාවේ නාමපද ඇතැම් විට දෙආකාරයෙන්ම, එකම අර්ථය ඇතිව, භාවිතා වෙනවා.

They know a friend of my mother/my mother’s. එයාලා මගෙ අම්මගෙ යාළුවෙක් අඳුරනවා. 

She is a relative of Kamal/Kamal’s. එයා කමල්ගෙ නෑදෑයෙක්.

පහත රටා දෙකේ වෙනසත් බලන්න.

Nimal and Kamala’s children නිමලුයි කමලායි දෙන්නගෙ (එනම්, ඒ දෙදෙනාටම අයිති - ඒ යුවලගේ) ළමයි

Nimal’s and Kamala’s children නිමල්ගෙයි, කමලාගෙයි ළමයි (එනම්, නිමල්ගේ ළමයි සහ කමලාගේ ළමයි)

නමුත් මෙවැනි තැනක වුණත් I/we/he/she/they/you/it” යන සාමාන්‍ය pronoun පදයක් නම් යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට possessive adjective”  පදයක් යෙදිය යුතු වෙනවා, අර්ථය කුමක් වුණත්.

his and Kamala’s children එයාගෙයි (ඔහුගෙයි) කමලාගෙයි ළමයි (වෙන වෙනම හෝ ඒ යුවලගේ විය හැකියි)

her and Nimal’s children එයාගෙයි (ඇයගෙයි) නිමල්ගෙයි ළමයි (වෙන වෙනම හෝ ඒ යුවලගේ විය හැකියි)

(Image Credit: Ben Heine)


4 comments:

  1. එලz...............
    ෂිහ්..මට මේ දන්න වචන ටික හරි කතා කරන්න පුදුම බයක්නෙ තියෙන්නෙ.වැරදුනොත් එහෙම කියල.:D . memory එකේ තියා ගන්නත් අමාරුයි.
    අපි වාගෙ උන්ට දෙන මේ help එකටනම් ගොඩක් thanks.....

    ReplyDelete
  2. @dinesh
    මුලින්ම පිට අයත් එක්ක වෙනුවට ඉංග්‍රීසි ඉගෙන ගන්න අනිත් යාළුවොත් එක්ක හරි කතා කරලා බය අඩු කර ගත්තොත් හොඳයි.

    ReplyDelete
  3. I read some old post of yours.

    ReplyDelete
    Replies
    1. Reading them again is a very good thing because nobody can remember everything the first time.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails