Wednesday, August 4, 2010

Put a Comma Here, Period! කොමාවට තිත තියමුද?



ලෝකෙ අනිත් භාෂා බොහොමයක වගේම ඉංග්‍රීසියෙත් තියනවා ලියද්දි පාවිච්චි කරන විරාම ලකුණු (punctuation marks). මේවා විවිධ අවස්ථාවල විවිධ අවශ්‍යතා සඳහා භාවිතා වෙනවා.
වාක්‍ය හෝ වාක්‍ය ඛණ්ඩ වෙන් කිරීමෙදි නිතර යොදා ගැනෙන punctuation marks තමයි full stop[BrE]/period[AmE] [.], comma [,], semi-colon [;], colon [:], dash [−] සහ brackets[BrE]/parentheses[AmE] [( )] ආදිය. මේවා සුදුසු තැන්වල නිවැරදිව යෙදීම වැදගත් වෙනවා.

1. වාක්‍යයක අවසානයේදී

මෙහිදී full stop[BrE]/period[AmE] [.] ‍යොදා ගැනෙනවා‍. මෙයින් එක් සාමාන්‍ය වාක්‍යයක් ඊළඟ වාක්‍යයෙන් වෙන් කෙරෙනවා.

I went to Galle yesterday. It was late when I got back home. මම ඊයෙ ගාල්ලෙ ගියා. ආපහු එනකොට පරක්කු උනා (රෑ උනා).

She passed the exam very well. It delighted her parents. එයා හොඳට විභාගෙ පාස් උනා. එයාගෙ දෙමව්පියො ඒ ගැන ගොඩක් සතුටු උනා.

***මුල් අකුරු මගින් හෝ වෙනත් අයුරකින් යම් නමක් හෝ වචනයක් කෙටි කර දක්වන විටත් full stop යොදා ගැනෙනවා. නමුත්, බොහෝ විට බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ,  එවැන්නකට පසුව full stop නොයෙදීමත් බහුලව දක්නට ලැබෙනවා.

H. C. P. Bell / H C P Bell (BrE) එච්. සී. පී. බෙල්

Dr. Nalini Withana / Dr Nalini Withana (BrE) දොස්තර නාලිනී විතාන

කෙටි කර අකුරු කීපයකින් දක්වන තනතුරු නාමයක බ්‍රිතාන්‍ය භාවිතයේත් full stop නොයෙදෙන්නේ සම්පුර්ණ වචනයේ මුල් හා අවසන් අකුරු කෙටි ස්වරූපයේ අන්තර් ගත වෙන විටයි.

Mrs. Perera / Mrs Perera (BrE) පෙරේරා මහත්මිය

Prof. Sarath Kotagama මහාචාර්ය සරත් කොටගම

මීට අමතරව, බහුලව භාවිතා වන කෙටි යෙදුම් බොහොමයක full stop නොයෙදීම බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු සම්ප්‍රදායේත් සුලබයි.

SLT (Sri Lanka Telecom) ශ්‍රී ලංකා ටෙලිකොම් 

 NATO (North Atlantic Treaty Organization) නේටෝ සංවිධානය


2. එකිනෙකට සම්බන්ධ වාක්‍ය දෙකක් ඉදිරිපත් කිරීමේදී

මෙතනදී වාක්‍ය දෙක අතර semi-colon (;) යොදා ගැනෙනවා. (නමුත් වාක්‍ය අතර සම්බන්ධය හුවා දැක්වීම එතරම්ම වැදගත් නැති නම්, ඒ වෙනුවට full stop[BrE]/period[AmE] [.] යොදා ඒවා වාක්‍ය දෙකක් ලෙසත් ඉදිරිපත් කළ හැකියි.)

She passed the exam very well; it delighted her parents. එයා හොඳට විභාගෙ පාස් උනා. එයාගෙ දෙමව්පියො ඒ ගැන ගොඩක් සතුටු උනා. [මෙය (1) හි ආකාරයට වාක්‍ය දෙකක් ලෙසත් ඉදිරිපත් කළ හැකියි. ]

I didn’t study hard; I failed the exam. මම මහන්සි වෙලා පාඩම් කළේ නැහැ. මම විභාගෙ ෆේල් (අසමත්) උනා.

***however, moreover, nevertheless, therefore, as a result, consequently... වැනි යෙදුම් සහිතව යම් වාක්‍යයක් ඊට කලින් වාක්‍යයට සම්බන්ධ කිරීමේදීත් මෙසේ කෙරෙනවා. නමුත් එවැනි යෙදුම් සහිත දෙවෙනි වාක්‍යයක් වෙනම වාක්‍යයක් ලෙස යෙදීමත් බහුලව දකින්න ලැබෙනවා. [දෙආකාරයේදීම ඉහත දැක්වූ යෙදුමට පසුව සාමාන්‍යයෙන් comma [,] යෙදෙනවා: පහත (8) බලන්න.]

He won the lottery; therefore, he quit his job. (He won the lottery. Therefore, he quit his job.) එයාට ලොතරැයිය ඇදුනා‍. ඒ නිසා එයා රස්සාවෙන් අයින් උනා.

He won the lottery; however, he didn’t quit his job. (He won the lottery. However, he didn’t quit his job.) එයා‍ට ලොතරැයිය ඇදුනා. ඒ උනත් (කොහොම නමුත්) එයා රස්සාවෙන් අයින් උනේ නැහැ.

3. එකිනෙකට සම්බන්ධ වාක්‍ය දෙකක් for, and, nor, but, or, yet, so ආධාරයෙන් එකිනෙකට සම්බන්ධ කිරීමේදී (co-ordinating conjunctions’ නමින් හැඳින්වෙන මේවා FANBOYS පදය මගින් මතක තබා ගත හැකියි.)

මෙහිදී බොහෝ විට comma [,] යොදා ගැනෙනවා. (නමුත් ඇතැම් විට මෙවැනි තැන්වලත් වාක්‍ය දෙක full stop[BrE]/period[AmE] [.] මගින් වෙන් කර, co-ordinating conjunction සහිත වාක්‍යය දෙවෙනි වාක්‍යයක් ලෙස යෙදෙනවා.)

He applied for the job, but someone else got it. (He applied for the job. But someone else got it.) එයා රස්සාවට අයදුම් කළා. ඒත් ඒක වෙන කෙනෙකුට ලැබුනා.

The boss  was absent, so we had a nice time. බොස් ආවෙ නැහැ. ඒ නිසා අපි ජොලියෙ‍ හිටියා.
Go there right now, or you won’t meet her. දැන්ම එහෙ යන්න. නැත්නම් ඔයාට එයාව මුණ ගැහෙන එකක් නැහැ.

***කෙසේ නමුත් වාක්‍ය දෙක එකම ධාරාවක් ලෙස නිරූපනය කෙරෙයි නම් comma [,] යෙදෙන්නේ නැහැ.

They’ll leave soon and then we can have some peace and quiet. ඒ ගොල්ලො ඉක්මනින් යාවි, එතකොට අපට ටිකක් සැනසිල්ලෙ ඉන්න පුළුවන්.

4. although, if, when, while... වැනි පද සහිත අන්තර්වාක්‍ය අඩංගු වාක්‍යවල (මෙම පද subordinating conjunctions’ යනුවෙන් හඳුන්වනවා.)

මෙවැනි වාක්‍යවල subordinating conjunction පදය ඇති කොටස මුලින් යෙදේ නම් එම කොටසට පසුව comma [,] යෙදෙනවා. නමුත් subordinating conjunction පදය ඇති කොටස යෙදෙන්නෙ දෙවනුව නම් නම්එම කොටස වෙන් කර දැක්වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් හැරකිසිම ලකුණක් යෙදෙන්නේ නැහැ.

Although he wanted to leave early, he wasn’t allowed to. (He wasn’t allowed to leave early although he wanted to.) එයාට වේලාසනින් යන්න ඕනැ උනාට අවසර ලැබුනෙ නැහැ.

When she comes tomorrow, tell her the truth. (Tell her the truth when she comes tomorrow.)  එයා හෙට ආවම එයාට ඇත්ත කියන්න.

5. වාක්‍යයක් තුළ එකිනෙකට සම්බන්ධ වචන හෝ වාක්‍ය ඛණ්ඩ කීපයක් ඉදිරිපත් කිරීමේදී

මෙතනදී ඒවා අතර comma [,] යොදා ගැනෙනවා. නමුත් මේ තැන්වල and හෝ or යෙදෙන විට නම් බොහෝ විට කිසිම ලකුණක් යොදන්නේ නැහැ. (නමුත් මෙසේ comma [,] යොදමින් වචන හෝ වාක්‍ය ඛණ්ඩ කීපයක් ඉදිරිපත් කරන තැන්වල and හෝ or පදවලට පෙරත් එම ලකුණ යෙදීම ඇතැම් අය අනුගමනය කරනවා.)

Nimal, Wimal and Kamal came to meet me. නිමලුයි, විමලුයි, කමලුයි මාව හම්බ වෙන්න ආවා.

Don’t add any more water, salt or pepper. තවත් වතුරවත්, ලුණුවත්, ගම් මිරිස්වත් එකතු කරන්න එපා.

He came home, took a shower, had dinner and went to bed. එයා ගෙදර ඇවිත්, නාලා, (රෑ කෑම) කාලා, නිදා ගත්තා.

6. වාක්‍යයක් තුළ එකිනෙකට සම්බන්ධ, comma [,] අන්තර්ගත වාක්‍ය ඛණ්ඩ කීපයක් ඉදිරිපත් කිරීමේදී

මෙහිදී ඒවා අතර semi-colon [;] ‍යොදා ගැනෙනවා.

The four competitors come from Asgiriya, Gampaha; Watapuluwa, Kandy; Dodanduwa, Galle; and Maradana, Colombo. තරඟ කරුවන් හතර දෙනා ගම්පහ අස්ගිරියෙනුයි, නුවර වටපුළුවෙනුයි, ගාල්ලෙ දොඩන්දූවෙනුයි, කොළඹ මරදානෙනුයි.

7. මුලින් සඳහන් දෙයක් පසුව එන කොටසෙන් විස්තර කෙරෙන හෝ පැහැදිලි කෙරෙන විට
මෙතනදී colon [:] පාවිච්චි වෙනවා.

We need several things to do the job: some nails, wire, a hammer... අපට වැඩේට බඩු කීපයක් ඕනැ වෙනවා: ඇණ ටිකක්, කම්බි, මිටියක්...

Here’s my suggestion: you should call them right now and ask all of them to join us too. මගෙ යෝජනාව මේකයි: ඔයා දැන්මම ඒ අය‍ට කතා කරලා ඒ ඔක්කොටමත් අපට එකතු වෙන්න කියන්න.

***මීට අමතරව අනුපාතයක් සඳහා හා ඇතැම් විට වේලාව දැක්වීම සඳහා colon භාවිතා වෙනවා.

2:1 දෙකට එක අනුපාතය

10:30 am / 10.30 am පෙ. ව. 10. 30 (මෙහි ඇතැම් විට a.m. හෝ AM යෙදෙනවා)

8. වාක්‍යයක‍ට ඊට සමීපව සම්බන්ධ අමතර කොටසක් එක් කිරීමේදී

එක් කරන දෙය comma [,] යොදා ප්‍රධාන වාක්‍යයෙන් වෙන් කරනවා.

It was a large, if somewhat dark, house. ඒක, තරමක් අඳුරු වුණත්, ලොකු ගෙදරක්.

Hello, my name is Kamal. හලෝ (ආයුබෝවන්), මගෙ නම කමල්.

Luckily, we didn’t miss the train though we were late. අපි පරක්කු උනත් අපට කෝච්චිය වැරදුනේ නැහැ, වාසනාවට.

She wants to study sociology. Her parents’ attempts to make her a doctor are, therefore, unfair. එයාට ඕනැ සමාජ විද්‍යාව ඉගෙන ගන්න. ඒ නිසා එයාගෙ දෙව්පියො එයාව දොස්තර කෙනෙක් කරන්න දරන උත්සාහය අසාධාරණයි.

***මේ සමීපව සම්බන්ධ luckily, therefore වැනි කෙටි කොටස් comma [,] නැතිව එක් කිරීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. නමුත් පහත ඇති ආකාරයේ වාක්‍යවල නම් comma [,] නොයෙදුනොත් අර්ථය වෙනස් වෙනවා.

My sister, Mala, comes here tomorrow. මගේ අක්කා, මාලා, හෙට මෙහෙ එනවා. (එනම්, මගේ එකම අක්කා - එයාගේ නම මාලා.)

My sister Mala comes here tomorrow. මගේ මාලා කියන අක්කා හෙට මෙහෙ එනවා. (මට තව අක්කලා ඉන්නවා.)

***ඉහත (3) හා (4) හි දක්වා ඇති ආකාරයේ පද භාවිතයේදී හැරුණු විට, එකිනෙකට සම්බන්ධ සම්පුර්ණ වාක්‍ය අතර comma [,] යොදා ගැනීම එතරම් පිළිගැනීමට ලක් නොවුණත්, එම වාක්‍ය ඉතා කෙටි නම් ඇතැම් අවස්ථාවල එය දකින්න ලැබෙනවා.  

I came, I saw, I conquered. – Julius Caesar මම ආවෙමි, මම දුටුවෙමි, මම ජය ගතිමි. ජූලියස් සීසර්

9. වාක්‍යයක‍ට ඉන් වෙන් වී පෙනෙන (කැපී පෙනෙන) අමතර කොටසක් එක් කිරීමේදී

එක් කරන දෙය dash [−] යොදා ප්‍රධාන වාක්‍යයෙන් වෙන් කරනවා. 

It was a large − if somewhat dark − house. ඒක තරමක් අඳුරු වුණත් ලොකු ගෙදරක්.

It was a large − somewhat dark − house. ඒක ලොකු තරමක් අඳුරු ගෙදරක්.

She understood it finally − thank God. එයාට ඒක අන්තිමේදි තේරැම් ගියා දෙයියන්ගෙ පිහිටෙන්.

***අමතරව එක් කරන කොටස තුළ comma [,] අන්තර්ගත නම්, එය ප්‍රධාන වාක්‍යයට සමීපව සම්බන්ධ වුවත් මේ සඳහා dash [−] ම යොදා ගත යුතු වෙනවා. 

All three of them − Nimal, Wimal and Kamal − came here. ඒ තුන් දෙනාම නිමලුයි, විමලුයි, කමලුයි මෙහෙ ආවා.  

***මුලින් සඳහන් දෙයක් පසුව එන කොටසෙන් විස්තර කෙරෙන හෝ පැහැදිලි කෙරෙන ඇතැම් අවස්ථාවල හා මුලින් සඳහන් දේ පසුව සම්පිණ්ඩනය කෙරෙන අවස්ථාවල dash [−] භාවිතා කෙරෙනවා.

We need several things to do the job some nails, wire, a hammer... අපට වැඩේට බඩු කීපයක් ඕනැ වෙනවා ඇණ ටිකක්, කම්බි, මිටියක්...

Some nails, wire, a hammer... – the things we need to do the job. ඇණ ටිකක්, කම්බි, මිටියක්... අපට වැඩේ කරන්න ඕනැ කරන දේවල්

***යම් උපුටා ගැනීමකට පසු එහි මූලාශ්‍රය දැක්වීමේදී dash [–] පාවිච්චි වෙනවා.

“The problem is you think you have time.” The Buddha
ප්‍රශ්නය වන්නේ ඔබ ඔබට කාලය ඇතැයි සිතීමයි. බුදුන් වහන්සේ 

***සංවාදයක් දැක්වීමේදීද ඇතැම් විට dash [–] යොදා ගැනෙනවා.

Are you joining us? ඔයා අපිත් එක්ක එකතු වෙනවද?
– Sure. අනිවාර්යෙන්.

***මීට අමතරව ලැයිස්තුවක් දෙස කරුණු ඉදිරිපත් කිරීමේදී අංක හෝ bullet points [•] ආදිය වෙනුවට dash යෙදීමත් ඇතැම් විට කෙරෙනවා.

***මෙහිදී තේරුම් ගත යුතු දෙයක් වන්නේ ඇතැම් අය, විශේෂයෙන් ඇමරිකානුවන්, වඩා දිග em dash [—] මෙවැනි තැන්වල යොදා ගන්නා බවයි. එයිනුත් ඇතැමුන් එම ලකුණ දෙපැත්තේ ඉඩක් තබන්නේත් නැහැ. 

It was a large—somewhat dark—house. / It was a large — somewhat dark — house.

නමුත් අනෙකුත් රටවල බොහෝ අය (මෙම ලිපියේද යොදා ගෙන ඇති පරිදි) දිගින් අඩු en dash [−], දෙපැත්තේ ඉඩ තබමින්, මෙවැනි තැන්වල භාවිතා කරනවා. (බ්ලොග් සටහනේ මෙම ලකුණ ලිවීමට පහසුකම් නොමැති හේතුවෙන් වෙනත් ලිපිවල මෙවැනි තැන්වලදී මීට වඩා කෙටි hyphen [-] ලකුණ යෙදී තිබුනත් නිවැරදි ලකුණ ඊට වඩා දික් විය යුතු බව සැලකිය යුතුයි. මෙම ලකුණු නිවැරදි ලෙස දැක්වීම සඳහා මෙම ලිපිය ලිවීමේදී වෙනත් මෘදුකාංග උපයෝගී කර ගැනීමට සිදු වුණා. ඊපොතේ නම් අනෙතුත් ලිපිවලත් මෙය නිවැරදිව යොදා තිබෙනවා.)

***වචනයක කොටසක් ඉවත් කර ඇති විට dash එකක් හෝ දෙකක්, සම්පුර්ණ වචනයක් ඉවත් කර ඇති විට දෙකක් හෝ තුනක් (ඒවා අතර ඉඩ නොතබමින්) යොදා ගැනෙනවා. වචනයක ඉවත් කර ඇති අකුරු දක්වීමට නම් hyphen [-] යොදා ගත හැකියි. වෙනත් වචනයකට එක් කෙරෙන කොටසක් දැක්වීමේදීත් සාමාන්‍යයෙන් hyphen යොදා ගැනෙනවා.

Coca C– / Coca C––

Coca –– / Coca –––

Coca C--a

pre-

-less

***කියා ගෙන ගිය යම් දෙයක් හදිසියේ නැවතුන බව දැක්වීමේදීත් dash [–] පාවිච්චි වෙනවා.

All he could say was “I’d like to find out–”* එයාට කියන්න ලැබුනේ මම දැන ගන්න කැමතියි–” කියන ටික විතරයි.

*දිගටම කියා ගෙන ගිය දෙයක් කෙටි කර දැක්වීමේදී නම් යෙදෙන්නේ තිත් තුනක්, එනම් ellipsis […].

He started, “I’d like to find out...” මම දැන ගන්න කැමතියි... එයා කියන්න පටන් ගත්තා.

***පරාසයක් දැක්වීම සඳහා නම් බොහෝ දෙනා en dash [−] සඳහා යොමු වෙනවා. 

1815−1948 1815 සිට 1948 දක්වා 

June 21 – July 12 ජූනි 21 සිට ජූලි 12 දක්වා (මෙතනදී පරාසය ඇත්තේ ‘21’ හාJuly දෙක අතර නොවන බව පෙන්වීමට en dash ලකුණ දෙපැත්තේ ඉඩ තැබිම වඩා හොඳයි.)

***අන්තර් සම්බන්ධයක් වැන්නක් සඳහාත් ඇතැම් අය en dash [−] සඳහා යොමු වෙනවා.

the US−Canadian border / the US-Canadian border ඇමරිකානුකැනේඩියානු දේශ සීමාව

***සමාන්‍යයෙන් වචන දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කර දැක්වීමට hyphen [-] ලකුණ යෙදුනත්, වචන කීපයකින් සමන්විත hyphen නොමැති කෙටසකට බලපාන පරිදි යමක් සම්බන්ධ කිරීමේදී හෝ hyphen ඇති කොටස් දෙකක් සම්බන්ධ කිරීමේදී බොහෝ විට භාවිතා වෙන්නේ en dash [−] ලකුණයි.

pre-Christian era පූර්ව ක්‍රිස්තියානි යුගය (මෙහිදී pre’ කොටස සම්බන්ධ වෙන්නේ Christian’ පදයට පමණයි)

post–World War II era පශ්චාත් දෙවන ලෝක යුද්ධ යුගය (මෙහිදී pre’ කොටස සම්බන්ධ වෙන්නේ මුළු World War II’ කොටසටයි.)

pre-paid-connection woes පෙර ගෙවුම් සබඳතා කරදර (මෙහිදී වචන තුනම සම්බන්ධ වෙනවා.)

pre-paid–post-paid tariff differences පෙර ගෙවුම් පසු ගෙවුම් ගාස්තු වෙනස්කම් (මෙහිදී hyphen ඇති කොටස් දෙකක් සම්බන්ධ කෙරෙනවා.)

10. වාක්‍යයකට අමතර පැහැදිලි කිරීමක් හෝ විස්තර කිරීමක් ලෙස යමක් එක් කිරී‍මේදී

මෙහිදී brackets[BrE]/parentheses[AmE] [( )] යොදා ගැනෙනවා. මෙලෙස ඉදිරිපත් කෙරෙන දේ සුදුසු අ‍වස්ථාවල වාක්‍යයේ අවසානයට පසුවත් එක් කෙරෙනවා.

All three of them (Nimal, Wimal and Kamal) came here. ඒ තුන් දෙනාම (නිමල්, විමල් සහ කමල්) මෙහෙ ආවා.

We’ll end today’s post here. (But another post will appear in due course.) අපි අද ලිපිය මෙතනින් ඉවර කරමු. (ඒත් තවත් ලිපියක් යථා කාලයෙදි පල වේවි.)

11. වාක්‍යයකට ඌන පුර්ණයක් හෝ නිවැරදි කිරීමක් වැනි යමක් එක් කිරී‍මේදී

මෙහිදී බොහෝ විට square brackets, එනම් ‘[ ]’, යොදා ගන්නවා.

She said she had to turn it [the invitation] down. එයා කිව්වා එයාට ඒක [ආරාධනය] ප්‍රතික්ෂේප කරන්න වෙනවා කියලා.

The notice read “Wellcome [sic] to Our Country!” පුවරුවේ තිබුනාඅපේ රටට සාදරයෙන් පිළිගනිමු! [ඒත් ‘Welcome’ වෙනුවට ‘Wellcome’]” කියලා.

12. සංවාදයක යමෙක් කියූ දෙයක් දැක්වීමේදී

කියූ කෙනාගේ නම මුලින් දක්වා ඊට පසු colon [:] යොදනවා. නමුත් Nimal said’ වැන්නක් මුලින් සඳහන් කර, කියූ දෙය සඳහා උද්ධෘත ලකුණු (quotation marks) යොදමින් එකම වාක්‍යයක් වශයෙන් දැක්වෙන විට ඒ වෙනුවට බොහෝ විට comma [,] භාවිතා කෙරෙනවා (මෙවැනි තැනක ඇති උපුටා ගැනීම සම්පුර්ණ ප්‍රකාශයක් නොවේ නම් බොහෝ විට කිසිම ලකුණක් යෙදෙන්නේ නැහැ).

Nimal: I went to Colombo yesterday. නිමල්: මම ඊයේ කොළඹ ගියා.

Nimal said, “I went to Colombo yesterday.” නිමල් මම ඊයේ කොළඹ ගියා කියලා කිව්වා.

Nimal said “ouch”. නිමල් ඌයි කිව්වා.

***යමෙක් සිතූ දෙයක් දැක්වීමේදී නම් බොහෝ විට ඒ සඳහා ඇළ අකුරු (italics), quotation marks නොයොදා, භාවිතා කරනවා. (කියූ දේ සඳහාද ඇතැම් විට මේ රටාව අනුගමනය කෙරෙනවා.)

I have to leave now, she thought. මම දැන් යන්න ඕනැ, එයා හිතුවා.

උපුටා ගැනීම් පිළිබඳව ‘Don’t Quote Me,’ She Said - උපුටා ගැනීමට පෙරලිපියත් බලන්න.

***ලිපියේ මාතෘකාව ලෙස යොදා ගත් Put a comma here, period!’ යන්නෙහි අර්ථය මෙතන කොමාවක් දාන්න, වෙන කතා එපා! වැන්නක්. යම් දෙයක් ගැන තවත් කතා කිරීමට අකමැති බව දැක්වීමේදී මෙසේ කියනවා. වාක්‍යයක අවසානයේ එන තිත සඳහා ඇමරිකානු භාවිතයේ යෙදෙන period’ යන්න මෙය අවසානය බව දැක්වීමට පාවිච්චි වෙන මෙම කතා රටාව බ්‍රිතාන්‍ය භාවිතයේත් හමු වෙනවා. නමුත් ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙවැනි තැන්වල period!’ වෙනුවට full stop!’ යන්නත් පාවිච්චි කරනවා.

(සේයාරුවට ස්තුතිය: ollesvensson)

 

7 comments:

  1. අපි නොදන්න පොඩි,පොඩි දේවල් කොච්චරනම් තියනවද?
    please guide to us,like this.

    ReplyDelete
  2. sir

    "kee veniyada" kiyala ahanna english language eke

    direct vidiyak thiyanavada??

    eg- oya pawle kee veniyada ??


    apita one nam

    *.which member are you in your family ??
    *.what is your position in your family??

    wage ekeka vena vidi use karala a prashnama
    ahanna puluvanna as above.

    mata one ehema nevai

    "kee veniyada "
    kiyala ahana direct vidiyak thiyanavada ??
    ehema thiyanava nam ehema ahanna kohomada ??

    kiyala mata danaganna one

    i will be very greateful to u
    if u can answer to me sir

    -thanx- Isuru

    ReplyDelete
  3. @Isuru

    “කී වෙනියාද?“ කියලා සෘජුව අහන්න ඉංග්‍රීසියේ ක්‍රමයක් නැහැ. ඔයා සඳහන් කරලා තියන ආකාරයේ වක්‍රාකාර රටාවක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails