Thursday, April 15, 2010

The Trouble With 'The' – මොකටද මේ වචනෙ?




ඉංග්‍රීසි භාෂාවෙ තියන ඉතාම බහුලව පාවිච්චි වෙන පදයක් තමයි the. ඉංග්‍රීසියේ a, an හා the පද පොදුවේ articles නමින් හැඳින්වෙනවා. ඒවායින් indefinite articles කියලා කියන a හා an භාවිතා වෙන ආකාරය අපි කලින් A Herb ද, An Herb ද? සුද්දන්ටත්හොල්මන්ද? ලිපියෙන් බැලුවා සමහර විට මතක ඇති.

අනිත් පදය - ඒ කියන්නෙ the” - හඳුන්වනවා definite article කියලා. ඒකත්, a සහ an වගේ, අපේ සිංහල භාෂාවෙ රටාවට වෙනස්ව යෙදෙන පදයක්. නමුත් ඒක භාවිතා වෙන ආකාරය තේරුම් ගන්න එච්චර අමාරු නැහැ.
[මෙය සාමාන්‍යයෙන් /ðə/ ‍ලෙසත්, vowel sound එකක‍ට පෙර සහ අවධාරණයෙන් කියන විට /ði/ ලෙසත් උච්චාරණය වෙනවා.]

1. කියන්නාත්, අසන්නාත් දෙදෙනාම පැහැදිලිව දන්නා දෙයක් / කෙනෙක් සඳහා

Give me the key. මට යතුර දෙන්න (අදහස් කරන්නේ මොන යතුරද යන්න දෙදෙනාටම පැහැදිලියි).

Can you show me the girl? මට ඒ (ගෑනු) ළමයව පෙන්නන්න පුලුවන්ද? (අදහස් කරන්නේ මොන ගෑනු ළමයද යන්න දෙදෙනාටම පැහැදිලියි).

Put the book on the table. පොත මේසෙ උඩ තියන්න (මොන පොතද, මොන මේසයද යන කරුණු දෙකම වැරදීමට ඉඩක් නැහැ).

***මෙසේ the පදය යෙදෙන්නේ my, our, your, his, her, their, its වැනි අයිතිය හඟවන පද (possessives), එසේ නැතිනම් this, that, these, those වැනි පෙන්වා දෙන පද (demonstratives) ආදිය නොයෙදෙන විට බව සැලකිය යුතුයි. (අයිතිය හඟවන පද හා රටා පිළිබඳව A Friendof Mine Had a Picture of Me - ඇයි මේ දෙවිදිහක්? ලිපිය බලන්න.)

2. කලින් සඳහන් කළ දෙයක් / කෙනෙක් නැවත සඳහන් කිරීමේදී

I got to know a boy from Jaffna last month. I met the boy again yesterday. මම ගිය මාසෙ යාපනේ (පිරිමි) ළමයෙක් අඳුන ගත්තා (දැනහඳුන ගත්තා). මට ඊයෙ‍ ඒ (පිරිමි) ළමයව ආයෙත් හම්බ උනා.

3. කලින් සඳහන් නොවුණත්, පසුව ඉක්මනින්ම වැඩි විස්තර කියවී පැහැදිලි වෙන දෙයක් / කෙනෙක් සඳහා

Can you see the top of that tower? ඔයාට අර කුළුණෙ මුදුන පේනවද? (මෙතනදි topට කලින් the යෙදෙන්නේ, top යන්න කලින් සඳහන් වී නැතත්, එතනම පසුව එන of that towerයන්නෙන් එය කුමන top එකක්ද යන්න විස්තර වෙන නිසා.

This is the friend I told you about. මේ තමයි මම ඔයාට කිව්ව යාළුවා. (මොන යාළුවාද යන්න එතනම පසුව එන I told you aboutමගින් පැහැදිලි කෙරෙනවා.)

4. සමස්තයක් වශයෙන් සියළු දෙනාම දන්නා දෙයක් සඳහා (the sun, the sky, the earth, the sea වැනි)

The moon is visible at night. හඳ පේන්නෙ රෑට. (හඳ යනු සියල්ලන්ම දන්නා දෙයක්)

Did you see the President on TV last night? ඔයා ඊයෙ රෑ රූපවාහිනියෙ ජනාධිපතිතුමාව දැක්කද? (රටේ ජනාධිපතිතුමා සියළු දෙනාම දන්නා කෙනෙක්)

5. ඒක වචන නාම පදයක් (singular noun) සමස්තයක් හැඳින්වීමට යෙදෙන විට

The dog is a useful animal. බල්ලා ප්‍රයෝජනවත් සතෙක් (මෙතනදී මුළු බලු වර්ගයාම අදහස් වෙනවා).

The rose is a beautiful flower. රෝස මල ලස්සන මලක් (සමස්තයක් වශයෙන් සියළු රෝස මල් අදහස් වෙනවා).

***man හා woman සමග නම් මේ ආකාරයෙන් the යෙදෙන්නේ නැහැ.‍

Man can do things other animals can’t (cannot).  අනෙකුත් සතුන්ට කළ නොහැකි දේ මිනිසාට (මිනිස් වර්ගයාට) කළ හැකියි. [මෙවැනි අදහස් නූතන ඉංග්‍රීසියේ, ලිංග භේදයකින් තොර වන ලෙස, “Human beings can do things other animals can’t (cannot).” ආදී වශයෙන් බොහෝ විට ප්‍රකාශ කෙරෙනවා.]

Woman can do almost anything that man can. පිරිමියා‍ට (පිරිමින්ට) කළ හැකි සියළු දේ පාහේ ගැහැණියට (ගැහැණුන්ට) කළ හැකියි. [මෙවැනි අදහස් නූතන ඉංග්‍රීසියේ බොහෝ විට Women can do almost anything that men can.” හෝ A woman can do almost anything that a man can.”ලෙස ප්‍රකාශ කෙරෙනවා.]

6. නාම විශේෂණයක් (adjective) සමස්තයක් හැඳින්වීමට යෙදෙන විට

We must look after the sick among us. අපි, අපි අතරෙ ඉන්න අසනීප වෙච්ච අයව (සමස්තයක් ලෙස) බලාගන්න ඕනැ.

The poor can’t afford many things. දුප්පත් අයට (සමස්තයක් ලෙස) ගොඩක් දේවල් ගන්න සල්ලි නැහැ.

***පිරිසක් හඳුන්වල මෙවැනි පද සම්බන්ධව බහු වචන ක්‍රියා පද යෙදෙනවා.

The rich are lucky. පෝසත් අය වාසනාවන්තයි.

7. කෙනෙකුගේ නමක් සමග සාමාන්‍යයෙන් නොයෙදුනත්, එය ඉදිරියෙන් නාම විශේෂණයක් (adjective) යෙදෙනවිට

Shakespeare - the immortal Shakespeare (අමරණීය ෂේක්ස්පියර්)

Martin Wickramasinghe - the great Martin Wickramasinghe (මාටින් වික්‍රමසිංහ ශූරීන්)

8. යම් තැනක යම් ගුණයක් ඉහළින්ම ඇත්තා බව දක්වන superlative adjectives (biggest, richest වැනි) යෙදෙන විට හා යම් තැනක කීවෙනියාද යන සංබ්‍යාත්මක ස්ථානය (first, tenth වැනි) යෙදෙන විට

She is the tallest girl in the class. එයා තමයි පංතියෙ උසම ළමයා.

He is the fourth boy in the second row. එයා‍ තමයි දෙවෙනි පේළියෙ හතර වෙනි ළමයා.

9. සංගීත භාණ්ඩ (the guitar ගිටාරය, the violin වයලිනය) හා පැරණි ප්‍රසිද්ධ පොත් (the Tripitaka ත්‍රිපිටකය, the Bible බයිබලය, the Koran කෝරානය, the Iliad ඉලියඩ් කාව්‍යය, the Ramayana රාමායණය) සමග

Can you play the guitar? ඔයා‍ට ගිටාර් එක වාදනය කරන්න පුලුවන්ද? (ඇතැම් අවස්ථාවලදී මෙවැනි තැන්වල සංගීත භාණ්ඩවල නම් article නැතිව “play guitar” ලෙසත් යෙදෙනවා.)

Have you read the Iliad? ඔයා ඉලියඩ් කියවල තියනවද?

10. යම් තැනක වැදගත්ම දෙය / කෙනා බව දැක්වීමට නාම පදයක් යෙදෙන විට (මෙහිදී the අවධාරණයෙන් - /ði/ ලෙස - කිව යුතුයි.)

He is the/THE man right now. එයා තමයි මේ වෙලාවෙ වැදගත්ම මිනිහා.

The verb is the/THE word in a sentence. වාක්‍යයක වැදගත්ම වචනය තමයි ක්‍රියා පදය.

11. සංසන්දනාත්මක නාම විශේෂණ (comparative adjectives) පහත ආකාරයට යෙදෙන විට

The more, the merrier. වැඩියෙන් තියන තරමට සතුට වැඩියි.

The more you spend, the less you can save. වැඩියෙන් වියදම් කරන තරමට ඉතිරි කරන්න පුලුවන් තරම අඩුයි.

12. පහත සඳහන් ආකාරවල ස්ථාන නාම සමග

සාගර හා මුහුදු - the Indian Ocean ඉන්දියන් සාගරය, the Black Sea කළු මුහුද

ගංගා හා ඇළවල් - the Nile නයිල් ගඟ, the Suez Canal සූවස් ඇළ

කාන්තාර - the Sahara සහරා කාන්තාරය, the Gobi (Desert) ගෝබි කාන්තාරය...

දූපත් සමූහ - the Maldives මාල දිවයින, the West Indies බටහිර ඉන්දීය කොදෙව්... (තනි දූපත් සඳහා the යෙදෙන්නේ නැහැ, උදා: Sri Lanka)

කඳු වැටි - the Alps ඇල්ප්ස් කඳු වැටිය, the Himalayas හිමාලය කඳු වැටිය... (තනි කඳු සඳහා බොහෝ විට the යෙදෙන්නේ නැහැ, උදා: (Mount) Everest එවරස්ට් කන්ද, Pidurutalagala පිදුරුතලාගල කන්ද කන්ද - නමුත් the Matterhorn මැටර්හෝන් කන්ද)

බහු වචන නම් ඇති රටවල් සඳහා - the United States ඇමරිකා එක්සත් ජනපදය, the Netherlands නෙදර්ලන්තය (ඕලන්දය), the United Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යය (නමුත් මේවා සමග යෙදෙන්නෙ ඒක වචන ක්‍රියා පද බව මතක තබා ගත යුතුයි - The United States is a large country. ඇමරිකා එක්සත් ජනපදය ලොකු රටක්.)

kingdom, republic පද සහිත the United Kingdom (එක්සත් රාජධානිය), the Irish Republic (අයර්ලන්ත සමූහාණ්ඩුව) වැනි නම් සමග

ප්‍රදේශ හඳුන්වන the Ukraine (යූක්රේනය), the Punjab (පන්ජාබය) වැනි නම් කීපයක

13. බොහෝ හෝටල්, සිනමා හෝ නෘත්‍ය ශාලා, කෞතුකාගාර, කලාගාර හා වෙනත් ඇතැම් ආයතනවල නම් සමග

The wedding was held at the Hilton. විවාහ උත්සවය තිබුනෙ හිල්ටන් හෝටලේ.

The film is on at the Savoy. චිත්‍රපටිය සැවෝයි ශාලාවේ පෙනන්නවා.

Have you been to the Brooklyn Museum? ඔයා බෘක්ලින් කෞතුකාගාරයට ගිහින් තියනවද?

The exhibition is being held at the Barbican Art Gallery. ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ බාබිකන් කලාගාරයේ.

He works for the Smithsonian Institution / the United Nations (the UN). එයා වැඩ කරන්නෙ ස්මිත්සෝනියන් ආයතනයට / එක්සත් ජාතීන්ගෙ සංවිධානයට.

***නමේ මුල් අකුරු යොදා හඳුන්වන ආයතනවලදී, එම අකුරුවල නම් වෙන වෙනම කියවෙන තැන්වල බොහෝ විට the යෙදුනත්, එසේ නොවී එක් වචනයක් ලෙස උච්චාරණය වෙන තැන්වල the යෙදෙන්නේ නැහැ. උදා:

the UN /ˌjuːˈɛn/, the BBC /ˌbiːbiːˈsiː/ (මෙවායේ අකුරු වෙන වනම කියවෙනවා.)

නමුත්

NATO /ˈneɪtəʊ/[BrE] - /ˈneɪtoʊ/[AmE], UNESCO /juːˈnɛskəʊ/[BrE] - /juˈnɛskoʊ/[AmE]

***නගරයක ඇති ඇතැම් සුවිශේෂී වූ ආයතන හෝ ස්ථානවල නම් - විශේෂයෙන් එම නගරයේ නම මුලින් යෙදෙන විට - article නොමැතිව භාවිතා වෙනවා. නමුත් වෙනත් ඇතැම් ආයතන the සමග යෙදෙනවා. උදා:

Oxford University, Stanford University, London Bridge, Heathrow Airport, Kennedy Airport, Bandaranaike International Airport

නමුත්

the Massachusetts Institute of Technology, the Bandaranaike Memorial International Conference Hall

14. ඇතැම් පුවත්පත්වල නම් සමග

I read it in the Daily Mirror. මම ඒක කියෙව්වේ ඩේලි මිරර් පත්තරේ.

The Nation is published on Sundays. නේෂන් පත්තරේ පළ වෙන්නෙ ඉරිදා.

15. පවුල්වල නම් සමග

Do you know the Silvas? ඔයා සිල්වලාව (සිල්වා පවුලෙ අය) අඳුරනවද?

We live next door to the Pereras. අපි ඉන්නෙ පෙරේරලාට අල්ලපු ගෙදර.

16. මිනුම් ඒකක පහත ආකාරයට යෙදෙන විට

They pay him by the week. ඒ අය එයාට ගෙවන්නේ සති ගණනට.

The bananas are sold by the kilo. කෙසෙල් විකුණන්නේ කිලෝ ගණනට,

***නමුත් මිනුම් ඒකක පහත රටාවේ භාවිතා වෙන්නේ මීට වෙනස් ලෙසයි..

She has piano practice three times a week. එයාට පියානෝ පුහුණුව සතියට තුන් වතාවක් තියනවා.

The bananas cost Rs. 60 a kilo. කෙසෙල් කිලෝ එක රු. 60ක් වෙනවා.

(මෙම article පද නොයෙදෙන අවස්ථා ගැන Go to Hell! ඒක කොහෙද? ලිපිය බලන්න.)

[සේයාරුවට ස්තුතිය: U-g-g-B-o-y-(-Photograph-World-Sense-)

2 comments:

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails