Wednesday, April 7, 2010

He Said She Told Him? - එයා කිව්වා කියලා මෙයා කිව්වද?




අපි කතා බහ කරනකොට අපට නිතරම වෙන කෙනෙක් කියූ දෙයක් උපුටලා දක්වන්න වෙනවා. මෙහෙම කරන්න වෙන්නෙ ඕපදූප කතා කරන්න හෝ කේලම් කියන්න විතරක් නෙමෙයි (එහෙම කරද්දි නම් විශේෂයෙන්ම ඕනැ වෙනවනේ). තවත් කෙනෙක්ගේ ප්‍රකාශයක් නැවත ඉදිරිපත් කරන එක එදිනෙදා ජීවිතයෙ සමහර අවස්ථාවල අත්‍යාවශ්‍ය දෙයක්.

මේ ආකාරයෙන් කතා කිරීම ඉංග්‍රීසියේ reported speech (indirect speech) නමින් හඳුන්වනවා. මේක සිංහලෙන් නම් අපට ලේසියි (ඒත් සිංහලෙනුත් අනිත් කෙ‍නා කියපු දේ නිවැරදිව ඉදිරිපත් කරන්න කල්පනාකාරී වෙන්න ඕනැ). ඉංග්‍රීසියෙදි මේ අවස්ථාවල විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනැ, මෙතනදි මුල් ප්‍රකාශයට විවිධ වෙනස්කම් සිද්ද වෙන නිසා.

1. වර්තමාන කාල ප්‍රකාශවලදී

අපේ ප්‍රකාශය වර්තමාන කාලයෙන් කෙරෙන්නක් නම්, මුල් ප්‍රකාශයේ විශාල වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මුල් ප්‍රකාශය කළ පුද්ගලයාට අදාළ I, we, my, our වැනි පද, ‍අපේ දෘෂ්ටි කෝණයට අදාළ ලෙස පිළිවෙලින් he / she, they, his / her, their බවට පත්වෙනවා. එම පුද්ගලයා පාවිච්චි කළ this, here වැනි පද අපි ඉන්නා තැන අනුව වෙනස් නම් ඒවාත් that, there බවට හැරෙනවා.

පහත සඳහන් උදාහරණවල මුලින් අනිත් කෙනා කියූ දෙය එලෙසින්ම කියන direct speech ආකාරයත්, දෙවනුව reported speech (indirect speech) ආකාරයත් දක්වලා තියනවා. මෙම උදාහරණ සියල්ලේම say ක්‍රියා පදය යොදා ගෙන තිබුනත්, reported speech හි say වෙනුවට tell me/us, declare, claim වැනි සුදුසු වෙනත් ක්‍රියා පදයක් යෙදෙන්නත් පුලුවන්. නමුත් රටාව එකමයි. වරහන් තුළ යොදා ඇති, වාක්‍ය ඛණ්ඩ දෙක එක් කරන that පදය අවිධිමත් භාවිතයේදී බොහෝ විට අත් හරිනවා - විශේෂයෙන් say, tell me/us.... වැනි බහුලව යෙදෙන ක්‍රියා පදවලින් පසුව.

He says, “The test is difficult.” - He says (that) the test is difficult. එයා කියනවා පරීක්ෂණය (විභාගය) අමාරුයි කියලා.

She says, “I am leaving now”. - She says (that) she is leaving now. එයා කියනවා එයා දැන් යනවා කියලා.

They say, “This is our car.” - They say (that) this is their car. ඒ අය කියනවා මේ ඒ අයගෙ කාරෙක කියලා. (අපිත් සිටින්නේ කාරෙක අසළ නම්) / They say (that) that is their car. ඒ අය කියනවා ඒක ඒ අයගෙ කාරෙක කියලා. (අපි සිටින්නේ කාරෙකට තරමක් හෝ ඉවතින් නම්)

2. අනාගත කාල ප්‍රකාශවලදී

අපේ ප්‍රකාශය අනාගතයේ වෙනත් කෙනෙක් කරාවි යයි අපි හිතන දෙයක් ගැන නම්, එතනදීත් යෙදෙන්නේ කලින් ආකාරයෙන්මයි. ඊ‍ට අමතරව කාලය සම්බන්ධ now වැනි යෙදුම් අවස්ථානුකූලව then බවට පත් විය හැකියි.

He will say, “The test is difficult.” – He will say (that) the test is difficult. එයා කියාවි පරීක්ෂණය (විභාගය) අමාරුයි කියලා.

She will say, “I want to see it here and now.” - She will say (that) she wants to see it here and now. එයා කියාවි එයාට ඒක දැන් මෙතනදිම බලන්න ඕනැ කියලා. (එයා මේ අවස්ථාවෙ එහෙම කියයි කියලා අපි හිතනවා නම්.) / She will say (that) she wants to see it there and then. එයා කියාවි එයාට ඒක එවෙලෙම එතනදිම බලන්න ඕනැ කියලා. (එයා පස්සෙ අවස්ථාවක එහෙම කියයි කියලා අපි හිතනවා නම්.)

3. අතීත කාල ප්‍රකාශවලදී

වැඩිම වෙනස්කම් සිද්ද වෙන්නෙ යම් කෙනෙක් කලින් කළ ප්‍රකාශයක් අපි උපුටලා දක්වනකොට. මෙතනදී පහත දැක්වෙන පද ඒ දක්වා ඇති ආකාරයකට බොහෝ විට වෙනස් වෙනවා, එසේ වීම අර්ථයට අනුව අවශ්‍ය නිසා. (නමුත් කලින් සඳහන් කළා වාගේම මෙතනදීත් මේවා වෙනස් වෙන්නෙ නැහැ ඒවා අපි ප්‍රකාශය කරන අවස්ථාවටත් අදාළ නම්.)

now (දැන්) - then (ඒ වෙලාවෙ)

today (අද) - that day (එදා)

here (මෙතන, මෙහෙ) - there (එතන, එහෙ)

this (මේ) - that ()

this week (මේ සතියෙ) - that week (ඒ සතියෙ)

tomorrow (හෙට) - the following day / the next day / the day after (ඊට පහුවදා)

next week (ලබන සතියෙ) - the following week / the next week / the week after (ඊට පස්සෙ සතියෙ)

yesterday (ඊයෙ) - the previous day / the day before (ඊට කලින්දා)

last week (ගිය සතියෙ) - the previous week / the week before (ඊට කලින් සතියෙ)

two weeks ago (සති දෙකක‍ට කලින්) - two weeks previously / two weeks before (ඊට සති දෙකකට කලින්)

tonight (අද රෑ) - that night (එදා රෑ)

last Saturday (ගිය සෙනසුරාදා) - the previous Saturday / the Saturday before (ඊට කලින් සෙනසුරාදා)

next Saturday (ලබන සෙනසුරාදා) - the following Saturday / the next Saturday (ඊට පස්සෙ සෙනසුරාදා)

මෙතනදී බොහෝ විට මුල ප්‍රකාශයේ ක්‍රියා පදයත් වෙනස් වන බව සැලකිය යුතුයි.

She said, “I watch TV every day.” - She said (that) she watched TV every day. (*1) එයා කිව්වා එයා හැමදාම රූපවාහිනී බලනවා කියලා.

She said, “I don’t watch TV every day.” - She said (that) she didn’t watch TV every day. (*1) එයා කිව්වා එයා හැමදාම රූපවාහිනී බලන්නෙ නැහැ කියලා.

She said, “I am watching TV  now.” - She said (that) she was watching TV then. එයා කිව්වා එයා ඒ වෙලාවෙ රූපවාහිනී බල බල ඉන්නෙ කියලා.

She said, “I watched TV last night.” - She said (that) she had watched TV the night before. එයා කිව්වා එයා කලින්දා රෑ රූපවාහිනී බැලුවා කියලා.

She said, “I was watching TV earlier.” - She said (that) she had been watching TV earlier. (*2) එයා කිව්වා එයා ඊට කලින් රූපවාහිනී බල බල හිටියා කියලා.

She said, “I have already watched TV.” - She said (that) she had already watched TV. එයා කිව්වා එයා ඒ වෙනකොටත් රූපවාහිනී බලලා හිටියෙ කියලා.

She said, “I have been watching TV for two hours.” - She said (that) she had been watching TV for two hours. එයා කිව්වා එයා (ඒ වෙනකොට) පැය දෙකක් තිස්සෙ රූපවාහිනී බල බල හිටියෙ කියලා.

She said, “I had already watched TV when they came.” - She said (that) she had already watched TV when the friends came. (*3) එයා කිව්වා එයා යාළුවො එනකොටත් රූපවාහිනී බලලා හිටියෙ කියලා.

She said, “I had been watching TV for two hours when they came.” - She said (that) she had been watching TV for two hours when the friends came. (*3) එයා කිව්වා  එයා යාළුවො එනකොට පැය දෙකක් තිස්සෙ රූපවාහිනී බල බල හිටියෙ කියලා.

She said, “I will watch TV tomorrow.” - She said (that) she would watch TV the next day. එයා කිව්වා එයා පහුවදා රූපවාහිනී බලනවා කියලා.

She said, “I must watch TV tomorrow.” - She said (that) she had to watch TV the next day. එයා කිව්වා එයා පහුවදා රූපවාහිනී බලන්න ඕනැ (බැලිය යුතුයි) කියලා.

She said, “I can watch TV now.” - She said (that) she could watch TV then. එයා කිව්වා එයා‍ට ඒ වෙලාවෙ රූපවාහිනී බලන්න පුලුවන් කියලා.

She said, “I may watch TV tomorrow.” - She said (that) she might watch TV the following day. එයා කිව්වා එයා පහුවදා රූපවාහිනී බලන්න ඉඩ තියනවා කියලා.

She said, “I might watch TV tomorrow.” - She said (that) she might watch TV the following day. (*4) එයා කිව්වා එයා පහුවදා රූපවාහිනී බලන්න ඉඩ තියනවා කියලා.

(*1) යම් කෙනෙක් වර්තමාන කාල ක්‍රියාවක් සහිතව කියූ දෙයක් මේ අවස්ථාවටද අදාළ නම් හා එය ඇත්තක් යයි අපිත් සිතන්නේ නම්, අපේ ප්‍රකාශයේ ඊට අදාළ ක්‍රියාව වර්තමාන කාලයෙන්ම යෙදිය හැකියි. නමුත් මුල් ප්‍රකාශය ගැන අපි එතරම් වගකීමක් බාර නො‍‍ගෙන, හුදෙක් එය වාර්තා කිරීමේ අදහසින් කියන්නේ නම් එම ක්‍රියාව අතීත කාලයෙන් යොදනවා.

She said, “I watch TV every day.” - She said (that) she watches TV every day. එයා කිව්වා එයා හැමදාම රූපවාහිනී බලනවා කියලා (ඇය -වර්තමානයේත් - දිනපතා රූපවාහිනී නරඹන බව අපිත් සිතනවා). / She said (that) she watched TV every day. එයා කිව්වා එයා හැමදාම රූපවාහිනී බලනවා කියලා (ඇය එහෙම කිව්වා, ඒක ගැන ඊට වැඩි දෙයක් අපි කියන්නෙ / දන්නෙ නැහැ).

මේ නිසා, යම් කෙනෙක් සැමදාටම පොදු සත්‍යයක් ගැන කියූ දෙයක් නැවත කීමේදී භාවීතා වෙන්නේ වර්තමාන කාල ක්‍රියාවක් බව මතක තබා ගත යුතුයි.

Our teacher said, “It takes the Earth about 365.24 days to go around the Sun.” - Our teacher said (that) it takes the Earth about 365.24 days to go around the Sun. අපේ ගුරුතුමා / ගුරුතුමිය කිව්වා පෘතුවියට සූර්යයා වටේ යන්න දවස් 365.24 ක් විතර ගත වෙනවා කියලා. 

(සැම විටම said නොයොදා, මෙවැනි තැනකදී Our teacher taught us that it takes the Earth about 365.24 days to go around the Sun. - අපේ ගුරුතුමා / ගුරුතුමිය අපට ඉගැන්නුවා පෘතුවියට සූර්යයා වටේ යන්න දවස් 365.24 ක් විතර ගත වෙනවා කියලා වැන්නක් කියන්නත් පුලුවන්.)

(*2) යම් කෙනෙක් අතීත කාල ක්‍රියාවක් සහිතව කියූ දෙයක, එම මුල් ප්‍රකාශයේ කියවෙන කාරණය එම ප්‍රකාශය කළ අවස්ථාවට කලින් සිදු වූවක් බව දැක්වීමට වඩා එහි වර්තමානයට ඇති සම්බන්ධය වැදගත් නම්, එම ක්‍රියා පදය ඒ‍ ආකාරයෙන්ම භාවිතා වෙනවා.

She said, “I was watching TV at that time.” - She said (that) she was watching TV at that time. එයා කිව්වා එයා ඒ වෙලාවෙ රූපවාහිනී බල බල හිටියා කියලා.

He said, “She told me everything.” - He said (that) she told him everything.  එයා (ඔහු) කිව්වා අරයා‍ (ඇය) එයාට (ඔහුට) ඔක්කොම කිව්වා කියලා.

She said, “It started raining when I left home.” - She said (that) it started raining when she left home. එයා කිව්වා එයා ගෙදරින් පිටත් වෙනකොට වහින්න ගත්ත කියලා.

The newsreader [බ්‍රි] / newscaster said, “The earthquake occurred at 10.25 this morning.” - The newsreader [බ්‍රි] / newscaster said (that) the earthquake occurred at 10.25 this / that morning. භූමි කම්පාව අද / එදා උදේ 10.25 ට සිද්ද උනා කියලා ප්‍රවෘත්ති ප්‍රකාශකයා / ප්‍රකාශිකාව කිව්වා.

(*3) මේ තැන්වල මුල් ප්‍රකාශයේ ඇති පළමු ක්‍රියා පද - එනම් had watched හා had been watching - නැවත ඉදිරිපත් කිරීමේදී වෙනසක් වෙන්නේ නැහැ (එවා වෙනස් කළ හැකි ආකාරයකුත් නැහැ). දෙවෙනියට යෙදෙන came ක්‍රියා පදය, ඉහත (*2) හි සඳහන් හේතුව නිසාත්, එය වෙනස් කළහොත් එයත් පළමු ක්‍රියා පදයත් අතර ඇති සම්බන්ධය - එනම් පළමු ක්‍රියාව දෙවන ක්‍රියාවට කලින් සිදු වූ බව - නොපෙනී යන නිසාත්, වෙනස් වෙන්නේ නැහැ..

(*4) මුල් ප්‍රකාශයේ might, could, would, should ආදී පද යෙදෙන විට reported speech හිදී ඒවා වෙනස් වෙන්නේ නැහැ.

4. ඉල්ලීමකදී හෝ විධානයකදී

My father said, “Come here.” - My father told / asked me to come to him. මගේ තාත්තා මට එයා ගාවට එන්න කිව්වා.

My mother said, “Will you go and study now?” - My mother told / asked me to go and study then. මගෙ අම්මා මට ඒ වෙලාවෙ ගිහින් පාඩම් කරන්න කිව්වා.

My brother said, “Could you please help me with my homework?” - My brother requested me to help him with his homework. මගෙ මල්ලි මගෙන් ඉල්ලුවා එයාගේ ගෙදර වැඩවලට උදව් වෙන්න කියලා.

The policeman said, “All of you get out of the van!” - The policeman ordered all of us to get out of the van. පොලිස් නිළධාරියා අපි ඔක්කොටම වෑන් එකෙන් බහින්න නියෝග කළා.

මෙසේ අවස්ථාවට සුදුසු ලෙස මේවා reported speech රටාවකට හරවන්න වෙනවා.

5. ප්‍රශ්නයකදී

මෙහිදී පද යෙදෙන පිළිවෙල (word order) වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න.

She asked, “Are you hungry?” – He asked (me) whether / if [අවිධිමත්] I was hungry. එයා ඇහුවා මට බඩගිනිද කියලා.

He asked, “Where are you going?” - He asked (me) where I was going. එයා ඇහුවා මම කොහෙද යන්නෙ කියලා.

She asked, “What do you want?” - She asked (me) what I wanted. එයි ඇහුවා මට මොනවද ඕනැ කියලා.

He asked, “When will you come?” - He asked (me) when I would come. එයා ඇහුවා මම කවදද / කොයි වෙලාවෙද එන්නෙ කියලා.

She asked, “What is your name?” - She asked (me) what my name is/was.* එයා ඇහුවා මගෙ නම මොකක්ද කියලා.

*මෙතනදීත්, තමන්ගේ නම යනු කාලය අනුව වෙනස් නොවන්නක් නිසා, reported speech හි වර්තමාන කාලය යොදා ගත හැකියි. නමුත් මෙවැනි තැන්වල බොහෝ අය අතීත කාලයත් යොදනවා. මේ කිසිවක් නැතිව මෙම අදහස පහත දැක්වෙන ආකාරයට සරලවත් දැක්විය හැකියි.

She asked (me) my name. එයා මගෙ නම ඇහුවා.

(සේයාරුවට ස්තුතිය: foxypar4)



10 comments:

  1. මචං . . ඉස්සර ස්කෝලේ යන කලේ ඉන්ග්ලිශ් ක්ලාස් එක කට් කලා වගේ මේ ඉංග්ලිශ් බ්ලොග් එකටත් වැඩිය කට්ටිය කමෙන්ට් කරන්නේ නෑ වගේ . . ( මේ ඉංග්‍රීසි නොදන්නා මෝඩ මම අතුලුව ) තවත් නම් එහෙම කරන්න බැරි වෙයි වගේ . . මේ සතියේ ඉවර කරන්න බැරි නිසා මේ මාසේ ඉවර වෙන්න කලින් නම් ඔක්කෝම කියවලා ඉවර කරලා නොදන්න ඉංග්‍රීසි දැනුම ට යමක් එකතු කර ගන්නම වෙනවා.

    ReplyDelete
  2. @දුකා
    ඔව් මචං, ඒක නම් ඇත්ත තමයි. කව්රු කව්රු හරි ප්‍රශ්න එහෙම අහනව නම් තමයි හොඳ.

    ReplyDelete
  3. I'm so sorry for not leaving any comments lately. So, exhausted due to semester exams, these days. Please don't be discourage for not seeing many comments. We all read it; just too lazy to comment.I'm a typical lazy bum myself: That's the Sri Lankan spirit, I guess.

    By the way, I like that duck. "She has a big bottom!" Shake that ****, heh, heh...

    ReplyDelete
  4. @Siribiris

    Nice to hear that you guys are still with me. I'm a bit busy myself these days, but will add something as soon as I find some free time.

    ReplyDelete
  5. Excellent, i appreciated about your effort. I got more info from this lesson.

    ReplyDelete
  6. @Tera
    Thanks, I'm happy to hear that.

    ReplyDelete
  7. this is the most useful sri lankan blog. thank you

    ReplyDelete
  8. i need to know more about prepositions,pls add a lesson,that will useful for everyone.thank you for your effort

    ReplyDelete
    Replies
    1. There are several posts already written about various aspects of prepositions:

      They Are at a Ceremony on a Farm in Kandy - විවිධ තැන්වලදී
      (http://ingirisi.blogspot.com/2010/09/they-are-at-ceremony-on-farm-in-kandy.html)

      Do You Agree with Me? එකඟද, නැද්ද?
      (http://ingirisi.blogspot.com/2012/06/do-you-agree-with-me.html)

      What AreYou Afraid Of? බයක්ද?
      (http://ingirisi.blogspot.com/2012/06/what-areyou-afraid-of.html)

      Look Out! - බලාගෙනයි!
      (http://ingirisi.blogspot.com/2010/06/look-out.html)

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails