Sunday, December 19, 2010

I Couldn't Care Less! ඒ කිවිවේ මොකක්ද?


ඕනැම භාෂාවක තියනවා යම් අදහසක් තදින් දැනෙන ආකාරයට ප්‍රකාශ කරන යෙදුම්. මේවා අපට අවශ්‍ය දේ ප්‍රබලව කීමේදී යොදා ගන්න පුලුවන්. (නමුත් අනෙත් පුද්ගලයාගේ හිත රිදීමට ඇති ඉඩ ගැන නම් ටිකක් සැලකිලිමත් විය යුතුයි.)

1. Couldn't care less

යමක් ගැන කිසිම තැකීමක් නැති බව දැක්වීමට මෙම යෙදුම පාවිච්චි වෙනවා.

They'll come here tomorrow. - I couldn't care less. ඒ අය හෙට මෙහෙ ඒවි. - ආවත් එකයි, නැතත් එකයි මට.

He couldn't care less about other people's safety. අනිත් අයගේ ආරක්ෂාව ගැන එයාට කිසිම තැකීමක් නැහැ.

2. Not bothered

විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතයේ මෙම යෙදුමත් ඉහත යෙදුමට ආසන්න අදහසකින් භාවිතා වෙනවා.

She's not bothered about what we think. අපි මොනවා හිතුවත් එයාට කිසි ගානක් නැහැ.

What should I do now? - I'm not bothered. මොනවද මම දැන් කරන්න ඕනැ? - මොනවා කළත් මට එකයි.

3. Leave much/a lot to be desired

යමක අඩුපාඩු බොහෝ ඇති බව (අවශ්‍ය තත්වයට කොහෙත්ම ළඟා නොවන බව) දැක්වීමට යොදා ගැනෙනවා.

Her work leaves much to be desired. එයාගේ වැඩ හොඳටම මදි.

The current situation leaves a lot to be desired. වර්තමාන තත්වයේ ගොඩක් අඩුපාඩු තියනවා.

4. Make a mess

විශාල අවුලක්, පටලැවිල්ලක් ඇති කරන බව මෙයින් කියවෙනවා.

When we went home yesterday, the children had made a mess in the living room. අපි ඊයෙ ගෙදර යනකොට ළමයි සාලෙ හොඳටම අවුල් කරලා.

They've made a mess with the police. ඒ අය පොලීසියත් එක්ක ලොකු අවුලක් ඇති කරගෙන.

5. Have to face the music

විවේචනවලට මුහුණ දීමට සිදු වන බව කීමට භාවිතා කෙරෙනවා.

If you do that, I'll have to face the music when I meet the boss. ඔයා ඒක කෙරුවොත් මටයි ලොක්කා යම්බ උනාම බැනුම් අහන්න වෙන්නේ.

They made so much noise at the party last night; I had to face the music from my neighbours[BrE]/neighbors[AmE] this morning. ඒ ගොල්ලෝ ඊයෙ රෑ පාටියෙදී ගොඩාක් සද්ද කෙරුවා; මට අද උදේ වටපිට අයගෙන් බැනුම් අහන්න උනා.

6. Leave (someone) holding the baby

යමක් ගැන වගකීම කෙනෙක් මත පැටවෙන බව ප්‍රකාශ කිරීමට යොදා ගැනෙනවා.

The whole family was for organizing a trip, but finally I was left holding the baby. පවුලෙ ඔක්කොම විනෝද ගමනක් සංවිධානය කරන්න කැමති උනාට අන්තිමට මටයි වැඩේට කර ගහන්න උනේ.

Our boss went abroad shortly after this project was started, leaving the rest of us holding the baby. මේ ව්‍යාපෘතිය පටන් අරන් ටික දවසකින් අපේ ලොක්කා රට ගියා, වැඩේ අපි අනිත් කට්ටියට දාලා.  

7. Leave (somebody) in the lurch

කෙනෙකුට උදව් අවශ්‍ය අවස්ථාවක එසේ නොකර මග හැරීම දැක්වීමට මෙම යෙදුම භාවිතා වෙනවා.

There's a lot of work at the office today, so I can't come home early and leave the others in the lurch. අද ඔෆිස් එකේ ගොඩක් වැඩ තියනවා, ඒ නිසා මට අනිත් අයව දාලා කලින් ගෙදර එන්න බැහැ.

When I lost my job, I was left in the lurch by all my friends. මට රස්සාව නැති උන වෙලාවේ මගෙ යාළුවෝ ඔක්කොම කර ඇරියා.

(Image credit: Cristiano Betta )

Monday, November 29, 2010

Would You Rather Read Something Else? - 'rather' පදය ගැන


ඉංග්‍රීසි භාෂාවේ බහුලව යෙදෙන පදයක් තමයි 'rather'. නමුත් මේ පදය අර්ථ කීපයක යෙදෙන නිසා ටිකක් පැටලිලි සහිත වෙන්න පුලුවන්. මෙහි වෙනස් භාවිත පිළිබඳ වෙන් වෙන් වශයෙන් විවිධ ලිපිවල සඳහන් වුණත් එක තැනක කතා කලේ ‍නැති නිසා ඒ ගැන පොඩ්ඩක් බැලුවොත් හොඳයි කියලා හිතුනා.

1. rather difficult/short/good...

මේ තමයි මම හිතන විදිහට මේ වචනෙ පහසුම අර්ථය. නමුත් මේකෙත් පොඩි අවුලක් නැතුවම නෙමෙයි. මෙතන මේ වචනෙ තේරුම 'තරමක් (දුරට)' වැන්නක් වුණත්, එය යෙදෙන අවස්ථා ගැන සැලකිලිමත් වෙන්න ඕනැ. 'තරමක් (දුරට)' අර්ථය ඇතිව 'rather' පදය භාවිතා කෙරෙන්නේ  'අපි අසතුටට ලක් වෙන ආකාරය‍‍ට' හෝ 'අපි නොසිතූ, බලාපොරොත්තු නොවූ ආකාරයට' යමක යම් ගුණයක් තරමක් දුරට ගැබ් වෙලා තියන විටයි. 

My friend is rather short. මගෙ යාළුවා තරමක් මිටියි. (මම හිතන විදියට ටිකක් මිටි වැඩියි.)

His answer was rather good. එයාගෙ උත්තරය තරමක් හොඳයි. (මම හිතුවෙ නැහැ එච්චර හොඳ වෙයි කියලා.)

(වැඩි විස්තර සඳහා 'Fairly Good? Rather Good? - මොනවද මේ කතා?' බලන්න.) 

2. rather than

යමක් වෙනුවට වෙනත් දෙයක් ඊට වඩා යෝග්‍ය හෝ අදාළ බව දැක්වීමට මෙම රටාව යොදා ගැනෙනවා.

Though he had failed the exam, he looked happy rather than sad. එයා විභාගෙ අසමත් වෙලා තිබුනත් එයා දුකෙන් නෙමෙයි සතුටෙන් ඉන්නවා වගේ පෙනුනා.

She should have called her parents, rather than waiting/wait for them to call her. එයාට තිබුනේ එයාගෙ දෙමව්පියන්ට කෝල් කරන්න, ඒ අය කෝල් කරනනම් ඉන්නෙ නැතිව.

(වැඩි විස්තර සඳයා 'Can You Help Me Learn It? - එහෙමද?' බලන්න.)

3. would rather

යමක් කිරීමට වෙනත් දෙයක් කිරීමට වඩා වැඩි කැමැත්තක් දක්වන බව ප්‍රකාශ කිරීමට මෙම රටාව යොදා ගැනෙනවා.

I'd rather read a book than watch TV. මම ටීවී බලනවට වඩා පොතක් කියවන්න කැමතියි.

I think he'd rather not go there. මම හිතන්නෙ එයා එහෙ නොයා ඉන්න වැඩිය කැමතියි.

***වෙනත් කෙනෙක් යමක් කරනවාට යමෙක් වඩා කැමති බව දැක්වීමට මෙය පහත ආකාරයට භාවිතා වෙනවා.

I'd rather you didn't smoke. ඔයා දුම් නොබොනවා නම් මම වැඩිය කැමතියි.

She'd rather her teacher gave her more details. එයාගෙ ගුරුතුමා/තුමිය ඊට වඩා විස්තර දෙනවා නම් එයා වඩා කැමතියි.


4. rather like/suspect/enjoy...

යම් ක්‍රියා පදයකින් දැක්වෙන ක්‍රියාවේ සැර තරමක් බාල කිරීම සඳහා මෙම රටාව පාවිච්චි කෙරෙනවා.

I rather like the way she speaks. එයා කතා කරන විදිහට මගෙ යම් කැමැත්තක් තියනවා.

I think they rather doubt that we'll be there on time. මම හිතන්නෙ එයාලට තරමක සැකයක් තියනවා අපි වෙලාවට එහෙ නොඉඳීද කියලා.

5. or rather

යම් දෙයක් ඊට අනුරූප වෙනත් දෙයක් මගින් වඩා නිවැරදි ලෙස දැක්වීමේදී

He's good at swimming, or rather, diving. එයාට හොඳට පීනන්න, වඩාත් නිවැරදිව කිව්වොත් කිමිදෙන්න, පුලුවන්. 

They were talking - or rather shouting. ඒ අය කතා කර කර හිටියා - කෑ ගගහා හිටියා කිව්වොත් වඩා නිවැරදියි.

6. but rather

යම් දෙයක් යම් ආකාරයකින් නොව වෙනස් ආකාරයකින් කීවොත් වඩා නිවැරදි බව දැක්වීමේදී

My friend isn't dumb, but rather absent-minded. මගෙ යාළුවා මෝඩ නැහැ, එයාට ටිකක් අමතක වෙනවා විතරයි.

The shirt isn't white, but rather very light grey[BrE]/gray[AmE].  කමිසෙ සුදු නෙමෙයි, බොහොම ලා අළු පාටයි (කිව්වොත් තමයි වඩා හරි).

(සේයාරුවට ස්තුතිය: bsabarnowl)

Friday, November 19, 2010

Is Everyone Ready? එක් කෙනෙක්ද?



ඉංග්‍රීසි භාෂාවෙ ඇතැම් වචන භාවිතා වෙන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න අපට සිදු වෙනවා, ඒවා සිංහල රටාවලින් වෙනස් වෙන නිසා. ‘සියල්ල/සියලු දෙනා/ඔක්කොම’ වැනි අර්ථ ඇතිව යෙදෙන වචන කීපයක් ගැන අවධානය යොමු කරමු.

1. every

‘සෑම’, ‘සියළු’ යන අර්ථය දෙන මෙම පදය බොහෝ විට යෙදෙන්නේ ගණන් කළ හැකි ආකාරයේ ඒක වචන නාම පද (singular countable nouns) සමගයි.

Every child received a gift. හැම ළමයාටම තෑග්ගක් ලැබුනා.

We see them every day. අපි හැම දාම ඒ අයව දකිනවා.

***නමුත් කීප දෙනෙක් හෝ යම් දේවල් කීපයක් එක් කණ්ඩායමක් ලෙස සැලකෙන විට ‘every’ පදය බහු වචන සමගත් යෙදෙනවා.

I have to go there every three days. මට දින තුනකට සැරයක් එහේ යන්න වෙනවා.

They get a break after every two lessons. ඒ  අයට හැම පාඩම් දෙකකට පස්සෙම විවේකයක් ලැබෙනවා.

*** ‘සියල්ල/සෑම දෙයක්ම’ අර්ථය ඇති ‘everything’ යන්නත්, ‘සියලු දෙනා’අර්ථය දෙන ‘everyone/everybody’ යන ඒවාත්, තනි වචන ලෙස ලියවෙනවා. ‘සෑම දිනකම’ යන අදහස ඇති ‘every day’ යෙදුම වචන දෙකක් වශයෙන් ලියවෙන නමුත් එය නාම විශේෂණයක් ලෙස යෙදෙන විට නම් තනි පදයක් ලෙස ලියවෙනවා.‍

We do that every day. අපි ඒක හැම දාම කරනවා.

It’s one of our everyday activities. ඒක අපේ එදිනෙදා ක්‍රියාකාරකම්වලින් එකක්.

2. each

මෙම වචනයත් ඇතැම් විට ‘every’ පදයට සමාන ලෙස යෙදෙනවා.

Every/Each student will be given an assignment. හැම ශිෂ්‍යයෙකුටම පැවරුමක් දෙනවා (දෙනු ලබනවා).

***නමුත් මෙහි යෙදීමේ වෙනස්කම් තියෙනවා. ‘every’ භාවිතා වෙන්නේ තුනක්/තුන් දෙනෙක් හෝ වැඩි ගණනක් ඇති විට වුණත්, දෙකක්/දෙදෙනෙක් හෝ වැඩි ගණනක් ඇති විට ‘each’ යෙදිය හැකියි.

The child had a mango in each hand. ළමයාගේ අත් දෙකේම අඹ ගෙඩියක් තිබුනා (අතක අඹ ගෙඩිය බැගින්).
(‘දෙකකින් හැම එකේම’ යන මෙම අර්ථයෙන් ‘either’ පදයත් පාවිච්චි වෙනවා: ‘The child had a mango in either hand.’)

***ඒ වගේම අදාළ දේ/පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් සැලකෙන අවස්ථාවලදී සාමාන්‍යෙයන් ‘each’ පදයත්, සියල්ල ගැන පොදුවේ කතා කෙරෙන අවස්ථාවලදී සාමාන්‍යෙයන් ‘every’ පදයත් ගැනෙනවා.

Each patient had to take (undergo) a different test. එක එක රෝගියාට වෙන වෙන පරීක්ෂණවලට භාජනය වෙන්න උනා.

Every patient was treated by the same doctor. හැම රෝගියාටම බේත් දුන්නේ එකම වෛද්‍යවරයා.
(සියල්ලන් පොදුවේ සැලකෙන මෙවැනි ප්‍රකාශවලට ඉතා ආසන්න අදහසක් ‘all’ පදය ආශ්‍රයෙනුත් ප්‍රකාශ කළ හැකියි: ‘All the patients were treated by the same doctor. රෝගීන් ඔක්කොටම බේත් දුන්නේ එකම වෛද්‍යවරයා.’)

***එසේම ‘each’ පදය යොදා ගන්නා ඇතැම් ආකාරවලට ‘every’ යොදා ගැනෙන්නේ නැහැ.

Each of the ministers spoke for about half an hour. / The ministers each spoke for about half an hour. / The ministers spoke for about half an hour each. හැම ඇමතිවරයාම පැය භාගයක් විතර කතා කළා (එක් කෙනෙක් පැය භාගයක් පමණ බැගින් සියලු දෙනා කතා කළා ).

3. all

සියල්ල/සියලු දෙනා පොදුවේ සැලකෙන අවස්ථාවල මෙම පදය ගණන් කළ හැකි මෙන්ම ගණන් කළ නොහැකි නාම පද සමගත් භාවිතා වෙනවා. ගණන් කළ හැකි නාම පදවලදී මෙය යෙදෙන්නේ ඒවායේ බහු වචනය සමගයි. එසේම කලින් පදවලට වෙනස් ආකාරයෙන් මෙහිදී අර්ථයට සුදුසු පරිදි නාම පදයට පෙර ‘the’ යෙදීම හෝ නොයෙදීමත්, එසේ නැතිනම් ‘this, your…’ වැන්නක් යෙදීමත් කෙරෙනවා.

All the students have passed the exam. ශිෂ්‍යයො ඔක්කොම විභාගෙ පාස් වෙලා.

All my friends have come. මගෙ යාළුවො ඔක්කොම ඇවිත්.

All applicants should submit a police report. අයදුම්කරුවන් ඔක්කොම පොලිස් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනැ.

All the water was used. වතුර ඔක්කොම පාවිච්චි උනා.

***බහු වචන නාම පදයට පෙර සංඛ්‍යාවක් සඳහන් විට ‘the’ අත් හැරීම බොහෝ විට කෙරෙනවා. (පහත සඳහන් ‘both’ සමග මෙන්)

All (the) three friends came to see me. යාලුවො තුන් දෙනාම මාව බලන්න ආව.

***නාම පදයට පෙර ‘the, your…’ ආදී පද යෙදෙන තැන්වලදී ඇතැම් විට ‘all of’ ද භාවිතා වෙනවා. සර්වනාම (pronouns) සමග නම් සැම විටම යෙදෙන්නේ මේ ස්වරූපයයි.

All of the students have passed the exam. ශිෂ්‍යයො ඔක්කොම විභාගෙ පාස් වෙලා.

All of my friends have come. මගෙ යාළුවො ඔක්කොම ඇවිත්.

All of us were there. අපි ඔක්කොම එහේ ගියා/හිටියා.

***මෙය පහත ආකාරයටත් භාවිතා කළ හැකියි.

The students have all passed the exam. ශිෂ්‍යයො ඔක්කොම විභාගෙ පාස් වෙලා.

My friends have all come. මගෙ යාළුවො ඔක්කොම ඇවිත්.

*** ‘සියල්ල/සියලු දෙනා’ යන අර්ථයෙන් ‘all’ යන්න තනි පදයක් ලෙස යෙදෙන විට, මුල් අර්ථය සඳහා ඒක වචන ලෙසත්, දෙවෙනි අර්ථය සඳහා බහු වචන ලෙසත් සැලකෙනවා. නමුත් වර්තමාන ඉංග්‍රීසියේ මේ වෙනුවට බොහෝ විට ‘everything’ හා ‘everyone/everybody’ ගැනෙනවා.

All was lost. / Everything was lost. ඔක්කොම නැති උනා.

All have come. / Everyone has come. හැමෝම ඇවිල්ලා.

4. both

‘දෙදෙනෙක් අතරින් දෙදෙනාම/දෙකක් අතරින් දෙකම’ යන අර්ථයෙන් යෙදෙන මෙය බහු වචන නාම පද සමග භාවිතා වෙනවා. මේ සමග එන නාම පදයට පෙර සුදුසු ලෙස ‘these/your…’ වැන්නක් යෙදිය හැකියි. ‘the’ යෙදීම ඇතැම් විට කෙරුනත් බොහෝ විට එය අත් හරිනු ලබනවා.

Both (the) girls are intelligent. ගෑණු ළමයි දෙන්නම බුද්ධිමත්.

Both these girls are intelligent. මේ ගෑණු ළමයි දෙන්නම බුද්ධිමත්.

Both our girls are intelligent. අපේ ගෑණු ළමයි දෙන්නම බුද්ධිමත්.

***එසේම ‘all’ හිදී මෙන් පහත රටාවත් යොදා ගැනෙනවා.

The girls are both intelligent.

***සර්වනාම සමග යෙදෙන්නේ ‘both of’ ස්වරූපයයි.

Both of them are intelligent. ඒ අය දෙන්නම බුද්ධිමත්.

***මෙය තනි පදයක් ලෙසත් යෙදෙනවා.

Both are intelligent. දෙන්නම බුද්ධිමත්.

5. either

‘එකක් හෝ අනෙක’යන අර්ථය සාමන්‍යයෙන් ඇති මෙම වචනයත් ඇතැම් අවස්ථාවල ‘දෙකක්/දෙදෙනෙක් අතරින් කොයික/කොයි කෙනා හෝ’, ‘දෙකේම එක බැගින්’ වැනි අර්ථවල යෙදෙනවා.

Either you or your wife can sign the document. ඔයාට හරි ඔයාගෙ බිරිඳට හරි ලියවිල්ල අත්සන් කරන්න පුලුවන්.

Either person can sign the document. දෙන්නාගෙන් කාට හරි ලියවිල්ල අත්සන් කරන්න පුලුවන්.

Either of you can sign the document. ඔයාලා දෙන්නාගෙන් කාට හරි ලියවිල්ල අත්සන් කරන්න පුලුවන්.

There’s a lamp post at either/each end of the street. පාරේ කෙළවර දෙකේම ලයිට් කණුවක් තියනවා (එක් කෙළවරක එක බැගින්).

(සේයාරුවට ස්තුතිය: no3rdw)


Related Posts with Thumbnails