Wednesday, October 27, 2010

Just Say No! කොහොමද කියන්නේ?


අපි හැමෝම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්ත දවසෙ ඉඳන්ම වගේ දන්න වචනයක් තමයි ‘no’. මේක බොහොම සරල, අකුරු දෙකේ පදයක් වුණාට ඒක පාවිච්චියට ගැනෙනවා විවිධ අදහස් ප්‍රකාශ කරන්න.

1. No, I’m not. (ප්‍රශ්නයකට ‘නැහැ’, ‘බැහැ’ හෝ ‘එපා’ යනුවෙන් උත්තර දීමේදී)

Are you Nimal? – No, I’m not. ඔයා නිමල්ද? - නැහැ (, මම නිමල් නෙමෙයි).

Can she come tomorrow? – No, she can’t. හෙට එයාට එන්න පුලුවන්ද? – (හෙට එයාට එන්න) බැහැ.

Shall/Should I call them now? – No, not yet. මම දැන් ඒ අයට කෝල් කරන්නද? – දැන්ම එපා.

Would you like something to drink? – No, thanks. ඔයා මොනව හරි බොන්න කැමතිද? - එපා, ස්තුතියි.

(මෙවැනි ප්‍රශ්නවලට උත්තර දීම ගැන තවත් විස්තර සඳහා ‘This Isn’t So Difficult. – Yes or No?’ බලන්න.)

2. She said no. (‘නැහැ’, ‘බැහැ’ හෝ ‘එපා’ උත්තරය වශයෙන් දීම දැක්වීම සඳහා)

We asked her to come with us, but she said no. අපි එයාට අපිත් එක්ක එන්න කිව්වා, ඒත් එයා බැහැ කිව්වා.

They said no to our request/offer. එයා අපේ ඉල්ලීමට බැහැ කිව්වා/අපි දුන්න දේ (ප්‍රදානය කළ දේ) එපා කිව්වා.

The answer was no. උත්තරය උනේ නැහැ/බැහැ/එපා කියන එකයි.

Is it a yes or no? උත්තරය ඔව්/පුලුවන්/හා ද, නැහැ/බැහැ/එපා ද?   

3. Oh no! (දැන ගත් දෙයකින් මවිතයට හෝ තිගැස්සීමකට පත් වූ විට)

Your friend is going to leave the country. – Oh no! ඔයාගෙ යාළුවා රටින් පිටවෙලා යන්නයි යන්නේ. - නෑ!/අයියෝ!

I quit my job. – No!  මම රස්සාවෙන් අස් උනා. - නෑ!/අයියෝ!  

4. He’s no fool. (නැත යන අර්ථයේ ප්‍රකාශයක ‘not a/an’ හෝ ‘not any’ වෙනුවට ඊට වඩා වැඩි අවධාරණයක් යෙදීමට)

(‘a’ සහ ‘an’ යෙදෙන ආකාරය මතක් කර ගැනීමට අවශ්‍ය නම් ‘A Herb ද, An Herb ද? සුද්දන්ටත් හොල්මන්ද?’ ලිපියත්, ‘any’ යෙදෙන ආකාරය මතක් කර ගැනීමට අවශ්‍ය නම් ‘Some Uses of “Some” – එහි භාවිතයේ වෙනස්කම් ගැන’ ලිපියේ අග කොටසත් බලන්න.)

He’s no fool. එයා මෝඩයෙක් (එහෙම) නෙමෙයි. (‘He isn’t a fool.’ කීවා‍ට වඩා මෙම රටාවේදී අදාළ පුද්ගලයා මෝඩයෙක් නොවන බව යම් තරමකින් අවධාරණය වෙනවා.)

I had no friends there. මට එහෙ කිසි යාළුවෙක් හිටියෙ නැහැ. (‘I didn’t have any friends there.’ යන්නට වඩා මෙම රටාවේදී තමන්ට කිසිම මිතුරෙක් නොසිටි බව යම් තරමකින් අවධාරණය කෙරෙනවා‍.)

***වාක්‍යයක කතෘ (subject) ලෙස සාමාන්‍යයෙන් ‘not any’ යෙදෙන්නේ නැහැ. එහිදී ගැනෙන්නේ ‘no’ රටාවයි.

No newspaper gives you completely unbiased information. කිසිම පත්තරයකින් සම්පූර්ණයෙන්ම අපක්ෂපාතී තොරතුරු ලැබෙන්නේ නැහැ.

No outsiders are allowed in the examination hall. විභාග ශාලාවට කිසිම පිටස්තර කෙනෙකුට ඇතුල් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. 

(Do You SpeakEnglish? ප්‍රශ්න ගැනලිපියත් බලන්න.)

***‘යම් පිරිසක් අතරින් කිසිම කෙ‍නෙක් ... නැහැ’ වැනි අර්ථයක් දීමට ගැනෙනා ‘not any of ...’ යන්න අවධාරණයෙන් කීමට නම් යොදා ගැනෙන්නේ ‘none of ...’ යන්නයි. එවැනි අවස්ථාවල එය subject ලෙස යෙදෙන්නේ නම් ගැනෙන්නේත් ‘none of ...’ යන්නයි.

I’ve met none of them before. මට ඒ අයගෙන් කව්රුවත්ම මීට කලින් මුණ ගැහිලා නැහැ. (මෙහිදී ‘I haven’t met any of them before.’ යන්නට වඩා අවධාරණයක් කෙරෙනවා.)  

None of our children wanted to go there. අපේ ළමයි කාටවත් එහෙ යන්න ඕනැ කමක් තිබුනෙ නැහැ.

මෙතනදී සැලකිය යුතු තවත් දෙයක් තමයි ‘යම් පිරිසක් අතරින්‍ ඕනෑම කෙ‍නෙක්’ යන්න සඳහා ‘any of ...’ යොදා ගැනුනත්, ‘දෙදෙනෙක් අතරින් ඕනෑම කෙනෙක්’ සඳහා ගැනෙන්නේ ‘either of ...’ යෙදුම බව. එහිදී ‘දෙන්නාගෙන් එක් කෙනෙක් වත් ... නැහැ’ අර්ථය දෙන ‘not either of ...’ වෙනුවට කලින් ආකාරයට යොදා ගැනෙන්නේ ‘neither of ...’ යන්නයි.

Either of our (two) children can do it. අපේ ළමයි දෙන්නගෙන් ඕනැ කෙනෙකුට ඒක කරන්න පුලුවන්.
Neither of our (two) children can do it. අපේ ළමයි දෙන්නගෙන් එක් කෙනෙකුටවත් ඒක කරන්න බැහැ.

Either of them will come. ඒ දෙන්නගෙන් කව්රු හරි ඒවි.
Neither of them will come. ඒ දෙන්නගෙන් කව්රුවත් එන එකක් නැහැ.

I know neither of those (two) people. මම ඒ දෙන්නගෙන් එක් කෙනෙක් වත් දන්නෙ නැහැ.

***නාම විශේෂණවල (adjectives) හෝ ක්‍රියා විශේෂණවල (adverbs) ‘යම් ගුණයක් වැඩියෙන් ඇති’ බව දැක්වීමට ගන්නා comparative ස්වරූපය සමග,  ප්‍රශ්න හා නැත යන අර්ථයේ ප්‍රකාශවල, ‘අදාළ ගුණය යම් තරමකින් හෝ වැඩි’ යන අර්ථය දීමට ‘any’ පදය භාවිතා වෙනවා. එවැනි ප්‍රකාශයක ‘එම ගූණය කිසි ආකාරයකින් නොවැඩි’ බව වැඩි අවධාරණයකින් කීමට ‘not any’ වෙනුවට ‘no’ යොදා ගැනෙනවා.

Is it any better? – No, it’s no better. ඒක (අනෙකට/අනෙක්වාට වඩා) ටිකක් හරි හොඳද? - නැහැ, කොහෙත්ම නැහැ. (මෙය ‘It isn’t any better.’ යන්නට වඩා වැඩි අවධා‍රණයක් කරනවා.)

He drives no faster than you. එයා කොහෙත්ම ඔයාට වඩා වේගෙන් වාහන එලවන්නේ නැහැ. (මෙය ‘He doesn’t drive any faster than you.’ යන්නට වඩා වැඩි අවධාරණයක් කරනවා.)

***’good’ හා ‘different’ නාම විශේෂණ දෙකේදී නම් ඒවායේ මූලික ස්වරූපය සමගත් ‘no’ පදය මේ ආකාරයට පාවිච්චි කෙරෙනවා.

This pen is no good. මේ පෑන කිසි වැඩක් නැහැ (කිසිම හොඳක් නැහැ).

That man is no different. ඒ මිනිහගෙත් කිසි වෙනසක් නැහැ (එයාත් අනිත් අය වගේමයි).

5. There’s no denying that. (යමක් කෙසේවත් කළ නොහැකි බව දැක්වීමට)

There’s no denying the fact that they work hard. ඒ අය මහන්සි වෙලා වැඩ කරනවා කියන එක කාටවත් නැහැ කියන්න බැහැ.

There’s no telling when he’ll return. එයා කීයට ආපහු එයිද කියන එක කියන්න නම් කොහොමවත් බැහැ.  

(සේයාරුවට ස්තුතිය: striatic)
  

Wednesday, October 20, 2010

The Picture Was Hung, but the Criminal Was Hanged - මොකක්ද මේ වෙනස?

ක්‍රියා පදයක ප්‍රධාන ස්වරූප හතරක් තියන බව අපි දන්නවා එනම් present tense (infinitive), present participle, past tense, past participle. ඒවාගේ භාවිතය ගැන ක්‍රියා පද ගැන ලියවුන ලිපිවල කතා කෙරෙනවා. ඇතැම් ක්‍රියා පදවල මේ past tense හා past participle එවායේ present tense (infinitive) ස්වරූපයට -ed එක් කිරීමෙන් සාදා ගත හැකි වුණත්, අනිත්වායේ ඒවා විවිධ අවිධිමත් ආකාරවලින් හැදෙනා බවත් අපි දන්නවා.

ඇතැම් ක්‍රියා පදවල past tense හෝ past participle ස්වරූප එකකට වඩා තියෙනවා. ‍ඒවායින් සමහරකදී වෙනස් past tense හා past participle ස්වරූප පාවිච්චියට ගැනෙනවා ක්‍රියා පදය යෙදෙන අර්ථය අනුව. මේවා ටිකක් පැටලිලි සහගත විය හැකි නිසා එවැනි උදාහරණ කීපයක් ගැන අවධානය යොමු කරමු.

1. hang – hung/hanged* - hung/hanged

මෙම වදනේ සාමාන්‍ය අර්ථය වන එල්ලනවා, එල්ලෙනවා යන්නෙහිදී past tense හා past participle ලෙස යෙදෙන්නේ hungයන්නයි. එල්ලා මරණවා‍, එල්ලී මැරෙනවා අර්ථවලදී hangedයන්න යොදා ගැනෙනවා. (අවිධිමත් භාවිතයේදී දෙවෙනි අර්ථයේදීත් hung’ යෙදෙනු ඇතැම් විට දකින්න ලැබෙනවා.)

We hung the picture on the wall. අපි පිංතූරය බිත්තියෙ එල්ලුවා.

The picture hung on the wall. පිංතූරය බිත්තියෙ එල්ලලා තිබුනා.

Creepers hung (down) from the tree. වැල් ගහේ එල්ලිලා තිබුනා.

The criminal was sentenced to be hanged. අපරාධකාරයාව එල්ලා මරන්න නියම කෙරුනා.

The man hanged himself. මිනිහා එල්ලිලා මැරුණා.

2. lie – lied/lay* – lied/lain

lieක්‍රියා පදය බොරු කියනවා යන අර්ථයෙන් යෙදෙන විට lie - lied - lied වශයෙනුත්, එයවැතිරෙනවා, වැතිර සිටිනවා අර්ථයෙන් යෙදෙන විට lie - lay – lain වශයෙනුත් වර නැගෙනවා.

You lied to me. ඔයා මට බොරු කිව්වා.

They’ve lied to the police. ඒ ගොල්ලො පොලීසියට බොරු කියලා.

He lay down in bed. එයා ඇ‍‍‍ඳේ හාන්සි උනා (වැතිරුනා).

He’s lain in bed for hours now. එයා දැන් පැය ගාණක ඉඳලා ඇ‍ඳේ හාන්සි වෙලා ඉන්නවා.

ඊට අමතරව layයන ක්‍රියා පදය වර නැගෙන්නේ lay – laid – laid ලෙසයි.

I laid the book on the table. මම පොත මේසෙ උඩ තිබ්බා.  

3. shine – shone/shined* – shone/shined

දිළිසෙනවා, බබළනවා අර්ථවලදී සාමාන්‍යයෙන් යෙදෙන්නේ shoneයන්නයි. සපත්තු පොලිෂ් කරනවා අර්ථයෙන් භාවිතා වෙන්නේ shinedයන්නයි.  

The sun shone soon after it stopped raining. වැස්ස නැවතිලා වැඩි වෙලාවක් යන්න කලින් ඉර බැබළුනා.

He shone his torch[BrE]/flashlight[AmE] on the car. එයා කාරෙකට ‍ටෝච් එක ගැහැව්වා (එල්ලකළා).
(ආලෝක ධාරාවක් එල්ල කරනවා යන මෙම අර්ථයෙන් ඇතැම් විට shinedයෙදීමත් විශේෂයෙන් ඇමරිකානු භාවිතයේ දකින්න ලැබෙනවා.)

They shined(=polished) their shoes very well. ඒ අය එයාලගෙ සපත්තු හොඳට පොලිෂ් කළා.

4. get – got – got/gotten

getහි past participle ලෙස ඇතැම් විට gotමෙන්ම gottenද භාවිතා වෙන්නේ ඇමරිකානු ව්‍යවහාරයේයි. නමුත් එහිදීත් කෙනෙකුට (හෝ දෙයකට) / කෙනෙක් ළඟ (හෝ දෙයක) / කෙනෙක් සතුව (හෝ දෙයක් සතුව) තියනවා හෝ ඉන්නවා අර්ථයෙන් has/have gotයෙදෙන තැන්වල හෝ යමක් කළ යුතුයි අර්ථයෙන් has/have got toයෙදෙන තැන්වල gotවෙනුවට gottenපාවිච්චි කරන්නේ නැහැ. උදාහරණ කීපයකින්ම බලමු.

She’s got rich. / She’s gotten rich.[AmE]  එයා පෝසත් වෙලා.

He’s got off the bus. / He’s gotten off the bus.[AmE] එයා බස් එකෙන් බැහැලා.

They’ve got a house built. / They’ve gotten a house built.[AmE] ඒ අය ගෙයක් හදවගෙන.

They’ve got a new car. ඒ අයට අළුත් කාරෙකක් තියනවා.

They’ve got a new car. / They’ve gotten a new car.[AmE] ඒ අය අළුත් කාරෙකක් අරගෙන (ලබා ගෙන).

She’s got to attend the wedding. එයා මංගල උත්සවයට යන්න ඕනැ (යා යුතුයි).

She’s got to attend the wedding. / We’ve gotten to attend the wedding.[AmE] එයාට මංගල උත්සවය‍ට යන්න පුලුවන් වෙලා.

ඇතැම් සාම්ප්‍රදායික යෙදුම්වල නම් gottenයන්න බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේත් යෙදෙනවා‍.

They’ll never be happy with their ill-gotten wealth. ඒ අයගෙ නරකින් හම්බ කරපු ධනයත් එක්ක ඒ අය කවදාවත් සතුටෙන් ඉන්න එකක් නැහැ.

5. prove – proved – proved/proven

නාම විශේෂණයක් ලෙස බොහෝ විට provenභාවිතා කෙරුනත්, ක්‍රියා පදයේ සාමාන්‍ය past participle ලෙස provedමෙන්ම provenද ගැනෙන්නේ විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේයි.

It’s a proven fact. ඒක ඔප්පු උන කාරනයක්.

The lawyer has proved/proven[AmE] his point. නීතිඥයා එයා කිව්ව දේ ඔප්පු කරලා.

6. fit – fitted/fit* –fitted/fit


ඇමරිකානු ව්‍යවහාරයේ past tense හා past participle ලෙස fittedවෙනුවට ඇතැම් විට fitද යෙදෙනවා. විශාලත්වය ගැලපෙනවා’, විශාලත්වයේ වෙනසක් නොකර යමක් තුළට ඔබ්බනවා වැනි අර්ථවලදී ඇමරිකානුවන් එසේ fit භාවිතා කරනවා. නමුත් ගැලපෙන ලෙස විශාලත්වය වෙනස් කරනවා’, යමකට ගැලපෙන අමතර කොටසක් සපයනවා වැනි අර්ථවලදී ඔවුන්ද යොදා ගන්නේ fittedයන්නයි.

The dress has fitted/fit[AmE] her well. ඇඳුම එයාට ගානට තිබිලා.

He fitted the bulb into the holder. / He fit the bulb into the holder[AmE]. එයා බල්බ් එක හෝල්ඩරයට සවි කළා.


The tailor fitted the shirt to him perfectly. ඇඳුම් මහන්නා කමිසේ හරියටම එයාගේ ගානට ගත්තා (මැහුවා).

The mechanic fitted the car with a new engine. කාර්මික ශිල්පියා කාරෙකට අළුත් ඇන්ජිමක් සවි කළා.

7. dive – dived/dove* – dived

diveහි past tense ලෙස ඇමරිකානු ව්‍යවහාරයේ ඇතැම් විට dove යන්නත් යෙදෙනවා.

The rescuers dived/dove[AmE] into the sea to find the drowned man. ගිලුන මිනිහා හොයන්න බේරා ගන්නන් මූදේ කිමිදුනා.

8. bear bore borne/born

මෙහිදී ‘born’ යනුවෙන් ලියවෙන්නේ ඉපදෙනවා/ඉපදුනා යන අර්ථය ඇති යෙදුමේදී පමණයි. දරුවකු වදනවා ඇතුළු අනෙකුත් සියලු අර්ථවල භාවිතා වෙන්නේ ‘borne’ යන්නයි. මේ නිසා ‘born’ යන්න ‘bear’ ක්‍රියා පදයේ past participle ස්වරුපයක් නොවන වෙනම පදයක් ලෙස සාමාන්‍යයෙන් සැලකෙනවා.

He was born in 1997. එයා ඉපදුනේ 1997 අවුරුද්දේ.

She has borne eight children. එයා ළමයි අට දෙනෙක් බිහි කරලා තියනවා.

The have borne a grudge against us for ages. ඒ අය කාලෙක ඉඳලා අපිත් එක්ක අරෝවක් තියනවා.

All the expenses were borne by the company. සියළු වියදම් සමාගමෙන් දරනු ලැබුවා.

(සේයාරුවට ස්තුතිය: Webb Zahn) 


Related Posts with Thumbnails