Wednesday, January 26, 2011

It Couldn't Be Worse! - අන්තිම නරකයි


ඉංග්‍රීසි භාෂාවේ යම් දෙයක් ගැන තදින් අදහස් ප්‍රකාශ කිරීමේදී යම් යම් රටා යොදා ගැනෙනවා. එයින් කීපයක් ගැන අද අවධානය යොමු කරමු.

It couldn't be worse. (තවත් මෙනවා නරක වෙන්නද?)

මෙම රටාව පාවිච්චි කරන්නේ යම් දෙයක් අන්තිම නරක බව (මීටත් වඩා නරක වීමට ඉඩ අඩු බව - ඇතැම් විට අතිශයෝක්තියෙන්) තමන් සිතනා විටයි.

Last week it rained all the time, the children were sick and the car broke down; it couldn't be worse. ගිය සතියේ දිගටම වැස්සා, ළමයි ලෙඩ උනා, කාරෙක කැඩුනා; අන්තිම නරක සතියක් (තවත් මොනවා වෙන්නද!).

මෙම රටාව හොඳ දෙයක් කීමටත් යොදා ගත හැකියි.

How are things? Couldn't be better. කොහොමද වැඩ කටයුතු? හොඳටම හොඳයි.

She couldn't be happier when she heard the news. ආරංචිය අහලා එයා උපරිමයට සතුටු උනා.

මෙතනදී කියන්න ඕනැ තවත් දෙයක් තමයි මේ "couldn't" පදයේ තියෙන්නේ අතීත අර්ථයක් නොවන බව. "එසේ වීමට ඉඩ තියෙනවා" කියා සිතන අවස්ථාවල "could" පදයත්, "එසේ වීමට ඉඩ අඩුයි" කියා සිතන විට "couldn't" පදයත් යෙදෙන බව අපි "It Could Be in English - විය හැකි හෝ නොහැකි බව" ලිපියේ කතා කළා. ඒ නිසා මෙවැනි ප්‍රකාශ වර්තමාන කාලය සඳහාත් යෙදිය හැකියි.

It's raining, the children are sick and the car has broken down; it couldn't be worse. වහිනවා, ළමයි ලෙඩ වෙලා, කාරෙක කැඩිලා; අන්තිම නරක වෙලාවක් (මේ මොහොත).

මෙවැනි අනුමාන සම්බන්ධව අතීත කාලය සඳහා පමණක් යොදා ගන්නා රටාවක් බලමු. (මෙතනදී අපි එහි "ඇත යන අර්ථය" සලකා බලමු.)

It could have been worse. (ඊටත් වඩා අන්ත වෙන්න තිබුනා.)

මෙයින් අදහස් වෙන්නේ තත්වය මීටත් වඩා නරක වීමට ඉඩ තිබුන බවයි.

You may have had a bad week, but I think it could have been worse. ඔයාට ඔය සතියෙ කරදර ගොඩක් තිබුනා වෙන්න පුලුවන්, ඒත් මම හිතන්නෙ ඊටත් වඩා නරක වෙන්න ඉඩ තිබුනා.

We had too much work yesterday. It could have been worse if one of us had been absent. අපට ඊයෙ කරන්න බැරි තරම් වැඩ තිබුනා. අපේ එක් කෙනෙක් අවෙ නැත්නම් එහෙම ඊටත් අන්ත වෙන්න තිබුනා.

මෙය හොඳ දෙයක් සඳහාත් යොදා ගැනෙනවා.

His exam results are good, but they could have been better (he could have done better). එයාලෙ විභාග ප්‍රතිඵල හොඳයි, ඒත් ඒවා ඊට වඩා හොඳ වෙන්න තිබුනා (එයාට ඊට වඩා හොඳට කරන්න තිබුනා).

තමන් අන්තිම අකමැති දෙයක් දැක්වීම සඳහා යෙදෙන රටාවක් මෙහෙමත් තියනවා.

The last thing I want is to talk to him. (එයා එක්ක කතා කරන්න නම් මම කොහෙත්ම කැමති නැහැ.)

මෙවැනි ප්‍රකාශවලින් කියවෙන්නේ අදාළ දෙයට තමන් ඉතා අකමැති බවයි.

He's the last person they'd consider for this job. මේ රස්සාවට එයාව සලකා බලන්න නම් ඒ අය කොහෙත්ම කැමති වෙන එකක් නැහැ.
To go to Colombo that day was the last thing she wanted. එදා කොළඹ යන්න එයාට කොහෙත්ම කැමැත්තක් තිබුනෙ නැහැ.

The last thing I want is more work. මීටත් වඩා වැඩ කරන්න නම් මම කොහෙත්ම කැමති නැහැ.

යමක බොහෝ අඩුපාඩු ඇති බව - එනම් බලාපොරොත්තු තත්වයට කොහෙත්ම ළඟා නොවන බව - දැක්වීමට පහත රටාව උපයෝගි කර ගන්නවා. 

It leaves much/a lot to be desired. (ඒකෙ අවශ්‍ය දේවලින් ගොඩත් නැහැ.)

The new software version leaves much to be desired. මෘදුකාංගයෙ අළුත් සංස්කරණයෙ අවශ්‍ය දේවලින් ගොඩක් නැහැ.

Her work leaves a lot to be desired. එයාගෙ වැඩවල අඩුපාඩු ගොඩක් තියනවා (අවශ්‍ය තත්වයට වඩා ගොඩක් පහළයි).

මේ රටා ආශ්‍රයෙන් පහත සඳහන් වාක්‍ය ඉංග්‍රීසියට නගන්න. (ප්‍රතිචාර මගින් ඉදිරිපත් කළොත් වැරදි නිවැරදි කිරීමටත් හැකියි.)

1. බඩු මිළ නැගලා, ඒත් මේ අවුරුද්දෙ බෝනස් නවත්වලා; තවත් මොනවා වෙන්නද!

2. මීටත් වඩා නරක වෙන්න තිබුනා රස්සාව නැති උනා නම් එහෙම.

3. අයෙත් පාරක් ඒ අයට කෝල් කරන්න නම් මම කොහෙත්ම කැමති නැහැ.

4. තවත් සෙනග එනවට නම් ඒ අය කොහෙත්ම කැමති නැහැ.

6. මේ වර්තාවෙ ඕනැ කරන දේවල් ගොඩක් නැහැ.

(සේයාරුවට ස්තුතිය: annais)


Related Posts with Thumbnails