Sunday, October 17, 2010

What’s on Your Mind? - ප්‍රශ්නයක්ද?


ඉංග්‍රීසි භාෂාවෙ idioms - ඒ කියන්නෙ අන්තර්ගත වචනවල සාමාන්‍ය අර්ථයට වෙනස් දෙයක් අදහස් කරන හෝ සාමාන්‍ය රටාවලින් පිට පනින යෙදුම් - බහුලව තියනවා. මේවා නිසා භාෂාවක අලංකාරය, රසවත්බව වැඩි වුණාට, භාෂාව ඉගෙන ගන්න අයට නම් ඒවා තරමක් ගැටළු සහගත වෙනවා. ඉංග්‍රීසි idioms පිළිබඳව ඉල්ලීමකුත් ඉදිරිපත් වුණ නිසා ඒ ගැන යමක් සඳහන් කරන්න හිතුවා.

ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයේ මූලික පියවරවලින් ඔබ්බට යන විට භාෂාව ස්වාභාවික ලෙස භාවිතා කිරීම සඳහා මෙවැනි යෙදුම් අත්‍යවශ්‍ය වෙනවා.  ඒවායින් සමහරක් නම් භාෂාව ඉගෙනීමේදි  ඉබේටම වාගේ අපට හුරු වෙනවා. දැනටමත් ඉදිරිපත් කරලා තියන ඇතැම් ලිපිවලත් මෙවැනි ඇතැම් දේ අපි සලකා බලලා තියනවා. උදාහරණ වශයෙන් You Idiot! ඉංග්‍රීසියෙන් බනිමුද?, “When You’re Up Against the Wall - ඉනිමගක් ඕනැ වෙයිද?, “I Kind of Like Computers - කම්පියුටර් වර්ගයකටද කැමති?, “Is It Terrible or Terrific? - කෝකත් එකද?, “Look Out! - බලාගෙනයි!, “Ever Lost Face? - එහෙම වෙන්නෙ කොහොමද?, “Taken for a Ride? How Nice! - රවුමක් ගියා නම් කොච්චර හොඳද! වැනි ලිපිවල මේ ආකාරයේ යෙදුම් සාකච්ඡා කෙරුනා.

මේවාගේ අරුත් සමහර අවස්ථාවල නම් අනුමාන කළ හැකි වුණත් එසේ කළ නොහැකි තැනුත් කොතෙකුත් තියනවා.  උදාහරණයක් වශයෙන්

It’ll hit him where it hurts. ඒක එයාට රිදෙන තැනකට වදියි (ඒක එයාට හොඳට වදියි, එයා සංවේදී කාරණයක් නිසා හොඳට හිත පෑරේවි).‍

ප්‍රකාශයෙ තේරුම උපකල්පනය කළ හැකි වුණත්,

They hit it off immediately. ඒ අය ක්ෂණිකව එකිනෙකා එක්ක යාළු වුණා (ටක් ගාලා ෆිට් උනා).

ප්‍රකාශයේ එසේ කිරීම තරමක් අපහසුයි.

තවත් දෙයක් තමයි එකම වචන සම්බන්ධ වුණත් සුළු වෙනසක් නිසා අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි බව.

Do you have something in mind? ඔයාගෙ හිතේ මොකක් හරි අදහසක් තියනවද?

Do you have something on your mind? ඔයාගෙ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවද?

We were kicking our heels, waiting for them. අපි ඒ අය එනකම් කරන්න දෙයක් නැතුව ඔහේ හිටියා.

We kicked up our heels after the exam. විභාගෙට පස්සෙ අපි හොඳ ‍ජොලියක් දැම්මා‍.

මෙවැනි ඇතැම් යෙදුම් පාවිච්චි කරන හා නොකරන අවස්ථා තියන බවත් තේරුම් ගත යුතුයි. උදාහරණ වශයෙන් ඉහත hit it off’, ‘kick one’s heels’, ‘kick up one’s heels’ වැනි ඒවා යෙදෙන්නේ අවිධිමත් භාවිතයේයි. ඒ නිසා එවැන්නක් විධිමත් ලියවිල්ලක හෝ කථනයක යොදා ගැනීම සුදුසු නැහැ.

ඒ වගේම මේ ආකාරයේ ඇතැම් යෙදුම් හමු වෙන්නේ ඇතැම් අයගේ භාවිතයේ පමණක් බවත් මතක තබා ගත යුතුයි. ඉහත kick one’s heels’ බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ එන්නක් වෙන අතර kick up one’s heels’ බොහෝ විට හමු වෙන්නේ ඇමරිකානු ව්‍යවහාරයේයි. එකම යෙදුම පාවිච්චි වෙන ප්‍රදේශය අනුව තරමක් වෙනස් ස්වරූප ගන්නත් පුලුවන්.

We have to find out more about the (lie of the land)[බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව...]/(lay of the land)[ඇමරිකාව, කැනඩාව...] before making a decision. තීරණයක් ගන්න කලින් අපි පවතින තත්වය ගැන තව හොයා ගන්න ඕනැ.

සැලකිල්ලට ගන්න ඕනැ තවත් වැදගත් දෙයක් තමයි මේ ආකාරයේ ඇතැම් යෙදුම් කාලෙකට පස්සෙ භාවිතයෙන් ඈත් වෙන බව. උදාහරණයක් ලෙස නීති රීති නොතකා වැරදි ලෙස හැසිරෙනවා අර්ථය ඇති kick over the traces’ යෙදුම වර්තමාන ව්‍යවහාරයේ යෙදෙන්නේ කලාතුරකින්.

ඉතින් මේ ආකාරයේ යෙදුමක් හමු වුණාම ඒකෙ තේරුම හා යෙදෙන ආකාරය හොයා ගන්නෙ කොහොමද? මේ සඳහා‍ මාර්ග කීපයක් තියනවා:

එකක් තමයි advanced learners සඳහා ලියවුණ හොඳ ශබ්දකෝෂයක අළුත් සංස්කරණයක් පාවිච්චි කිරීම. බහුලව ව්‍යවහාර වෙන යෙදුම් බොහොමයක් මේ වර්ගයේ ශබ්දකෝෂවල සොයා ගත හැකි අතර ඒවා භාවිතා වෙන්නේ කුමන ව්‍යවහාර මට්ටමකද යන්නත් දැක්වෙනවා. (ශබ්දකෝෂයකින් තොැතුරු නිවැරදිව ලබා ගැනීම පිළිබඳව How to Use a Dictionary - පද පෙරළි ලිපිය බලන්න.) 

තවත් ක්‍රමයක් තමයි අන්තර්ජාලයේ ඇති පහසුකම් ප්‍රයෝජනය‍ට ගැනීම. මෙතනදී යොදා ගත හැකි අඩවි කීපයක් සලකා බලමු.

1. The Free Dictionary වෙබ් අඩවියේ අදාළ යෙදුම ඇතුල් කිරීමෙන්‍ බොහෝ විට එහි අර්ථය හා උදාහරණ ලබා ගත හැකියි. එසේ නැති නම් යෙදුමේ ප්‍රධාන වචනයක් වෙබ් අඩවියේ ඇතුල් කර, එවිට ලැබෙන පිටුවේ ඉහළ කොටසේ ඇති idioms’ සබැඳිය මත කෙටීමෙන් එම වදන අන්තර්ගත විශේෂ යෙදුම් වෙත පිවිසිය හැකියි. මෙහි යෙදුම භා‍විතයේ යෙදෙන්නේ කුමන මට්ටමේ ව්‍යවහාරයේද යන්නත් තරමක් දුරට හෝ දැක්වෙනවා.

2. Your Dictionary හි අදාළ යෙදුම හෝ එහි ප්‍රධාන වචනයක් ඇතුල් කිරීමෙන් එහි අර්ථය හා උදාහරණ ලබා ගත හැකියි. මෙහිත් යෙදුම භා‍විතයේ යෙදෙන්නේ කුමන මට්ටමේ ව්‍යවහාරයේද යන්න තරමක් දුරට දැක්වෙනවා.

3. අදාළ යෙදුම සම්මත ව්‍යවහාරයට (තවම) එක් නොවූවක් නම් එය සෙවීමට Urban Dictionary ප්‍රයෝජනයට ගත හැකියි. මෙහි ඇති ඇතැම් යෙදුම් ඉතා ග්‍රාම්‍ය හෝ අසභ්‍ය ඒවා විය හැකියි. ව්‍යවහාර මට්ටම සඳහන් වීම මෙම අඩවියේ අඩු නිසා මෙහි එන යෙදුම් පාවිච්චියට ගැනීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුයි.

මීට අමතරව අන්තර්ජාලයේ ඇති අනෙකුත් බොහෝ ශබ්දකෝෂ වෙබ් අඩවිවලත් (dictionary websites) යම් වචනයක් ඇතුල් කළ විට එම වචනයේ අර්ථවලට අමතරව ඊට අදාළ යෙදුම්වල අර්ථද ලබා දෙනවා.

4. Longman Dictionary of Contemporary English

(සේයාරුවට ස්තුතිය: journeyscoffee

Tuesday, October 12, 2010

How Do You Say ‘Hello’? කොහොමද කියන්නේ?



ඉංග්‍රීසි භාෂාවෙ තියන අපට තරමක් නුහුරු දෙයක් තමයි මාත්‍රා (syllables) දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති වචනවල එක් මාත්‍රාවක් අනෙක්වාට වඩා බර කර කීම (stress). මෙතනදී බර කර කීම යන්නෙන් අදහස් කරන්නේ එම මාත්‍රාවේ හඬ, දිග හා හ‍ඬේ තීව්‍රතාවය අනික්වාට වඩා වැඩි කිරීමයි.

මෙවැන්නක් අපි සිංහල භාෂාවේදී කරන්නේ යමක් හුවා ‍‍දැක්වී‍මේදී හෝ ප්‍රශ්නයක් ඇසීමේදී වැනි අවස්ථාවකදී වුණත්, ඉංග්‍රීසියේ මෙය බහු-මාත්‍රා වචනවල සාමාන්‍ය ගුණයක් ලෙස පවතිනවා. (මීට අමතරව යමක් හුවා දැක්වීමේදී හා ප්‍රශ්න ඇසීමේදී වැනි තැන්වල ඊට අවශ්‍ය පද බර කර කීම ඉංග්‍රීසියේත් තියනවා.)

සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ඉංග්‍රීසි උච්චාරණය අනෙකුත් ආසියාතිකයන්ට සාපේක්ෂව හොඳ තත්වයක පැවතියත්, ඇතැම් විට ‍වචනවල වැරදි මාත්‍රාව stress’ කිරීම නිසා විදේශිකයන්ට අපේ අය කියන දේ තේරුම් ගැනීමේ අපහසුතා ඇති වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි අධ්‍යයනයේදී මේ ගැනත් යම් අවධානයක් යොමු කිරීම අවශ්‍ය වෙනවා.

අනිත් භාෂාවල වගේම ඉංග්‍රීසියෙත් තනි-මාත්‍රා (monosyllabic) වචන හා බහු-මාත්‍රා (polysyllabic) වචන තියන බව අපි දන්නවා. yes’, ‘no’, ‘but’, ‘put’, ‘when’ වැනි තනි-මාත්‍රාවේ වචනවලදී stress කිරීම ගැන ගැටළුවක් මතු වෙන්නේ නැහැ. නමුත් අපි මාත්‍රා දෙකක් ඇති වචනයක් ගත්තොත් තත්වය වෙනස්.

උදාහරණයක් වශයෙන් helloයන වචනයේ මාත්‍රා දෙකක් තියනවා. (වචනය මත කෙටීමෙන් ඊට අදාළ TheFreeDictionary’ වෙබ් පිටුවට පිවිස එහි බ්‍රිතාන්‍ය හා ඇමරිකානු උච්චාරණයට සවන් දිය හැකියි.) පළමුවැන්න ඇතැමුන් /hɛ/ ලෙසත්, ඇතැමුන් /hə/ලෙසත් උසුරුවන ශබ්දය. දෙවැන්න බ්‍රිතාන්‍ය උච්චාරණයේ /ləʊ/ ‍ලෙසත්, ඇමරිකානු උච්චාරණයේ /loʊ/ ලෙසත් ගැනෙන ශබ්දය. මෙම වචනයේදී මෙයින් දෙවැන්න වඩා බර කර කීම බොහෝ විය කෙරෙනවා.

[BrE] /hɛˈləʊ/, /həˈləʊ/   -   [AmE] /hɛˈloʊ /, /həˈloʊ/

නමුත් මීට කිට්ටු ශබ්දයක් ඇති hollowවචනයේදී stress කිරීම එසේ නොවෙයි. එහිදී බර කෙරෙන්නේ පළමු මාත්‍රාවයි.

[BrE] /ˈhɒləʊ/   -   [AmE] /ˈhɒloʊ/

වචන සබඳා ඇති TheFreeDictionary’ හාCambridge Dictionaries Onlineවෙබ් පිටුවල එම වචනවල උච්චාරණයට සවන් දීමේදී හඬ හැසිරවීමේ වෙනස පැහැදිලිව ඇසිය හැකියි. ශබ්දකෝෂවල හඩ දැක්වීම‍ට බොහෝ විට යොදා‍ ගන්නා (මෙහිද යොදා ඇති) IPA සංකේතවලදී බර කෙරෙන මාත්‍රාවට පෙර ˈ සලකුණ යෙදෙනවා.

වචනයක ඇති මාත්‍රා ගණන සොයා ගැනීමට පහසුම ක්‍රමය එහි ඇති ස්වර ශබ්ද ගණන් කිරීමයි. ඇතැම් ඉංග්‍රීසි වචනවල සමහරක් ස්වරාක්ෂර (a, e, i, o, u) උච්චාරණය නො‍වන නිසා මෙහිදී ගණන් ගැනෙන්නේ ස්වර ශබ්ද සංඛ්‍යාව මිස ස්වරාක්ෂර ගණන නොවේ.

උදාහරණයක් වශයෙන් wicked /ˈwɪkɪd/ හා mates /meɪts/ යන වචන දෙකේම ස්වරාක්ෂර දෙක බැගින් තිබුනත්, mates හි e අකුර ශබ්ද නොවන නිසා එහි ඇත්තේ එක් ස්වර ශබ්දයක් හා එක් මාත්‍රාවක් පමණයි. නමුත් wicked හි ස්වරාක්ෂර දෙකම ශබ්ද වන නිසා එහි මාත්‍රා දෙකක් තිබෙනවා.    

මීට අමතරව මාත්‍රා දෙකට වැඩි ගණනක් ඇති වචනත් තියනවා. මෙවැනි මාත්‍රා තුනක් හෝ වැඩි ගණනක් ඇති වචනවල මූලිකව බර කර කියවෙන මාත්‍රාවට අමතරව ද්විතීයික වශයෙන් බර කෙරෙන මාත්‍රාවකුත් තිබිය හැකියි. මෙය IPA සංකේතවල ˌ සලකුණෙන් දැක්වෙනවා.

imitate /ˈɪmɪˌteɪt/

imitation /ˌɪmɪˈteɪʃən/

scientific /ˌsaɪənˈtɪfɪk/

ඉහත imitate’ හා imitation’ වචන දෙකේ මෙන්, එක හා සම්බන්ධ වචනවලත් ස්වරූපය වෙනස් වන විට බර කෙරෙන මාත්‍රාව වෙනස් විය හැකියි.

photography /fəˈtɒgrəfi/

photographer /fəˈtɒgrəfə(r)/

photograph [BrE] /ˈfəʊtəˌgrɑːf/, [AmE] / ˈfoʊtəˌgræf/                          

photographic [BrE] /ˌfəʊtəˈgræfɪk/, [AmE] /ˌfoʊtəˈgræfɪk/

ඇතැම් වචනවලදී, එම වචනයම ක්‍රියා පදයක් (verb) ලෙස යෙදෙන විට එක් මාත්‍රාවකුත්, නාම පදයක් (noun) ලෙස යෙදෙන විට වෙනත් මාත්‍රාවකුත් බර කෙරෙනවා.

record (v.)  [BrE] /rɪˈkɔːd/, [AmE] /rɪˈkɔrd/
             (n.) [BrE] /ˈrɛkɔːd/, [AmE] /ˈrɛkərd/

import (v.) [BrE] /ɪmˈpɔːt/, [AmE] /ɪmˈpɔrt/
              (n.) [BrE] /ˈɪmpɔːt/, [AmE] /ˈɪmpɔrt/

වෙනත් ඇතැම් වචනවල ක්‍රියා පද හා නාම පද අතර එවැනි වෙනසක් නැහැ.

report (v. & n.) [BrE] /rɪˈpɔːt/, [AmE] /rɪˈpɔrt/

control (v. & n.) [BrE] /kənˈtrəʊl/, [AmE] /kənˈtroʊl/

තවත් ඇතැම් වචන යෙදෙන අර්ථය අනුව එම වචනයේ බර කර කියන මාත්‍රාව වෙනස් වෙනවා.

content (n.) /ˈkɒntɛnt/ අඩංගුව තිබෙන දේ
 (adj., v., n.) /kənˈtɛnt/ සතුටට/සෑහීමට පත්, සතුටට/සෑහීමට පත් කරනවා, සතුටට/සෑහීමට පත්වූ හැඟීම

පහත ඇති එකිනෙකට සම්බන්ධ වචනවල උච්චාරණයේ වෙනසත් බලන්න.

combine (v.) /kəmˈbaɪn/
               (n.) /ˈkɒmbaɪn/

combination /ˌkɒmbɪˈneɪʃən/

අවධාරණය කෙරෙන මාත්‍රා සම්බන්ධයෙන් අන්තර්ජාතික උච්චාරණය හා ශ්‍රී ලාංකාවේ ඇතැම් අයගේ උච්චාරණය අතර වෙනස්කම් ඇති වචන සමූහයක් Water or Voter? - අපේ කඩු උසුරුව ලිපියේ අවසාන කොටසේ දැක්වෙනවා.

ඉංග්‍රීසි උච්චාරණයේ මෙම ලක්ෂණය ගැන වීඩියෝ පාඩමක් ඇමරිකානු ජාතික ඉංග්‍රීසි භාෂා ගුරුතුමියක් වන Jennifer Lebedev විසින් YouTube හි ඇතුළත් කර තිබෙනවා. එය නැරඹීම මගින් මේ පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලැබේවි (Author: Jennifer Lebedev / Source: www.youtube.com/jenniferesl).



මෙහි දෙවෙනි කොටසේ තවත් ඇතැම් පදවල උච්චාරණය දැක්වෙනවා.
(මීට තවත් කොටස් දෙකක් ඇතත් අනිත්වායේ අන්තර්ගත වන්නේ ඇතැම් ඇමරිකානු ජනපදවල හා ප්‍රධාන නගරවල නම් උච්චාරණය කෙරෙන ආකාරය පමණයි. )




අවධානය යොමු කළ යුතු තවත් දෙයක් තමයි ඉංග්‍රීසියේ වාක්‍යයක සියළුම වචන එක සේ බර නොකෙරෙන බව. අර්ථය දක්වන ප්‍රධාන වචන (එනම් content words ගණයට වැටෙන nouns, verbs, adjectives, adverbs, question words ආදිය) තරම් අර්ථය දැක්වීමට උපකාරී වන අනෙකුත් වචන (එනම් function words ගණයට වැටෙන articles, pronouns, short prepositions, auxiliary verbs ආදිය) සමස්තයක් වශයෙන් stress වෙන්නේ නැහැ. ඒ content words අතරත් අර්ථයට වැදගත් වෙන ආකාරයට stress මට්ටමේ වෙනස්කම් ඇති වෙනවා. පහත ඇති වීඩියෝවේ මෙය පැහැදිලි කෙරෙනවා.


මීට අමතරව වාක්‍යයක් තුළ හඬ රටාව ඉහළ පහළ යන ආකාරයත් (intonation) අදහස් ප්‍රකාශ කිරීමේදී වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා.

ප්‍රකාශයක හෝ විධානයක අවසානයේ හඬ පහළ යාම සිදු වෙනවා.

They are ()here. ඒ අය මෙහෙ.

Come ()in. එන්න ඇතුළට.

ඔව් හෝ නැහැ උත්තරයක් බලාපොරොත්තු වන ප්‍රශ්නයකදී අවසානයේ හඬ ඉහළ යනවා; යම් කරුණක් දැනගැනීමට අසන ප්‍රශ්නයක, එනම් what’, ‘when’, ‘how’ වැනි වචනයක් අඩංගු ප්‍රශ්නයක, හඬ ඉහළ යන්නේ එම වචනයේදී වන අතර අවසානයේදී හඬ පහළ යනවා; යම් දෙයක්ද එසේ නැත්නම් අනෙකද අසන ප්‍රශ්නවල මුල් දෙයෙහිදී හඬ ඉහළ ගොස් අනෙකේදී පහළ යනවා.

Are they ()here? ඒ අය මෙහේද?

()What are they ()doing? මොනවද ඒ අය කරන්නෙ?

Are they ()laughing or ()crying? ඒ අය හිනා වෙනවද, අඬනවද?

එකිනෙකට සම්බන්ධ තවත් දේ පසුව එන බව දැක්වීමට අවශ්‍ය තැන්වල, එක් දෙයකට පමණක් අදාළ බව දැක්විය යුතු තැන්වල ආදියේත් හඬ ඉහළ යනවා.

We have a ()bicycle, a ()car and a ()tractor. අපට බයිසිකලේකුයි, කාරෙකකුයි, ට්‍රැක්ටරෙකුයි තියනවා.

Well, their ()office is ()nice. ඒ ගොල්ලන්ගේ ඔෆිස් එක නම් හොඳයි.

දෙගිඩියාව හෝ අසම්පූර්ණබව, වෙනසක් දැක්වීම වැනි දේ සඳහා හඬ පහළ ගොස් ඉහළ යාම යොදා ගන්නවා.

I’m (➘➚)tired. (But maybe I’ll come with you.) මට මහන්සියි (තමයි). (ඒත් මම ඔයා/ඔයාල එක්ක එන්න බලන්නම්.)

The ()first speech was ()good. (But the others were bad.) පළවෙනි කතාව හොඳයි (නම්) තමයි. (ඒත් අනිත් ඒවා වැඩක් නැහැ.)
 
ප්‍රශ්නයක හෝ ඉල්ලීමක යම් කොටසක හඬ පහළ ගොස් ඉහළ යාම එයට උනන්දුව සහිත මිත්‍රශීලී බවක් එක් කරනවා.

()Come ()in. එන්න(කො) ඇතුළට.

Is this ()your ()computer? මේ ඔයාගෙ කම්පියුටර් එකද (0ආ)?
 
Would you like some (➘)(➚)tea? තේ ටිකක් එහෙම බොමුද?

පහත ඇති වීඩියෝවේ සහ ඊට සබැඳි අනෙකුත් කොටස් තුනේ මේ ගැන විස්තර කෙරෙනවා.

(සේයාරුවට ස්තුතිය: loosepunctuation

  
Related Posts with Thumbnails