Tuesday, August 14, 2012

Things to Be Done - කරන්න ඇති දේ

කරන්න වැඩ ගොඩක් තියනවා.
ලියන්න ලියුම් හතරක් තියනවා.

යම් ක්‍රියාවකට ලක් කළ යුතු දෙයක්/කෙනෙක් සම්බන්ධ මෙවැනි වාක්‍ය අපට එදිනෙදා ජීවිතයේ නිතර අවශ්‍ය වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් මේවා ඉංග්‍රීසියෙන් කියන්න, ලියන්නත් දැන ගන්න වෙනවා. ඉතින් මෙතනින් එහාට කියවන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද මේ ප්‍රකාශ ඉංග්‍රීසියට නගන්නේ කියලා.

හොඳයි එහෙනම් දැන් බලමු ඒ හිතපු විදිහ නිවැරදිද කියලා. මේවගේ දෙයක් දෙආකාරයකින් කියන්න පුළුවන්.

There is a lot of work to do.
/  There is a lot of work to be done.

There are four letters to write.
/ There are four letters to be written.

මෙයින් පළමු රටාවේ active voice ස්වරූපය ගන්නා ක්‍රියාවක් යෙදෙන විට, දෙවැන්නේ passive voice ස්වරූපයේ ක්‍රියාවක් යෙදී තිබෙනවා. (කතෘ කාරක හා කර්ම කාරක ලෙස සිංහලෙන් හැඳින්වෙන මේ active voice” හා passive voice” ගැන නැවත මතක කර ගැනීමට Made in Sri Lanka - හැදුවෙ කව්රු වුණාම මොකද! ලිපිය බලන්න.) මෙම ප්‍රකාශවල කියාවකට භාජනය වන දෙයක් ගැන සඳහන් වෙතත්, අර්ථයේ වෙනසක් නැතිව මෙහිදී මෙම රටා දෙකම භාවිතා කළ හැකියි.

***නමුත් හැම විටම මෙය මෙසේ නොවෙයි. ක්‍රියාව කරන්නා ගැන වැඩි අවධානයක් යොමු කරන අවස්ථාවල නම් බොහෝ විට ගැනෙන්නේ පළමු රටාවයි. එසේ නොමැතිව ක්‍රියාව හෝ ක්‍රියාවට ලක් වෙන දෙය/කෙනා ඉස්මතු කර දක්වන තැන්වල බොහෝ විට දෙවෙනි රටාව යෙදෙනවා.

I have a lot of work to do.
අපට  කරන්න වැඩ ගොඩක් තියනවා.

She has four letters to write.
එයාට  ලියන්න ලියුම් හතරක් තියනවා.

You have several people to contact.
ඔයා කතා කළ යුතු කීප දෙනෙක් ඉන්නවා.

Books to read
කියවීමට පොත් (ඔබට, මට, අපට හෝ වෙනත් කෙනෙකුට කියවීම සඳහා)

Books to be read
කියවිය යුතු පොත් (කියවිය යුතු බව හුවා දැක්වීමට)

She put all the bills to be paid in one file.
ගෙවන්න තියන බිල් ඔක්කොම එයා එක ෆයිල් එකකට දැම්මා..

We have to do something about the words to be learned.
ඉගෙන ගන්න තියන වචන ගැන අපි යමක් කරන්න ඕන.

The patients to be tested are in the other room.
පරීක්ෂණයට ලක් කළ යුතු ලෙඩ්ඩු ඉන්නේ අනිත් කාමරේ.

***මේ අනුව ක්‍රියාවට ලක් වෙන දෙය/කෙනා හා ක්‍රියාව අතර be” ක්‍රියා රුපයක් (එනම් is, are, am, was, were...) ඇති පහත ආකාරයේ රටාවලත් ගැනෙන්නේ දෙවෙනි ස්වරූපයයි.

These letters are to be rewritten.
මේ  ලියුම් නැවත ලිවිය යුතුයි.

Those clothes are to be washed.
ඒ ඇඳුම හෝදන්න තියෙන්නේ.

All his friends are to be invited.
එයාගේ යාළුවෝ ඔක්කොටම ආරාධනා කරන්නයි ඉන්නේ.

***මීට විරුද්ධව blame” ක්‍රියා පදය මෙම රටාවේදීත් පළමු ස්වරූපය ගන්නවා. (එය සම්ප්‍රදායික ලෙස (idiomatically) එම අර්ථයෙන් එසේ යෙදෙනවා.)

My brother is to blame for this mess.
මේ අවුලට දොස් කියන්න ඕන මගේ මල්ලිට/අයියාට.

***නමුත් වෙනත් ක්‍රියා පද සමග නම් මේ පළමු ස්වරූපය ඇති රටාව දක්වන්නේ කතෘ කාරක අදහසක්.

My boss is to go abroad tomorrow.
මගේ ලොක්කා හෙට රට යන්න ඉන්නේ (රට යන්න නියමිතයි).

We have to practise[BrE]/practice[AmE] more if we are to win this match.
අපි මේ මැච් ඒක දිනන්න නම් අපට මීට වඩා ප්‍රැක්ටිස් කරන්න වෙනවා.

Would you sell me your car if I were to offer you a good price?
මම හොඳ ගානක් දෙනවා කිව්වොත් එහෙම ඔයා මට ඔයාගේ කාර් ඒක විකුණනවද?

(ඉහත “if” සහිත වාක්‍ය ගැන වැඩි විස්තර සඳහා If You Went to the Moon… - ‘if’සහිත වැකි ගැන ලිපිය බලන්න.)

***පළමු හා දෙවන ස්වරූප යෙදෙන පහත රටාත් බලන්න.

She likes to wake up early.
එයා කලින් (උදෙන්) ඇහැරෙන්න කැමතියි.

She likes to be woken up early.
එයා කැමතියි එයාව කලින් (උදෙන්) ඇහැරවනවට.

It’s time for you to introduce others.
ඔයාට අනිත් අයව හඳුන්වලා දෙන්න වෙලාව හරි.

It’s time for you to be introduced to others.
ඔයාව අනිත් අයට හඳුන්වලා දෙන්න වෙලාව හරි.

We went there to see the documents.
අපි එහේ ගියේ ලියකියවිලි බලන්න.

We went there to be shown the documents.*
අපි එහේ ගියේ (ඒ අයට) ලියකියවිලි අපට පෙන්නන්න පුළුවන් වෙන්න.

All they want is to go home.
ඒ අයට ඕනැ එකම දේ ගෙදර යන්න.

All they want to is to be taken home.
ඒ අයට ඕනැ එකම දේ කවුරුහරි ඒ අයව ගෙදර එක්ක යන්න.

She was the first to apply.
එයා තමයි මුලින්ම අයදුම් කළේ.

She was the last to be interviewed.
එයාව තමයි අන්තිමට ඉන්ටවිව් කළේ.

It’s their wish to leave immediately.
ඒ අයගේ කැමැත්ත තියෙන්නේ දැන්මම යන්න.

It’s their wish to be left alone.
ඒ අයගේ කැමැත්ත තියෙන්නේ අනිත් අය ඒ අයට තනියම ඉන්න දෙනවට.

*මෙවැනි තැනක වාක්‍ය ඛණ්ඩ දෙකම active voice ලෙස යොදනවා නම්, ක්‍රියා දෙක දෙදෙනෙක් කරන නිසා මෙය පහත ආකාරයකට යොදන්න වෙනවා. (මෙම රටාව මෙහිදී passive voice සමගද යොදා ගත හැකියි. එමෙන්ම, එකම කෙනා එක් ක්‍රියාවක් අනිත් ක්‍රියාව සඳහා කරන අවස්ථාවලත් ඇතැම් විට මෙම රටාව යොදා ගන්නවා.)

We went there so that they could show us the documents. / We went there so they could show us the documents. [අවිධිමත්]
අපි එහේ ගියේ ඒ අයට ලියකියවිලි අපට පෙන්නන්න පුළුවන් වෙන්න.

We went there so that the documents could be shown to us. / We went there so the documents could be shown to us. [අවිධිමත්]
අපි එහේ ගියේ (ඒ අයට) ලියකියවිලි අපට පෙන්නන්න පුළුවන් වෙන්න. 

“so (that)සමග අනාගත අර්ථයෙන් ඇතැම් විට වර්තමාන කාල ක්‍රියා දකින්න ලැබෙනවා. 

You should send it now so (that) he will get / gets it by Friday. එයාට ඒක සිකුරාදා වෙනකොට ලැබෙන්න ඔයා ඒක දැන් යවන්න ඕනැ.

විධිමත් භාවිතයේ මේ සඳහා “in order that” ද යොදා ගැනෙනවා.

You should send it now in order that he will get/gets it by Friday. [විධිමත්] එයාට ඒක සිකුරාදා වෙනකොට ලැබෙන්න ඔයා ඒක දැන් යවන්න ඕනැ.

***එමෙන්ම nothing” පදය සම්බන්ධ පහත රටාවල මෙම ස්වරූප අතර අර්ථයේ වෙනසක් දැකිය හැකි වෙනවා.

There was nothing to do; it was a boring weekend.
(ඔබට, මට, අපට හෝ වෙනත් කෙනෙකුට) කරන්න  කිසි දෙයක් තිබුනේ නැහැ, ඒක නීරස සති අන්තයක්.

There was nothing to be done; we had to pay the fine.
වෙන කරන්න (කළ හැකි) දෙයක් තිබුනේ නැහැ, අපට දඩය ගෙවන්න වුණා.

***පළමු රටාවම යෙදෙන පහත වාක්‍යවල වෙනසත් බලන්න.

There was nobody to write. ලියන්න (හැකි හෝ කැමති) කෙනෙක් හිටියේ නැහැ.

There was nothing to write. (ඔබට, මට, අපට හෝ වෙනත් කෙනෙකුට) ලියන්න දෙයක් තිබුනේ නැහැ.

***ක්‍රියාවකට බඳුන් වෙන දෙයක/කෙනෙක්ගේ එම ක්‍රියාවට සම්බන්ධ වූ ගුණයක් දැක්වෙන පහත සඳහන් ආකාරයේ වාක්‍යවල හැමවිටම යෙදෙන්නේ පළමු ස්වරූපයයි. (මෙම රටාවල එම අදාළ ගුණය දැක්වීමට easy”, “difficult”, “hard”, “interesting”, “impossible” වැනි පද භාවිතා වෙනවා.)

This lesson is easy to understand.
මේ පාඩම තේරුම් ගන්න ලේසියි.

This lesson is difficult
/hard to understand.
මේ පාඩම තේරුම් ගන්න අමාරුයි.

This lesson is impossible to understand.
මේ පාඩම තේරුම් ගන්න බැහැ.

That book is interesting to read.
ඒ පොත කියවන එක රසවත්.

What she said was hard to believe.
එයා කියපු දේ විශ්වාස කරන්න අමාරුයි.

That guy isn’t so easy to please.
ඒ මිනිහව සතුටු කරන්න එච්චර ලේසි නැහැ.

That type of friend is hard to find.
ඒ වගේ යාළුවෙක් හොයා ගන්න අමාරුයි.

***ඉහත ඇතැම් ප්‍රකාශ පහත ආකාරයද ගත හැකියි.

It’s a difficult lesson to understand.
ඒක තේරුම් ගන්න අමාරු පාඩමක්.

It’s an interesting book to read. 
ඒක කියවන්න රසවත් පොතක්.

***යම් වැඩක් සඳහා යොදා ගැනීමට යන අර්ථයෙන් යෙදිය හැක්කේත් එක් රටාවයි.

They have nothing to talk about.
ඒ අයට කතා කරන්න දෙයක් නැහැ.

I need a file to put my documents in.
මට මගේ ලියකියවිලි දාන්න ෆයිල් එකක් ඕනැ.

We don’t have a knife to cut bread (with).
අපට පාන් කපන්න පිහියක් නැහැ.
(Image credit: heliosphan)

Friday, August 3, 2012

Did It Happen Finallly, at Last, in the End or Eventually? - ඉවරයක්‌ වෙලාද?


අපි සමහර දේවල නිමක් දකින්න බලාගෙන ඉන්නවා; ඒ සාමාන්‍යයෙන් අපි අකමැති දේ. තවත් වෙලාවල කරදර තිබුනත් අවසානයේ හොඳක් වෙයි කියලා අපි හිතනවා. දිගින් දිගට ඉදිරියට යන ජීවිතයක් මිසක්, ස්ථිර අවසනක් අපට හමු නොවුණත්, මේ ආකාරයෙන් අවසානයන් බලාපොරොත්තු වීම මනුෂ්‍ය ස්වභාවය; හරියට ඉස්කෝලේ යන ළමයි මේ දවස්වල වාර අවසානය බලන් ඉන්නවා වගේ.

ඉතින් මේ අවසානයේ සිදු වෙන දේ  ගැන කතා කරන්න ඉංග්‍රීසි භාෂාවේ ක්‍රම කීපයක් තියනවා. හැබැයි ඒ ඔක්කොම එකම අර්ථයෙන් නෙමෙයි. මේ ගැන ටිකක් විමසලා බලමු.

(1) finally
  • අනුපිළිවෙලින් කෙරෙන දේවල අවසාන අංගය සඳහා මෙය ගැනෙනවා.
First (Firstly) you boil water; second (secondly) you pour it over the tea leaves;...  finally you drink your tea.
මුලින්ම වතුර උණු කරනවා; දෙවෙනියට තේ කොළ එකට ඒ වතුර දානවා;... ;අන්තිමට තේ බොනවා.
("firstly", "secondly" ආදී වශයෙන් යෙදෙන්නේ වැඩි වශයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේයි.)

They flew to Trichy,  went on to Chennai by bus, and finally decided to visit Bangalore too.
ඒ අය ට්‍රිචිවලට ගුවනින් ගිහින්, එතනින් බස් එකේ චෙන්නායි ගිහින්, අන්තිමට බැංගලෝර් බලන්න යන්නත් තීරණය කළා.
  • "යම් දීර්ග ක්‍රියාවක/ක්‍රියාවලියක අවසානයේ", "වෙනස්වීම් හෝ අවිනිශ්චිතතා අවසානයේ" වැනි අර්ථවලින් මෙය යොදා ගන්නවා.
We finally found it under a bed.
අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වුණා.

The flight finally left two hours late.
ගුවන් යානය අන්තිමේදී පිටත් වුණේ පැය දෙකක් පරක්කු වෙලා.

They hated each other at first, but finally they got married.
මුලදී ඒ දෙන්නා හරි තරහෙන් හිටියේ; ඒත් අන්තිමේදී බැන්දා.

We'll finally have to pay the fine.
(මොනවා කළත්) අන්තිමේදී අපට දඩය ගෙවන්න වෙනවා.
  • "කාලයක් බලා සිට", "සෑහෙන උත්සාහයකින් පසුව", "කීප වතාවක් උත්සාහ කර" වැනි අදහස් මෙහි ඇති අවස්ථාවල ඒ සිදු වූ දේ ගැන සහනය මුසු හැඟීමක්ද එතුළ ගැබ් වෙනවා.
The exam is finally over.
විභාගේ  ඉවරයි යන්තම්.

He has finally passed that exam.
එයා යන්තම් මේ සැරේ ඒ විභාගේ පාස් වෙලා.
  • "නිශ්චිත වශයෙන්ම" යන අර්ථයෙනුත් මෙය හමු වෙනවා.
The matter was never finally resolved.
ඒ කාරණය කවදාවත් හරියටම විසඳුනේ නැහැ.

(2) at last

"කාලයක් බලා සිට", "සෑහෙන උත්සාහයකින් පසුව", "කීප වතාවක් උත්සාහ කර" වැනි අදහස් ඇතිව මෙය යෙදෙන්නේ සිදු වූ දේ ගැන විශාල සහනයක් දැක්වීමටයි.

At last the exam is over.
ඇති යාන්තම් විභාගේ ඉවරයි.

At last he has passed that exam.
ඇති යාන්තම් එයා මේ සැරේ ඒ විභාගේ පාස් වෙලා.

When we found it under a bed at last, we had almost given up hope.
හප්පේ, අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වෙනකොට අපි බලාපොරොත්තු අත් ඇරලා වගේ හිටියේ.

At last! He returned the money this morning.
ඇති යාන්තම්! එය අද උදේ සල්ලි අපහු දුන්නා.

(3) last
  • "අනිත් සියල්ලට පසුව" යන අර්ථයෙන් මෙය ගැනෙනවා.
 He spoke last at the meeting.
එයා රැස්වීමේදී කතා කළේ අනිත් ඔක්කොටම පස්සේ.

I came last in the race.
මම  රේස් එකෙන් අන්තිමයා වුණා.
  • "මේ වෙන තෙක් අන්තිම වතාවට" අදහසින් යෙදෙනවා. 
When did you meet her last?
ඔයාට  අයව අන්තිම වතාවට හම්බවුණේ කවදද?
I last saw her two years ago.
අන්තිම වතාවට මම එයාව දැක්කේ අවුරුදු දෙකකට කලින්.

(4) lastly

අනුපිළිවෙලින් කෙරෙන දේවල අවසාන අංගය සඳහා මෙය ගැනෙනවා.

First (Firstly,) you boil water; second (secondly,) you pour it over the tea leaves;...  lastly you drink your tea.
මුලින්ම වතුර උණු කරනවා; දෙවෙනියට තේ කොළ එකට ඒ වතුර දානවා;... ;අන්තිමට තේ බොනවා.

They flew to Trichy,  went on to Chennai by bus, and lastly decided to visit Bangalore too.
ඒ අය ට්‍රිචිවලට ගුවනින් ගිහින්, එතනින් බස් එකේ චෙන්නායි ගිහින්, අන්තිමට බැංගලෝර් බලන්න යන්නත් තීරණය කළා.

(5) in the end
  • "යම් දීර්ග ක්‍රියාවක/ක්‍රියාවලියක අවසානයේ", "වෙනස්වීම් හෝ අවිනිශ්චිතතා අවසානයේ" වැනි අර්ථවලින් මෙය යොදා ගන්නවා.
We found it under a bed in the end.
අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වුණා.

In the end, the flight left two hours late.
ගුවන් යානය අන්තිමේදී පිටත් වුණේ පැය දෙකක් පරක්කු වෙලා.

They hated each other at first, but they got married in the end.
මුලදී ඒ දෙන්නා හරි තරහෙන් හිටියේ; ඒත් අන්තිමේදී බැන්දා.

We'll have to pay the fine in the end.
(මොනවා කළත්) අන්තිමේදී අපට දඩය ගෙවන්න වෙනවා.
  • "සියලු දේ සලකා බැලූ විට" යන අර්ථයෙන් මෙය ගැනෙනවා.

In the end, what she said was right.
හැම දෙයක්ම බැලුවම එයා කියපු දේ තමයි හරි.

It's a matter of principle in the end.
(මොනවා කිව්වත්) අන්තිමට ඒක ප්‍රතිපත්ති සම්බන්ධ දෙයක්.

(6) at the end

මෙහි ඇත්තේ හුදෙක් යමක අවසානයේ යන අර්ථයයි; එහි වෙනත් අදහස් ගැබ් වී නැහැ.

The meeting lasted two hours but we had no solution at the end.
රැස්වීමට  පැය දෙකක් ගත වුණා, ඒත් ඒක අවසානයේ අපට විසඳුමක් තිබුනේ නැහැ.

I wasn't so worried about the exam at the end.
විභාගේ  ඉවර වෙනකොට මට ඒ ගැන එච්චර කණස්සල්ලක් තිබුනේ නැහැ.

(7) eventually

"යම් දීර්ග ක්‍රියාවක/ක්‍රියාවලියක අවසානයේ", "වෙනස්වීම් හෝ අවිනිශ්චිතතා අවසානයේ" වැනි අර්ථවලින් මෙය යොදා ගන්නවා.

 We eventually found it under a bed.
අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වුණා.

The flight eventually left two hours late.
ගුවන් යානය අන්තිමේදී පිටත් වුණේ පැය දෙකක් පරක්කු වෙලා.

They hated each other at first, but eventually they got married.
මුලදී ඒ දෙන්නා හරි තරහෙන් හිටියේ; ඒත් අන්තිමේදී බැන්දා.

We'll eventually have to pay the fine.
(මොනවා කළත්) අන්තිමේදී අපට දඩය ගෙවන්න වෙනවා.

(8) ultimately 
  • "යම් දීර්ග ක්‍රියාවක/ක්‍රියාවලියක අවසානයේ", "වෙනස්වීම් හෝ අවිනිශ්චිතතා අවසානයේ" වැනි අර්ථවලින් මෙය යොදා ගන්නවා.
We ultimately found it under a bed.
අන්තිමේදී අපට ඒක ඇඳක් යට තිබිලා හම්බ වුණා.

The flight ultimately left two hours late.
ගුවන් යානය අන්තිමේදී පිටත් වුණේ පැය දෙකක් පරක්කු වෙලා.

They hated each other at first, but ultimately they got married.
මුලදී ඒ දෙන්නා හරි තරහෙන් හිටියේ; ඒත් අන්තිමේදී බැන්දා.

We'll ultimately have to pay the fine.
(මොනවා කළත්) අන්තිමේදී අපට දඩය ගෙවන්න වෙනවා.
  • "සියලු දේ සලකා බැලූ විට" යන අර්ථයෙන් මෙය ගැනෙනවා.
Ultimately, what she said was right.
හැම දෙයක්ම බැලුවම එයා කියපු දේ තමයි හරි.

It's ultimately a matter of principle.
(මොනවා කිව්වත්) අන්තිමට ඒක ප්‍රතිපත්ති සම්බන්ධ දෙයක්.

මේ වගේ ආසන්න අර්ථ ඇතත් තරමක් වෙනස් ආකාරවලට භාවිතා වෙන යෙදුම් ගැන කලින් පළ වුණ ලිපි දෙකක් තමයි "Is This a Normal, Ordinary, General or Average Case? - සාමාන්‍යයෙන් අසාමාන්‍ය කඩ්ඩ" සහ "Of Course, Certainly, Surely, In Fact, Actually, Really, Indeed - ඇත්තෙන්ම එහෙමද?".

(Image credit: ednl)


Related Posts with Thumbnails