Wednesday, February 9, 2011

'Don't Quote Me,' She Said - උපුටා ගැනීමට පෙර



භාෂාවක් භාවිතයේදී අපට වෙනත් කෙනෙක් කියූ හෝ ලියූ දෙයක් සෘජුවම උපුටා දක්වන්න වෙන අවස්ථා තියනවා. මෙසේ සෘජුව උපුටා දැක්වීම ඉංග්‍රීසියේ “direct speech” ලෙස හැඳින්වෙනවා. කතාබහේදී නම් අපට එහිදී සුදුසු ලෙස කට හඬ හෝ උච්චාරණ රටාව වෙනස් කිරීමෙන් අනිත් පුද්ගලයා කී දේ කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කළ හැකියි. නමුත් ලිවීමේදී ඒ සඳහා “inverted commas”(BrE) ලෙසද හැඳින්වෙන “quotation marks” (එනම් “ ” හෝ ‘ ’) යොදා ගන්න වෙනවා. වෙන යම් විශේෂිත දෙයක් ඉදිරිපත් කිරීමේදීත් ඇතැම් විට මේ සලකුණු පාවිච්චියට ගැනෙනවා.

බ්‍රිතාන්‍ය භාවිතයේ උපුටා ගැනීමක් හෝ වචනාර්ථයෙන්ම නොවී විශේෂිත ලෙස යෙදෙන දෙයක් (එනම් උදාහරණයක්‌ ලෙස, මාතෘකාවක් ලෙස, අර්ථ දැක්වීමක් ලෙස, පැහැදිලි කිරීමක් ලෙස, උපහාසාත්මකව ආදී) සඳහා මුලින් single quotation marks (එනම් ‘ ’) යොදා ගෙන, එම උපුටා ගත්  හෝ විශේෂිත කොටසේ තවත් යම් උපුටා ගැනීමක් හෝ විශේෂිත දෙයක් අන්තර්ගත නම් ඒ සඳහා double quotation marks (එනම් “ ”) භාවිතා කෙරෙනවා. ඇමරිකානු භාවිතයේ මෙහි අනිත් පැත්ත (එනම් මුලින් double quotation marks ද, දෙවනුව single quotation marks ද යෙදීම) සිදු වෙනවා. එහෙත් double quotation marks මගින් වැඩි හුවා දැක්වීමක් ලැබෙන නිසා බ්‍රිතාන්‍ය භාවිතයේත් මේ දෙවෙනි රටාව දකින්න ලැබෙනවා. කෙසේ වෙතත් අවශ්‍ය ඉඩ අවම කිරීම සඳහා ඇමරිකානු භාවිතයේ පවා මාතෘකාවල බොහෝ විට single quotation marks යොදා ගැනෙනවා. (මෙම බ්ලොග් අඩවියේත් මෙසේ මාතෘකාවල හැරුණු කොට බොහෝ විට double quotation marks යොදා ගෙන තිබෙනවා; නමුත් ඉඩ අසුරා ගැනීම යෝග්‍ය නොවෙතැයි සිතුන ඇතැම් ලිපිවල single quotation marks යොදා ගෙනත් තිබෙනවා.)


‘Today is a “special” day,’ she said. [BrE]
“Today is a ‘special’ day,” she said.

මෙයින් දැක්වෙන්නේ “අද විශේෂ දවසක්” යයි ඇය කී බව සහ එහිදී “විශේෂ” යන්න ඇය යම් හේතුවක් නිසා හුවා දැක්වූ බවයි. මෙයට හේතුව ඇයට “විශේෂ” යන්න යම් වෙනස් අර්ථයකින් දැක්වීමට අවශ්‍ය වීම විය හැකියි; එසේ නැති නම් ඇය එසේ වෙනත් කෙනෙක්ගේ මතයක් උපුටා දැක්වූවා විය හැකියි. මෙම වෙනස වැකිය යෙදෙන පසුබිම අනුව තේරුම් ගත යුත්තක්. කෙසේ වෙතත් විශේෂිත අර්ථයකින් තොරව හුදෙක් යමක් හුවා දැක්වීම සඳහා නම් යොදා ගන්නේ ඇල අකුරු (italics) වැන්නකුයි.

“Today is a special day,” she said. (මෙහිදී ඇය “විශේෂ” යන්න අවධාරණය කළ බව පමණක් දැක්වෙනවා.)

එමෙන්ම උපුටා ගැනීම් සඳහා මුලින් double quotation marks භාවිතා කරන අතර විශේෂිත අර්ථයකින් යෙදෙන දේ සඳහා මුලින් single quotation marks යොදා ගන්නා සම්ප්‍රදායකුත් තියනවා. (මෙම ඊපොතේ බොහෝ විට මේ රටාව යොදා ගැනෙනවා. වෙනත් ලිපිවල මාතෘකා දැක්වීමේදී නම් – ඇතැම් මාතෘකාවල single quotation marks අන්තර්ගත නිසා – සැම විටම double quotation marks යොදා තිබෙනවා.)

මෙම quotation marks සමග අනෙක් විරාම ලකුණු (punctuation marks - “Puta Comma Here, Period! කොමාවට තිත තියමුද?” බලන්න) යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියනවා. මෙතනදී බ්‍රිතාන්‍ය හා ඇමරිකානු භාවිත අතර full stop/period (.) සහ comma (,) යෙදෙන ආකාරවල වෙනසක් තිබෙනවා. නමුත් question mark (?), exclamation mark (!), colon (:), semi-colon (;) වැනි අනෙකුත් ලකුණුවලදී නම් එවැනි වෙනසක් නැහැ.

(පහත උදාහරණවල බ්‍රිතාන්‍ය ව්‍යවහාරයට අදාළ සියළු තැන්වල single quotation marks හෝ double quotation marks - තමන්ගේ රුචිකත්වය අනුව - යොදා ගත හැකි බව සලකන්න.)

1. මේ question mark (?) හා exclamation mark (!),  බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු භාවිතයේ, යෙදෙන තැනට උචිත පරිදි quotation marks තුළ හෝ ඉන් පිටත යෙදෙනවා.
(මෙම exclamation mark ලකුණ විධානයක්, විශ්මයාර්ථයක්, ප්‍රාර්ථනාවක්, ප්‍රබල ප්‍රකාශයක් වැනි දේ දැක්වීමට භාවිතා වෙනවා.)


He asked, “What’s the matter?”*
“
මොකක්ද කාරණේ/ප්‍රශ්නෙ?” එයා ඇහුවා. (මෙතනදි ප්‍රශ්නය වෙන්නේ “What’s the matter” යන උපුටා ගත් කොටස නිසා ප්‍රශ්නාර්ථ ලකුණ quotation marks තුළ යෙදෙනවා.)

What do you mean
, “We don’t have to go there”?
“
අපි එහෙ යන්න ඕනැ නැහැ” කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකක්ද? (මෙතනදි ප්‍රශ්නය වෙන්නෙ “What do you mean...” යන්න ප්‍රමුඛ මුළු වාක්‍යයම මිස උපුටා ගත් කොටස නොවන නිසා ප්‍රශ්නාර්ථ ලකුණ යෙදෙන්නේ quotation marks වලට පිටිනුයි.

She shouted, “Get lost!”
*
“
යනවා යන්න!” ඇය කෑගැහුවා. (මෙතන exclamation mark ලකුණ අදාළ වෙන්නේ විධානයක් වන “Get lost” කොටසටයි.)

You have to come “this minute”!
ඔයා “මේ මොහොතෙම” එන්න ඕනැ! (මෙතන exclamation mark ලකුණ අදාළ වන විධානය වන්නේ මුළු වාක්‍යයම මිස “this minute” කොටස නොවෙයි.)

*ඉහත පළමු හා තුන් වැනි උදාහරණවල “?” හා “!” ලකුණු උපුටා ගත් කොටසට පමණක් අදාළ වුණත්, එම උපුටා ගත් කොටස වාක්‍යයේ අග යෙදී ඇති නිසා මුළු වාක්‍යයටම අදාළව යෙදිය යුතු full stop/period (.) ලකුණ ඉන් පසුව නොයෙදෙන බව සැලකිල්ලට ගත යුතුයි. මෙසේ “?”, “!” වැනි ලකුණු යෙදෙන තැන්වල ඒවා මගින් full stop/period (.), comma (,) ලකුණුවල අවශ්‍යතාවය නැති කරනවා. එසේම “!” ලකුණට “?” ලකුණද ඉක්මවූ ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා.

Who asked, “What do you want?”
“ඔයාට මොනවද ඕනෑ” කියලා ඇහුවේ කව්ද?

Do you know who said, “I am the State!”**
ඔයා දන්නවද “මම තමයි රාජ්‍යය” කියලා කිව්වේ කව්ද කියලා?

**නමුත් ඇතැම් අය - විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතයේ - මෙවැනි “!” සහ “?” ලකුණු දෙක සම්බන්ධ අවස්ථාවල, පසුව එන ලකුණත් යොදනවා.

Do you know who said, ‘I am the State!’? [BrE]

She had the nerve to ask, ‘Why did you come here?’! [BrE]
එයා බයක් සැකක් නැතුව ඇහුවනේ “ඇයි ඔයා මෙහෙ ආවේ?” කියලා! (විශ්මයාර්ථයක් වැනි හැඟීමක්)

2. ඉහත සඳහන් colon (:) හා  semi-colon (;), බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු භාවිතයේ, සැමවිටම යෙදෙන්නේ quotation marks වලින් පිටතයි.

I loved “Avatar”: a film by James Cameron.
ජේම්ස් කැම්රන්ගේ “Avatar” චිත්‍රපටිය මම ආසාවෙන් බැලුවා.

I loved “Avatar”; however, I wouldn’t call it my favourite[BrE]
/favorite[AmE].
“Avatar”
චිත්‍රපටිය මම ආසාවෙන් බැලුවා; ඒ උනත් මම කියන්නෙ නැහැ ඒක මම ආසම චිත්‍රපටිය කියලා.

3.
කලින් සඳහන් කළ  full stop/period (.) සහ comma (,) ලකුණුත් බ්‍රිතාන්‍ය භාවිතයේදී නම් quotation marks සමග යෙදෙන්නේ අර්ථයට ගැලපෙන ආකාරයටයි. නමුත් ඇමරිකානුවන් ඒවා සැම විටම යොදන්නේ quotation marks තුළයි
(මෙයට හේතුව පැරණි මුද්‍රණ යන්ත්‍රවල එම ලකුණු quotation marksවලට පිටතින් යෙදීමට තිබූ අපහසුතාවය මග හැර ගැනීම සඳහා ඇමරිකානුවන් ඒවා ඇතුළතින්ම යෙදීමට හුරු වීමයි. කෙසේ නමුත් ඇතැම් ක්ෂේත්‍රවල මේ තිත හා කොමාව සම්බන්ධව ඇමරිකානුවන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුගමනය කරනවා. කෙසේ වෙතත් මුළු වාක්‍යයේ යම් කොටසක් - “she said”, “he asked” වැනි - උපුටා ගත් කොටසට පෙර යෙදෙන අතර උපුටා ගත් කොටසත් සම්පූර්ණ වාක්‍යයකින් සමන්විත නම් quotation marks වලට පෙර ඒ දෙකොටස අතර comma (,) යෙදීම නම් කාටත් පොදුයි.)

She thinks you can do it ‘if you really want’.
[BrE]
She thinks you can do it “if you really want.” [AmE]
එයා හිතනවා “ඔයාට ඇත්තටම ඕනැ නම්” ඒක කරන්න පුලුවන් කියලා. (මෙහි “if you really want” යන්න ප්‍රධාන වාක්‍යයේ කොටසක් පමණක් නිසා බ්‍රිතාන්‍ය භාවිතයේ තිත යෙදෙන්නේ quotation marks වලට පිටිනුයි.)

He said, “I’ll see you tomorrow.”
එයා කිව්වා “මම හෙට ඔයාට හම්බ වෙන්නම්” කියලා. (මෙහි උපුටා ගත් “I’ll see you tomorrow” යන්න සම්පූර්ණ ප්‍රකාශයක් නිසා බ්‍රිතාන්‍ය භාවිතයේත් තිත යෙදෙන්නේ quotation marks තුළයි.)

The words ‘kind’, ‘sort’, ‘type’ and ‘category’ can all mean the same. [BrE]
The words “kind,” “sort,” “type” and “category” can all mean the same. [AmE]
මෙම “kind”, “sort”, “type” සහ “category” යන පද සියල්ල එකම අර්ථය ගත හැක. (කොමාවන් අයිති ප්‍රධාන වැකියට නිසා බ්‍රිතාන්‍ය භාවිතයේ කොමාව යෙදෙන්නේ quotation marks වලට පිටිනුයි.)

‘Our teacher’, said the boy, ‘might not come today.’ [BrE]
***
“Our teacher,” said the boy, “might not come today.” [AmE]
***
“
අපේ ගුරුතුමා/තුමිය අද නොඑන්න ඉඩ තියනවා” කියලා පිරිමි ළමයා කිව්වා. (මෙහි “Our teacher” ට පසුව එන කොමාව උපුටා ගත් ප්‍රකාශයට අයිති නොවන්නක් නිසා බ්‍රිතාන්‍ය භාවිතයේ එය යෙදෙන්නේ quotation marks වලට පිටිනුයි.)

***උපුටා ගත් වැකියක් මෙසේ කොටස් දෙකක් ලෙස දැක්වෙන විට ඒ දෙකොටස වෙන වෙනම quotation marks තුළ අන්තර්ගත කෙරෙනවා. එසේම බ්‍රිතාන්‍ය අවිධිමත් භාවිතයේ - උදා: නවකතාවල - බොහෝ විට මෙවැනි තැන්වල ඇමරිකානු රටාවට කොමාව යොදනු පෙනෙනවා.  

“Children,” said Dad, “we’ve got to leave right now.” 
තාත්තා කිව්වා “ළමයි, අපි දැන්ම පිටත් වෙන්න ඕනැ” කියලා. (මෙහි “Children” ට පසුව එන කොමාව උපුටා ගත් ප්‍රකාශයට අයිති වන්නක් නිසා බ්‍රිතාන්‍ය භාවිතයේත් එය යෙදෙන්නේ quotation marks තුළයි.)

“I want to go home,” said the girl.
“මට ගෙදර යන්න ඕනැ” කියලා ගෑනු  ළමයා කිව්වා. (මෙහි උපුටා ගත් “I want to go home” යන්න සම්පූර්ණ ප්‍රකාශයක් නිසා බ්‍රිතාන්‍ය භාවිතයේත් කොමාව යෙදෙන්නේ quotation marks තුළයි.)
 
ඉහත උදාහරණ කීපයක මෙන්, යමක් කියූ තැනැත්තා එම උපුටා ගත් කොටසට පසුව සඳහන් කරන විට එයට අදාළ කියා පදය කියූ තැනැත්තාට ඉදිරියෙන් යෙදෙනවා. (නමුත් කියූ තැනැත්තා වෙනුවෙන් සර්වනාමයක් - pronoun - යෙදෙන විට එසේ වෙන්නේ නැහැ.) 
 
“I want to go home,” said the girl. “මට ගෙදර යන්න ඕනැ” කියලා ගෑනු  ළමයා කිව්වා. 
 
“I want to go home,” she said. “මට ගෙදර යන්න ඕනැ” කියලා ඇය කිව්වා. 

මේ ගැන කියන්න තවත් දෙයක් තියෙනවා. ඉහත උදාහරණ කීපයක සඳහන් ලෙස, සම්පූර්ණ ප්‍රකාශයක් quotation marks තුළ අඩංගු විට තිත සහ කොමාව බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේත් සාමාන්‍යයෙන් එතුළ යෙදෙතත්, එම කොටස ගැනෙන්නේ හුදෙක් උදාහරණයක්‌, අර්ථ දැක්වීමක් හෝ පැහැදිලි කිරීමක් ලෙස නම් එම ලකුණු යෙදෙන්නේ ඉන් පිටතයි. (නමුත් ඇතැම් බ්‍රිතාන්‍ය පුවත්පත් ආදියේ මෙවැනි තැන්වල ඇමරිකානු රටාව හමු වෙනවා.)   

‘Cogito, ergo sum’, in Latin, means ‘I think, therefore I am’. [BrE]
“Cogito, ergo sum,” in Latin, means “Ί think, therefore I am.” [AmE]
ලතින් භාෂාවෙන් “Cogito, ergo sum” යන්නේ අර්ථය “මා යනු මගේ සිතුවිලියි” යන්නයි.

ඡේද කීපයක් එක් වර උපුටා දැක්වීමේදී සෑම ඡේදයකම මුල quotation marks යොදන නමුත් අගට යොදන්නේ අවසාන ඡේදයේ පමණයි. එසේම උපුටා ගත් කොටස වාක්‍ය කීපයකින් සමන්විත විට ඊට පෙර ඇති she said’, ‘he asked’ වැනි කොටසකට පසු යෙදෙන්නේ colon (:) ලකුණයි. (සංවාද ලියා දැක්වීමේදී යමක් කියූ කෙනාගේ නමට පසු මෙම ලකුණ යොදනවා, කියූ දෙය තනි වාක්‍යයක් වුණත්.)

The Director said: “We are facing tough times. A lot of hard work is needed; each and every one of us will have to do our best. Yet we’ll have no guarantee of success.

“However, we should remember the saying, ‘Every dark cloud has a silver lining,’ and take heart.”

අධ්‍යක්ෂතුමා මෙහෙම කිව්වා: “අපි අමාරු කාලෙකට මුහුණ දෙමින් ඉන්නවා. අපට ගොඩක් වැඩ කරන්න වෙනවා; හැම කෙනාටම තමාගේ උපරිමය කරන්න වෙයි. නමුත් සාර්ථක වීම නිශ්චිත නැහැ.

“කොහොම වුණත්, අපි මතක තියා ගන්න ඕනැ ‘හැම අඳුරු වලාකුළකම රිදී රේඛාවක් තියනවා’ කියන කියමන.”

පහත සඳහන් වැකිවල හිස් තැන්වලට සුදුසු punctuation marks යොදන්න.

1. _Come here_ _  she commanded.

2. Who said_  _Go to hell_ _

3. They think he is a  _hero_ _
(බ්‍රිතාන්‍ය හා ඇමරිකානු රටා දෙකම දක්වන්න.)

4. He asked_  _What do you want_ _ 

5. _My car is fine_ _  he said_  _ but yours is better_ _ 

(සේයාරුවට ස්තුතිය: Search Engine People Blog)

Wednesday, January 26, 2011

It Couldn't Be Worse! - අන්තිම නරකයි


ඉංග්‍රීසි භාෂාවේ යම් දෙයක් ගැන තදින් අදහස් ප්‍රකාශ කිරීමේදී යම් යම් රටා යොදා ගැනෙනවා. එයින් කීපයක් ගැන අද අවධානය යොමු කරමු.

It couldn't be worse. (තවත් මෙනවා නරක වෙන්නද?)

මෙම රටාව පාවිච්චි කරන්නේ යම් දෙයක් අන්තිම නරක බව (මීටත් වඩා නරක වීමට ඉඩ අඩු බව - ඇතැම් විට අතිශයෝක්තියෙන්) තමන් සිතනා විටයි.

Last week it rained all the time, the children were sick and the car broke down; it couldn't be worse. ගිය සතියේ දිගටම වැස්සා, ළමයි ලෙඩ උනා, කාරෙක කැඩුනා; අන්තිම නරක සතියක් (තවත් මොනවා වෙන්නද!).

මෙම රටාව හොඳ දෙයක් කීමටත් යොදා ගත හැකියි.

How are things? Couldn't be better. කොහොමද වැඩ කටයුතු? හොඳටම හොඳයි.

She couldn't be happier when she heard the news. ආරංචිය අහලා එයා උපරිමයට සතුටු උනා.

මෙතනදී කියන්න ඕනැ තවත් දෙයක් තමයි මේ "couldn't" පදයේ තියෙන්නේ අතීත අර්ථයක් නොවන බව. "එසේ වීමට ඉඩ තියෙනවා" කියා සිතන අවස්ථාවල "could" පදයත්, "එසේ වීමට ඉඩ අඩුයි" කියා සිතන විට "couldn't" පදයත් යෙදෙන බව අපි "It Could Be in English - විය හැකි හෝ නොහැකි බව" ලිපියේ කතා කළා. ඒ නිසා මෙවැනි ප්‍රකාශ වර්තමාන කාලය සඳහාත් යෙදිය හැකියි.

It's raining, the children are sick and the car has broken down; it couldn't be worse. වහිනවා, ළමයි ලෙඩ වෙලා, කාරෙක කැඩිලා; අන්තිම නරක වෙලාවක් (මේ මොහොත).

මෙවැනි අනුමාන සම්බන්ධව අතීත කාලය සඳහා පමණක් යොදා ගන්නා රටාවක් බලමු. (මෙතනදී අපි එහි "ඇත යන අර්ථය" සලකා බලමු.)

It could have been worse. (ඊටත් වඩා අන්ත වෙන්න තිබුනා.)

මෙයින් අදහස් වෙන්නේ තත්වය මීටත් වඩා නරක වීමට ඉඩ තිබුන බවයි.

You may have had a bad week, but I think it could have been worse. ඔයාට ඔය සතියෙ කරදර ගොඩක් තිබුනා වෙන්න පුලුවන්, ඒත් මම හිතන්නෙ ඊටත් වඩා නරක වෙන්න ඉඩ තිබුනා.

We had too much work yesterday. It could have been worse if one of us had been absent. අපට ඊයෙ කරන්න බැරි තරම් වැඩ තිබුනා. අපේ එක් කෙනෙක් අවෙ නැත්නම් එහෙම ඊටත් අන්ත වෙන්න තිබුනා.

මෙය හොඳ දෙයක් සඳහාත් යොදා ගැනෙනවා.

His exam results are good, but they could have been better (he could have done better). එයාලෙ විභාග ප්‍රතිඵල හොඳයි, ඒත් ඒවා ඊට වඩා හොඳ වෙන්න තිබුනා (එයාට ඊට වඩා හොඳට කරන්න තිබුනා).

තමන් අන්තිම අකමැති දෙයක් දැක්වීම සඳහා යෙදෙන රටාවක් මෙහෙමත් තියනවා.

The last thing I want is to talk to him. (එයා එක්ක කතා කරන්න නම් මම කොහෙත්ම කැමති නැහැ.)

මෙවැනි ප්‍රකාශවලින් කියවෙන්නේ අදාළ දෙයට තමන් ඉතා අකමැති බවයි.

He's the last person they'd consider for this job. මේ රස්සාවට එයාව සලකා බලන්න නම් ඒ අය කොහෙත්ම කැමති වෙන එකක් නැහැ.
To go to Colombo that day was the last thing she wanted. එදා කොළඹ යන්න එයාට කොහෙත්ම කැමැත්තක් තිබුනෙ නැහැ.

The last thing I want is more work. මීටත් වඩා වැඩ කරන්න නම් මම කොහෙත්ම කැමති නැහැ.

යමක බොහෝ අඩුපාඩු ඇති බව - එනම් බලාපොරොත්තු තත්වයට කොහෙත්ම ළඟා නොවන බව - දැක්වීමට පහත රටාව උපයෝගි කර ගන්නවා. 

It leaves much/a lot to be desired. (ඒකෙ අවශ්‍ය දේවලින් ගොඩත් නැහැ.)

The new software version leaves much to be desired. මෘදුකාංගයෙ අළුත් සංස්කරණයෙ අවශ්‍ය දේවලින් ගොඩක් නැහැ.

Her work leaves a lot to be desired. එයාගෙ වැඩවල අඩුපාඩු ගොඩක් තියනවා (අවශ්‍ය තත්වයට වඩා ගොඩක් පහළයි).

මේ රටා ආශ්‍රයෙන් පහත සඳහන් වාක්‍ය ඉංග්‍රීසියට නගන්න. (ප්‍රතිචාර මගින් ඉදිරිපත් කළොත් වැරදි නිවැරදි කිරීමටත් හැකියි.)

1. බඩු මිළ නැගලා, ඒත් මේ අවුරුද්දෙ බෝනස් නවත්වලා; තවත් මොනවා වෙන්නද!

2. මීටත් වඩා නරක වෙන්න තිබුනා රස්සාව නැති උනා නම් එහෙම.

3. අයෙත් පාරක් ඒ අයට කෝල් කරන්න නම් මම කොහෙත්ම කැමති නැහැ.

4. තවත් සෙනග එනවට නම් ඒ අය කොහෙත්ම කැමති නැහැ.

6. මේ වර්තාවෙ ඕනැ කරන දේවල් ගොඩක් නැහැ.

(සේයාරුවට ස්තුතිය: annais)


Related Posts with Thumbnails