Wednesday, May 12, 2010

You Know Who I Am? - දන්නවද මම කවුද කියලා?




ඉංග්‍රීසි භාෂාවෙ බහුලව යෙදෙන වචනයක් තමයි who”. මේ වචනෙ තේරුම කවුද කියන එක බව අපි හැමෝම දන්නවා. මේකෙ තවත් ස්වරූපයක් තියනවනේ whom” කියලා. ඒක යෙදෙන්නෙ පදය අනුක්ත (object) ආකාරයට යෙදෙන තැන්වල - ඒ කියන්නෙ එයින් අදහස් කරන තැනැත්තා යම් ක්‍රියාවකට භාජනය වෙන අවස්ථාවලදී - බවත් හුඟක් අය දන්නවා ඇති.

නමුත් භාවිතයෙදි සමහර තැන්වල පොඩි පටලැවිලි තියනවා. අවිධිමත් භාවිතයෙදි (informal usage) සමහර වෙලාවට අනුක්ත අ‍වස්ථාවලත් who යෙදෙනවා‍. ඒ මදිවට සමහර, තරමක් සංකීර්ණ, වාක්‍යවල මේ පදය උක්තද (subject - ඒ කියන්නෙ යම් ක්‍රියාවක් කරන තැනැත්තා), අනුක්තද කියලා හිතා ගන්නත් ටිකක් අපහසු වෙනවා. අපි උදාහරණවලින්ම බලමු.

Who is he? එයා කවුද?

Who are they? කවුද ඒ අය?

Who are you? ඔයා කවුද?

Do you know who he is? ඔයා දන්නවද එයා කවුද කියලා?
***මෙතනදි who පදය who he is වාක්‍ය ඛණ්ඩයේ subject එක වශයෙනුයි යෙදෙන්නේ. know  ක්‍රියා පදයේ object එක වෙන්නේ who he is මුළු වාක්‍ය ඛණ්ඩයම මිසක් who පදය නොවෙයි.
***මෙවැනි තැන්වල වචන යෙදෙන පිළිවෙල - word order - ගැනත් සැලකිලිමත් වෙන්න ඕනැ. යෙදෙන්නෙ who he is ‍මිසක් who is he නොවෙයි. ඒකට හේතුව එය මෙතනදී ප්‍රශ්නය නොවෙන නිසා.

Do you know who they are? ඔයා දන්නවද ඒ අය කවුද කියලා?

Do you know who I am? ඔයා දන්නවද මම කවුද කියලා?

I know who he is. / I know who they are. / I know who you are. මම දන්නවා එයා / ඒ අය / ඔයා කවුද කියලා.

Who do you think she is? එයා කවුරු කියලද ඔයා හිතන්නෙ?
***මෙතනදි who පදය who she is යන්නෙහි subject එක වශයෙනුයි යෙදෙන්නේ, එය do you think” මගින් කොටස් දෙකකට වෙන්වී තිබුනත්.

Who do you think they are? ඒ අය කවුරු කියලද ඔයා හිතන්නෙ?

I don’t know who she is. / I don’t know who they are. මම දන්නෙ නැහැ එයා / ඒ අය කවුද කියලා.

Who do you think you are? ඔයා කවුරු කියලද ඔයා හිතන් ඉන්නෙ?

Who is the president of Venezuela? වෙනිසුවේලාවේ ජනාධිපතිවරයා කවුද?

Do you know who the president of Venezuela is? වෙනිසුවේලාවේ ජනාධිපතිවරයා කවුද කියලා ඔයා දන්නවද?
***මෙවැනි “who” පදයෙන් අදහස් කෙරෙන්නා උත්තරයේ subject එක විය හැකි තැන්වල Do you know who is the president of Venezuela?රටාවද භාවිතා කළ හැකියි..

Who do you think is the president of Venezuela? වෙනිසුවේලාවේ ජනාධිපතිවරයා කවුරු කියලද ඔයා හිතන්නෙ?

Who is going to post the letter? කවුද ලියුම තැපැල් කරන්නෙ?

Do you know who is going to post the letter? ලියුම තැපැල් කරන්නෙ කවුද කියල ඔයා දන්නවද?

Who do you think is going to post the letter? කවුරු ලියුම තැපැල් කරයි කියලද ඔයා හිතන්නෙ?

Who wants to go to the bookshop with me? කාටද ඕනැ මාත් එක්ක පොත් සාප්පුවට යන්න?
***එක් කෙනෙකුට වැඩි දෙනෙකුට යාමට අවශ්‍ය විය හැකි වුණත්,  කීදෙනෙක්ද යන්න සඳහන් නොකර ප්‍රශ්නයක් අසන මෙවැනි අවස්ථාවලදී who සමග ඒක වචන ක්‍රියා පදයි යෙදෙන්නේ - මෙතන wants වගේ.

Who do you think wants to go to the bookshop with me? කාට මාත් එක්ක පොත් සාප්පුවට යන්න ඕනැයි කියලද ඔයා හිතන්නෙ?

Who went there yesterday? කවුද ඊයෙ එහෙ ගියේ?

Who do you believe went there yesterday? ඊයෙ කවුරු එහෙ ගියා කියලද ඔයා විශ්වාස කරන්නෙ?

Who among you likes noodles? ඔය ගොල්ලන්ගෙන් කවුද නූඩ්ල්ස්වලට කැමති?

Whom did you see there? [විධිමත් (formal)] / Who did you see there? [අවිධිමත් (informal)] ඔයා කාවද එහෙදි දැක්කෙ?
***මේ ප්‍රශ්නයේදී see ක්‍රියා පදයේ object එක වශයෙන් විධිමත් භාවිතයේ whom යෙදුනත්, අවිධිමත් භාවිතයේ බොහෝ විට මෙවැනි තැන්වල who යෙදෙනවා.

Whom does she want to meet? [වි] / Who does she want to meet? [අ] එයාට කාවද හම්බ වෙන්න ඕනැ?

To whom did he speak? [වි] / Who did he speak to? [අ] කාටද එයා කතා කළේ?

With whom did she come? [වි] / Who did she come with? [අ] එයා කවුරු එක්කද ආවේ?

For whom did you buy it? [වි] / Who did you buy it for? [අ] කාටද ඔයා ඒක (මිළදී) ගත්තෙ?

Give it to whoever needs it. ඒක උවමනා කෙනාට (එවැනි ඕනෑම කෙනෙකුට) ඒක දෙන්න.
***මෙතන whoever පදය whoever needs it කොටසේ subject එකයි. give it to හි indirect object එක වෙන්නේ whoever needs it වාක්‍ය ඛණ්ඩයම මිසක් whoever පදය නොවෙයි.

Give it to whoever you think needs it. ඒක උවමනායි කියල ඔයා හිතන කෙනාට ඒක දෙන්න.

Give it to whoever has seen it first. ඒක මුලින්ම දැකපු කෙනාට ඒක දෙන්න.

Give it to whoever you think has seen it first. ඒක මුලින්ම දැක්කයි කියල ඔයා හිතන කෙනාට ඒක දෙන්න.

Give it to whomever you like. [වි] / Give it to whoever you like. [අ] ඔයා කැමති කෙනාට ඒක දෙන්න.
***මෙතන whomever [වි] / whoever [අ] පදය like ක්‍රියා පදයේ object එකයි. 

Give it to whomever you want to give it to. [වි] / Give it to whoever you want to give it to. [අ] ඔයාට ඒක දෙන්න ඕනැ කෙනාට ඒක දෙන්න.

Whoever comes first will get the prize. පළවෙනියා වෙන කෙනාට තෑග්ග ලැබෙයි.

The girl who / that plays chess has won the championship. චෙස් ගහන (ගෑණු) ළමයා ශූරතාවය දිනලා.
***මෙහි who / that plays chess වාක්‍ය ඛණ්ඩය defining relative clause යනුවෙන් හඳුන්වනවා. එයින් කෙරෙන්නේ girl යන නාම පදය (noun) හඳුන්වා දීමයි - එනම් ‍කුමන ගෑණු ළමයාද යන්න හඳුන්වා දීමයි. මෙතනදී plays ක්‍රියා පදයේ subject එක වන who (හෝ that), කලින් එන girl පදයට සම්බන්ධ relative pronoun එකක් ලෙස හැඳින්වෙනවා. මෙහි who වෙනුවට that ද යෙදිය හැකි වුණත් වැඩි වශයෙන් ගැනෙන්නේ who පදයයි (මෙය අදාළ subject ලෙස යෙදෙන relative pronoun වලටයි). මෙවැනි වාක්‍යවල girls වැනි බහු වචනයක් ඇත් නම් ක්‍රියා පදද ඒ අනුව යෙදෙනවා.

The girls who / that play chess have won the championship. චෙස් ගහන (ගෑණු) ළමයි ශූරතාවය දිනලා.

The woman (that / whom [වි] / who [අ]) I saw yesterday has come again. මම ඊයෙ දැක්ක ගෑණු කෙනා ආයෙ ඇවිල්ලා.
***මෙතන ඇත්තේ woman යන නාම පදය හඳුන්වා දෙන defining relative clause එකක්. මෙහි saw ක්‍රියා පදයේ object එක වන relative pronoun එක වශයෙන් විධිමත් භාවිතයේදී whom , අවිධිමත් භාවිතයේදී who , පාවිච්චි කළ හැකි අතර, මෙවැනි තැන්වල ඒ වෙනුවට that යෙදීම හෝ කිසිම පදයක් නොයෙදීමත් බොහෝ විට දකින්න ලැබෙනවා (මෙය අදාළ object ලෙස යෙදෙන relative pronoun වලටයි). subject වශයෙන් relative pronouns පැවති මීට කලින් තිබූ වාක්‍යවල මෙසේ කිසිම පදයක් නොයෙදීම නම් කෙසේවත් කළ නොහැකියි.

She is the singer (that / whom [වි] / who [අ]) I told you about. එයා තමයි මම ඔයා‍ට කිව්ව ගායිකාව.

Give it to the one who / that needs it. ඒක උවමනා කෙනාට ඒක දෙන්න.

Give it to those who / that need it. ඒක උවමනා අයට ඒක දෙන්න.

Who is the man that came here? / Who are the men that came here? කවුද මෙහෙ ආව මිනිහා / මිනිස්සු?

Who is the man (that) you know? / Who are the men (that) you know? කවුද ඔයා දන්න (අඳුරන) මිනිහා / මිනිස්සු?

***ඉහත වාක්‍ය දෙකේ මුලින් who පදයක් යෙදෙන නිසා relative pronoun එක වශයෙන් whom හෝ who සාමාන්‍යයෙන් යොදන්නෙ නැහැ. ඒ ව‍ගේම යම් ගුණයක් උපරිමයෙන් දක්වන superlative adjective පදයක් (best, most beautiful වැනි) හෝ යමෙක් යම් ගණයකට අයත් කර දක්වන quantifier පදයක් (every, all, some, any, no, few, only, first, last වැනි) සම්බන්ධ object එකක් ලෙස who හෝ whom සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ.

She was the best teacher who / that taught us English. එයා තමයි අපට ඉංග්‍රීසි උගන්නපු හොඳම ගුරුතුමිය. 

She is the best teacher (that) I know. එයා තමයි මම දන්න හොඳම ගුරුතුමිය. 

Nobody who / that knew it was happy. ඒක දැන ගෙන හිටිය කිසි කෙනෙක් සතුටින් නෙමේ හිටියේ. 

Nobody (that) we knew was happy. අපි අඳුරන කිසි කෙනෙක් සතුටින් නෙමේ හිටියේ.
 
He was the only friend who / that came to see me when I was sick. මම අසනීප උන වෙලාවෙ මාව බලන්න ආව එකම යාළුවා එයා.

He was the only friend (that) I had. එයා තමයි මට හිටපු එකම යාළුවා.

***වෙනත් ආකාරවල තවත් උදාහරණ කීපයක් බලමු. 

He is the boy who / that stole the money. එයා තමයි ඒ සල්ලි හොරකම් කරපු (පිරිමි) ළමයා.

Who do you believe stole the money? ඒ සල්ලි හොරකම් කළේ කවුරු කියලද ඔයා විශ්වාස කරන්නෙ?

I believe (that) he is the one who / that stole the money. / He is the one who / that I believe stole the money. මම විශ්වාස කරන්නෙ ඒ සල්ලි හොරකම් කළ කෙනා එයා කියලයි.

He is the boy who / that should be punished. එයා තමයි දඬුවම් ලැබිය යුතු (පිරිමි) ළමයා.

Who do you think should be punished? දඬුවම් ලැබිය යුතු  කාට කියලද ඔයා හිතන්නෙ?

I think (that) he is the one who should be punished. / He is the one who / that I think should be punished. මම හිතන්නෙ එයා තමයි දඬුවම් ලැබිය යුතු කෙනා?

Whom [වි] / who [අ] do you think we should punish? අපි දඬුවම් කරන්න ඕනැ කාට කියලද ඔයා හිතන්නෙ?

I think he is the one (that) we should punish. / He is the one (that) I think we should punish. මම හිතන්නේ එයාට තමයි අපි දඬුවම් කරන්න ඕනැ.

***තවත් එක දෙයක් තියනවා කිව යුතුම. relative pronouns උපයෝගි කරගෙන යම් කෙනෙක් ගැන අමතර, අත්‍යවශ්‍ය නොවන, විස්තරයක් එකතු කරන තැන්වල that යෙදීම හෝ කිසිම පදයක් නොයෙදීම කිසිම අවස්ථාවක කළ නො‍හැකියි. එසේම whom වෙනුවට who යෙදීමත් විරලයි. non-defining relative clauses ලෙස නම් කරන මෙවැනි වාක්‍ය ඛණ්ඩ එක් කරන්නේත් මුලට හා අගට කොමා යොදායි.

His daughter, who is ten (years old), can speak three languages. එයාගෙ දුවට භාෂා තුනක් කතා කරන්න පුලුවන්, එයාගෙ වයස අවුරුදු දහයයි.

His daughter, whom he spoke about yesterday, can speak three languages. එයාගෙ දුවට, ඒ කියන්නෙ එයා ඊයෙ කියපු දුවට, භාෂා තුනක් කතා කරන්න පුලුවන්.

My friends, many of whom work abroad, have a get-together next week. මගෙ යාළුවන්ගේ හමුවීමක් ලබන සතියෙ තියනවා, ඒ ගොඩක් අය වැඩ කරන්නෙ පිටරට.

***මෙවැනි තැන්වල කොමා යෙදීම (හෝ කතා බහේදී ඒ වෙනුවට මදක් නැවතීම) නොකළහොත් ඇතැම් විට වැරදි අවබෝධද ඇති විය හැකි බව මතක තියා ගත යුතුයි. පහත උදාහරණය බලන්න.

Her husband, who works in Kandy, will come here with her tomorrow. එයාගෙ හස්බන්ඩ් (ස්වාමි පුරුෂයා) හෙට එයත් එක්ක මෙහෙ එනවා, හස්බන්ඩ් වැඩ කරන්නෙ මහනුවර.

Her husband who works in Kandy will come here with her tomorrow. එයාගෙ මහනුවර වැඩ කරන හස්බන්ඩ් හෙට එයත් එක්ක මෙහෙ එනවා (එයාට තව හස්බන්ඩ්ලා ඉන්නවා).


***කෙසේ වෙතත් ඇතැම් වාක්‍ය රටාවල නම් සියළු දේ පැහැදිලිවම කීම අපහසු වෙනවා.

They have a son who takes care of the business now. ඒ ගොල්ලන්ගේ පුතෙක් ඉන්නවා දැන් ව්‍යාපාරය බලාගන්න.
***මෙහිදී who takes care of the business now යන්න අමතර විස්තරයක් නොවන අත්‍යවශ්‍ය හැඳිවීමක් නිසා, ඔවුන්ට ඉන්නේ එකම පුතෙක් වුණත් මේ රටාවේ කොමා යෙදිය නොහැකියි.


***පහත ඇති ආකාරයේ රටා මෙසේ කෙටි ස්වරූපවලිනුත් දැක්විය හැකියි.

Anyone coming here will see it. (Anyone who / that comes here will see it.) මෙහෙ එන ඕනැ කෙනෙකුට ඒක පෙනේවි.

The boy playing cricket is my brother. (The boy who / that is playing cricket is my brother.) ක්‍රිකට් ගහමින් ඉන්න ළමයා මගේ මල්ලි.

The man arrested by the police was from our area. (The man who / that was arrested by the police was from our area.) පොලීසියෙන් අත් අඩංගුවට ගත්ත මිනිහා අපේ පැත්තේ කෙනෙක්.

A friend of mine, a talented painter, is holding an exhibition next month. (A friend of mine, who is a talented painter, is holding an exhibition next month.) මගේ යාළුවෙක් ලබන මාසේ ප්‍රදර්ශනයක් තියනවා - එයා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.

The child, interested in the prize, ran as fast as he could. / Interested in the prize, the child ran as fast as he could. (The child, who was interested in the prize, ran as fast as he could.) තෑග්ග ගැන තිබුන උනන්දුව නිසා, ළමයා පුළුවන් තරම් වේගෙන් දිව්වා.

වචනෙ පොඩි වුණාට යෙදෙන රටා ගොඩයි නේද? කාට හරි තවත් විස්තර ඕනැද? (Is there anybody who wants more details?)

(සේයාරුවට ස්තුතිය: Mrs Logic) 


Monday, May 10, 2010

Taken for a Ride? How Nice! - රවුමක් ගියා නම් කොච්චර හොඳද!


ඕනැම භාෂාවක වගේ ඉංග්‍රීසියෙත් සමහර යෙදුම්වල තේරුම සාමාන්‍යයෙන් වැටහෙන ආකාරයට වඩා වෙනස්. මේ වගේ යෙදුම්වලට idiomatic expressions (හෝ idioms) කියල කියනවා.

ඒ ඇතැම් ඒවා - විශේෂයෙන් අවිධිමත් ව්‍යවහාරයේ (informal usage) - බහුලව භාවිතා වෙන නිසා, නියම අර්ථය දන්නෙ නැතිනම් අපට අපහසුතා ඇති වෙන්න පුලුවන්. ඒ නිසා එවැනි යෙදුම් කීපයක් ගැන අද අවධානය යොමු කරමු.

***මුලින්ම බලමු “ride” වචනය සම්බන්ධ අවස්ථා කීපයක්.

1. take (someone) for a ride 

මේක ඇහුවම එන සාමාන්‍ය අදහස නම් යමෙක්ව වාහනයක (හෝ සතෙකු පිටේ) රවුමක් එක්ක යනවා කියන එකනේ. ඒත් මේ යෙදුම නිතර පාවිච්චි වෙනවා “රැවටීමකට ලක් කරනවා” යන අර්ථයෙන්.

මීට සමාන අර්ථයකින් lead (someone) up / down the garden path”, “pull the wool over (someone’s) eyesවගේ යෙදුම් ඇතැම් විට පාවිච්චි වෙනවා.

They tried to take us for a ride. (They tried to lead us up / down the garden path. / They tried to pull the wool over our eyes.) ඒ ගොල්ලො අපිව රවට්ටන්න උත්සාහ කළා.

You have been taken for a ride. (You have been led up / down the garden path.) ඔයාව රවට්ටලා.

2. get a free ride

මුදල් ගෙවා ලබා ගත යුතු යමක් නොමිලේ ලැබෙන අවස්ථාවල මෙය භාවිතා වෙනවා.

Our uncle decided to buy tickets for everybody, so we had a free ride at the cinema [බ්‍රි] / movies []. අපේ මාමා තීරණය කළා හැමෝටම ටිකට් ගන්න, ඉතින් අපට සිනමා ශාලාවෙදි හම්බ උනා පිනා චාන්ස් එකක්.

3. come / go along for the ride

යම් දෙයක් ගැන එතරම් උනන්දුවක් හෝ අවශ්‍යතාවයක් නැතත් විනෝදය සඳහා එයට සහභාගි වෙන විට මෙම යෙදුම පාවිච්චියට ගැනෙනවා.

I wasn’t really interested in that competition, but decided to go along for the ride. තර‍ඟෙ ගැන මගෙ එච්චර උනන්දුවක් තිබුනෙ නැහැ, ඒත් මම තීරණය කෙරුව නිකමට (විනෝදෙට) සහභාගි වෙන්න.

4. have an easy ride / have a rough ride යමක් පහසුවෙන් කරන්න හැකි වෙනවා / යමක් කිරීමේදී අපහසුතාවලට මුහුණ දෙනවා

give (someone) an easy ride / give (someone) a rough ride යමෙකුට තම වැඩ කටයුතු පහසු කරනවා / යමෙකුට තම වැඩ කටයුතුවලදී අපහසුතා ඇති කරනවා

She had an easy ride at [බ්‍රි] / in [] school because both her parents were teachers. අම්මයි, තාත්තයි දෙන්නම ගුරුවරු නිසා එයාට ඉස්කෝලෙ වැඩ ලේසි උනා.

His boss gave him a rough ride at that company, so he finally left. ඒ කොම්පැනියෙදි එයාගෙ ලොක්කා එයාට ලෙඩ දැම්ම නිසා එයා අන්තිමට ඒකෙන් අයින් උනා.

***කලිනුත් වතාවක් සඳහන් වුණ “garden” පදය සම්බන්ධ යෙදුම් දෙකක් තියනවා, එකම අර්ථයෙන් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ව්‍යවහාරවල එන.

5. common or garden [බ්‍රි] / garden-variety []

මෙම යෙදුම් noun එකකට කලින් යෙදෙනවා, noun එකෙන් අදහස් වන දේ ඉතාම සාමාන්‍ය, කිසි විශේෂත්වයක් නැති දෙයක් බව දැක්වීමට.

You won’t be able to do it with a common or garden [බ්‍රි] / garden-variety [] computer. සාමාන්‍ය (සාමාන්‍ය භාවිතයේ ඇති) කම්පියුටරයකින් ඒක කරන්න පුලුවන් වෙන එකක් නැහැ.

***ඒ වගේම කලින් යෙදුන wool පදය සම්බන්ධ තවත් යෙදුමකුත් මතක් වෙනවා.

6. dyed-in-the-wool

මේ යෙදුම යම් ආකාරයක පුද්ගලයෙක් දැක්වෙන noun එකකට කලින් යෙදෙන්නෙ එම පුද්ගලයා එම ආකාරයෙන් අන්තයට ගිය, ඒ සම්බන්ධ තම අදහස් කිසිදා වෙනස් කිරීමට නොපෙළඹෙන කෙනෙක් බව දැක්වීමටයි.

He is a dyed-in-the-wool leftist. එයා තද වාමාංශිකයෙක්.

***කලින් යෙදුමක පාවිච්චි වුණ free පදය එන යෙදුම් කීපයකුත් බලමු.

7. get / have a free hand යමක් කිරීමේදී එය තමන්ට සුදුසු යැයි සිතෙන ආකාරයට කිරීමට නිදහස ලැබෙනවා

give / allow (someone) free / full rein එවැනි නිදහසක් ලබා දෙනවා

I had a free hand in organizing the trip. ගමන සංවිධානය කරද්දි මට කැමති විදියට කරන්න ලැබුනා.

The company gave her free rein in handling the project. සමාගම එයාට ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දි සම්පූර්ණ නිදහස දුන්නා.

The writer had given free rein to his imagination. රචකයා තමන්ගේ පරිකල්පන ශක්තිය උපරිමයෙන් ප්‍රයෝජනයට අරන් තිබුනා.

8. There’s no such thing as a free lunch. 

කිසිවක් සම්පුර්ණයෙන් නොමි‍ලයේ නොලැබෙන බව, එනම් සැම දෙයකටම යම් ආකාරයක ගෙවීමක් කළ යුතු බව දැක්වීමට මෙම වාක්‍යය පාවිච්චි කෙරෙනවා.

සේයාරුවට ස්තුතිය: jonrawlinson
Related Posts with Thumbnails