Monday, September 27, 2010

They Are at a Ceremony on a Farm in Kandy - විවිධ තැන්වලදී


ඉල්ලීමක් ඉදිරිපත් වුණා in, at, on පදවල භාවිතය ගැන යමක් ලියන්න කියලා. මේවා නොයෙක් පසුබිම්වල යෙදුනත්, යමක පිහිටීම හෝ සිදු වන ස්ථානය සම්බන්ධයෙන් ඒවා පාවිච්චි වෙන ආකාර කීපයක් අද බලමු. 

සාමාන්‍යයෙන් මේ පද යෙදෙන ‍ආකාරය අපි බොහොම දෙනෙක් දන්නවා.

The cat is at the box. බළලා පෙට්ටිය ළඟ ඉන්නවා. [මෙහිදී ‘near’ ‍යෙදුවොත් එයින් අදහස් වෙන්නේ පෙට්ටියට කිට්ටු තැනක ඉන්නා බවයි. නමුත් ’at’ මගින් පෙට්ටිය ඇති තැනට යාබදවම (පෙට්ටිය ගාව) ඉන්නා බව දැක්වෙනවා.]

The cat is in the box. බළලා පෙට්ටිය ඇතුළෙ ඉන්නවා.

The cat is on the box. බළලා පෙට්ටිය උඩ ඉන්නවා.

මීට අමතරව තේරුම් ගත යුතු තවත් වෙනස්කම් ගණනාවක් ති‍යනවා.

1. in Kandy, at Kandy

මෙවැනි යම් නගරයක යන්නට සාමාන්‍යයෙන් යෙදෙන්නේ ‘in’ පදයයි. නමුත් එම නගරය යම් ගමනක් වැන්නක එක් තැනක්/ලක්ෂයක් ලෙස සලකන විට නම් ‘in’ හෝ ‘at’ යොදා ගත හැකියි.

My brother is in Matara. මගෙ අයියා/මල්ලි මාතර (මේ වෙලාවෙ ඉන්නෙ හෝ පදිංචිය මාතර).

We stopped for lunch in/at Kalutara on our way to Galle. ගාල්ලෙ යන ගමන් අපි දවල් කෑමට කළුතර නැවැත්තුවා.

2. in the post office, at the post office

මෙවැනි යම් ස්ථානයකදී සමස්තයක් ලෙස එම ස්ථානයේ  යන අර්ථයෙන් ‘at’ පදයත්, එම ස්ථානය/ගොඩනැගිල්ල තුළ යන අර්ථය ඇතිව ‘in’ පදයත් සාමාන්‍යයෙන් යෙදෙනවා.

I met him at the bank. මට එයාව බැංකුවෙදි මුණ ගැහුණා (සමස්තයක් ලෙස එම ස්ථානයේදී, ගොඩනැගිල්ල තුළදී හො එය ඉදිරිපිටදී විට හැකියි).

My sister is in the bank. I’m waiting for her to come out. මගෙ අක්කා/නංගි බැංකුවෙ (බැංකුව ඇතුළෙ). මම ඉන්නෙ එයා එළියට එනකම්.

We had dinner at a restaurant. අපි අවන්හලක රෑ කෑම කෑවා.

He works in/at a restaurant. එයා වැඩ කරන්නෙ අවන්හලක.*
*මෙවැනි තැන්වල නම් මේ පද දෙක අතර වෙනසක් ඇත්‍‍තේ‍‍ නැහැ.

3. at a party, at a conference

පුද්ගලයන් සමූහයක් සහභාගි වෙන මෙවැනි අවස්ථා (party, conference, meeting, event, ceremony, wedding, festival, funeral...) සඳහා බොහෝ විට යෙදෙන්නේ ‘at’ පදයයි.

All of them are at a conference. ඒ අය ඔක්කොම සම්මන්ත්‍රණයක.

This was decided at a board meeting. මේක තීරණය උනේ පාලක මණ්ඩල රැස්වීමක.

නමුත් යම් කෙනෙක් ක්‍රියාකාරී ලෙස සහභාගි වන ඇතැම් අවස්ථාවල ‘in’ යන්නද යෙදෙනවා. 

She’s in a meeting right now. එයා මේ වෙලාවෙ රැස්වීමක (රැස්වීමකට සහභාගි වෙමින් ඉන්නවා).

මෙසේ යෙදෙන ‘occasion’ පදය සමග නම් භාවිතා වෙන්නේ ‘on’ යන්නයි.

He always makes a speech on an occasion like this. එයා හැමදාම (හැම විටම) මේ වගේ අවස්ථාවක කතාවක් පවත්වනවා.

4. on a farm, on an estate

මෙවැනි විශාල බිම් ප්‍රමාණයක් සහිත ස්ථාන (farm, estate, premises, site, land, plain, plateau, beach, seashore, riverbank...) සඳහා ‘on’ යෙදෙනවා. නමුත් beach වැනි ඇතැම් වචන ‘at’ සමගත් භාවිතා වෙනවා. එ‍මෙන්ම plain වැන්නක් ප්‍රදේශයක් ලෙස සලකා ඒ සමග 'in' ‍භාවිතයද දක්නට ලැබෙනවා (මීළඟ කොටස බලන්න).

We spent some time on a tea estate. අපි තේ වත්තක ටික වෙලාවක්/තරමක් වෙලා හිටියා.

The religious ceremony will take place on the school premises. ආගමික උත්සවය පාසැල් පරිශ්‍රයේ පැවැත්වේවි.

The whole family had fun on/at the beach. මුළු පවුලම මූදු වෙරළෙ විනෝද උනා.

5. in a region, in a country

මෙවැනි ප්‍රදේශ (district, province, country, region, area...) සඳහා ‘in’ යොදා ගැනෙනවා.

It’s the biggest company in the region. ඒක මේ ප්‍රදේශයෙ ලොකුම සමාගම.

මහාද්වීපයක නම සමග ‘in’ යෙදුනත්, ‘continent’ පදය සමග යෙදෙන්නේ ‘on’ පදයයි.

China is situated in Asia / on the Asian continent. චීනය පිහිටලා තියෙන්නෙ ආසියාවෙ / ආසියානු මහාද්වීපයේ.

6. in the back, at the back

පසුපස කෙළවරේ යන අර්ථයෙන් ‘at’ යන්නත්, පසුපස කොටසේ යන අර්ථයෙන් ‘in’ යන්නත් යෙ‍දෙනවා.  ’front’ පදයත් මේ ආකාරයෙන්ම යෙදෙන අතර, පිහිටීම සම්බන්ධයෙන් ‘end’, ‘edge’ වැනි පද සමග සාමාන්‍යයෙන් ගැනෙන්නේ ‘at’ යන්නයි.

He’s in the back of the car. එයා ඉන්නෙ කාරෙකේ පස්සෙ සීට් එකේ.

She sat at the back of the hall. එයා වාඩි වෙලා හිටියෙ ශාලාවෙ පිටිපස්සෙ කෙළවරේ.

They’re at the end of the line. ඒ අය ඉන්නෙ පෝලිමේ අග.

7. in the photo, on the page

යමක් ඇති තැන දැ‍ක්වීමේදී photo, picture, paragraph, chapter,  paper (newspaper - පුවත්පතක යන අර්ථයෙන්), book... වැනි පද සමග ‘in’ යන්නත්, page, notice board, blackboard, wall, paper (piece or sheet of paper - කඩදාසි කෑල්ලක හො එක් කඩදාසි කොලයක යන අර්ථයෙන්)... වැනි පද සමග ‘on’ යන්නත් යෙදෙනවා.

We’re all in the photo. අපි ඔක්කොම පින්තූරෙ (ඡායාරූපයේ) ඉන්නවා.

It’s in Chapter 2, on Page 38. ඒක තියෙන්නෙ දෙවෙනි පරිච්ඡේදයෙ, 38 වෙනි පිටුවෙ.

It’s on the notice board. ඒක දැන්වීම් පුවරුවෙ තියනවා.

The picture is on the wall. පිංතූ‍රෙ බිත්තියෙ (අලවලා/එල්ලලා) තියනවා.

8. on the list, on the website

list, website, blog... වැනි පද සමග බොහෝ විට ‘on’ යෙදෙනවා. නමුත් ඇතැම් විට අන්තර්ගතබව හුවා දැක්වීමට ‘in’ යන්නත් පාවිච්චි වෙනවා.

Check whether all these things are on the shopping list. බලන්න මේ ඔක්කොම දේවල් (මිළදී ගත යුතු) බඩු ලැයිස්තුවෙ තියනවද කියලා.

Include that in the list. ඒක ලැයිස්තුවට ඇතුළත් කරන්න.
 
The prices are to be found on their website. මිළ ගණන් ඒ අයගෙ වෙබ් අඩවියෙන් ගන්න පුලුවන්.

9. on the committee, on the board

කීප දෙනෙකුගෙන් සමන්විත මෙවැනි කණ්ඩායමක් (committee, board, panel...) සඳහා සාමාන්‍යයෙන් ‘on’ යෙදෙනවා. නමුත් ‘team’ සඳහා මේ දෙකමත්, ‘group’ සඳහා නම් ‘in’ යන්නත් භාවිතා වෙනවා.

She‘s on the organizing committee. එයා සංවිධා‍යක කමිටුවෙ ඉන්නවා.

He’s in[විශේෂයෙන් බ්‍රිතාන්‍ය]/on[විශේෂයෙන් ඇමරිකානු] the team. එයා කණ්ඩායමේ ඉන්නවා.

10. in the car, on the bus

වාහන සම්බන්ධව car, van, taxi, jeep, three-wheeler වැනි පෞද්ගලිකව පාවිච්චියට ගන්නා වාහන සඳහා ‘in’භාවිතා වෙනවා. නමුත් bus, train, plane, ship වැනි පොදුවේ පාවිච්චියට ගැනෙන වාහන සඳහා සාමාන්‍යයෙන් ‘on’ද, එවැන්නක් ඇතුළත යන්න විශේෂයෙන් දැක්වීම සඳහා නම් ‘in’ද යෙදෙනවා.

They listened to the radio in the car. ඒ අය කාරෙකේ යන ගමන් රේඩියෝ ඇහුවා..

We were on a bus to Kandy. අපි හිටියේ නුවර යන බස් එකක.

She's in the bus. That’s why you don’t see her. එයා බස් එක ඇතුළේ. ඒකයි ඔයා‍ට එයාව පේන්නෙ නැත්තෙ.

11. at No. 160B, on Kurunegala Road

යම් ලිපිනයක සිටින/තිබෙන බව දැක්වීමට ‘at’ පාවිච්චි වෙනවා. නමුත් යම් පාරක සිටින/තිබෙන බව දැක්වීමට බොහෝ විට ‘on’යොදා ගැනෙන අතර ඇතැම් විට ‘in’ ද (විශේෂයෙන් street, lane වැනි පද සමග) මේ සඳහා භාවිතා වෙනවා.   

They live at No.160B, Kurunegala Road. ඒ ගොල්ලො ඉන්නෙ කුරුණෑගල පාරෙ අංක 160B.

They live on Kurunegala Road. ඒ ගොල්ලො ඉන්නෙ කුරුණෑගල පාරෙ.

They were singing in/on the street. ඒ අය පාරෙ සිංදු කිය කිය හිටියා.

12. in the queue, in (the) line

පෝලිමක් (queue, line) වැන්නක් සඳහා ‘in’ භාවිතා කෙරෙනවා.

He stood in the queue (විශේෂයෙන් බ්‍රිතාන්‍ය) / in line (විශේෂයෙන් ඇමරිකානු) for a long time. එයා ගොඩක් වෙලා පෝලිමේ හිටියා.

13. on the river, on the lake

ගඟක් හෝ විලක් වැන්නක් අසල යන්නට ‘on’ (හෝ ‘by’) භාවිතා වෙනවා. එහි ජලය මත යන්නටද ‘on’ යෙදෙනවා.

The hotel is located on/by the river. හෝටලේ (පිහිටලා) තියෙන්නෙ ගඟ අයිනේ.
 
There is a boat on the lake. විලේ බෝට්ටුවක් තියනවා/යනවා. 

14. on the right, on the left

වම් පැත්තේ, දකුණු පැත්තේ යන අදහස්වලට මෙසේ ‘on’ යෙදෙනවා.

When you take the bend, you’ll see the temple on the/your right. ඔයා වංගුව හැරෙනකොට ඔයාගෙ දකුණු පැත්තෙ පංසල පෙනෙයි.

15. at the seaside, in the countryside

යමක් අද්දර යන අර්ථය ඇති seaside, roadside... වැනි වචන සමග ‘at’ (හෝ ‘by’) යෙදුනත්, ගම්බද ප්‍රදේශවල යන අර්ථය දෙන countryside පදය සමග යෙදෙන්නේ ‘in’ යන්නයි.

The van stopped at/by the roadside. වෑන් එක පාර අයිනෙ නැවැත්තුවා.

We spent the weekend in the countryside. අපි ගම්බද ප්‍රදේශයක සතිඅන්තය ගත කළා.

(සේයාරුවට ස්තුතිය: Nicholas_T

Thursday, September 16, 2010

Do You Speak English? ප්‍රශ්න ගැන





ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්න අහන විධි සමහර වෙලාවට අපේ අයට ගැටළු මතු කරනවා. ඊට බොහෝ විට හේතු වෙන්නේ ඉංග්‍රීසියේ ඇති වෙනස් පද පිළිවෙල (word order). මේ ගැන යමක් ලියන්න කියලා ඉල්ලීමකුත් තිබුනා.

ප්‍රශ්නවලදී වගේම නැත යන අර්ථයේ ප්‍රකාශවලදිත් මෙවැනි පැටලිලි ඇති වෙන නිසා මේ දෙවර්ගයම ගැන අවධානය යොමු කරමු.

හැබැයි මෙතනදි will, may, can, would, is, were, have, had... වැනි උපකාරක ක්‍රියාපදයක් - එනම් auxiliary verb (helping verb)’ එකක් - සමග යම් ක්‍රියා පදයක් යෙදෙනවා නම් එතරම් ගැටළුවක් නැහැ. එම අදාළ auxiliary verb පදයට not එක් කිරීමෙන් නැත යන අර්ථයත්, උපකාරක ක්‍රියාපදය වාක්‍යයේ මුලට - එනම් කතෘ පදයට (subject) පෙර - යෙදීමෙන් ප්‍රශ්නාර්ථයත් නිරූපනය කළ හැකියි.

She will come tomorrow. එයා හෙට එයි.
She will not come tomorrow. එයා හෙට එන එකක් නැහැ.

Will she come tomorrow? එයා හෙට එයිද?
Will she not come tomorrow? එයා හෙට එන එකක් නැද්ද?

He is going home. එයා ගෙදර යනවා.
He is not going home. එයා ගෙදර යන්නෙ නැහැ.
Is he going home? එයා ගෙදර යනවද?
Is he not going home? එයා ගෙදර යන්නෙ නැද්ද?

They have seen us. ඒ අය අපිව දැකල තියනවා.
They have not seen us. ඒ අය අපිව දැකල නැහැ.
Have they seen us? ඒ අය අපිව දැකල තියනවද?
Have they not seen us? ඒ අය අපිව දැකල නැද්ද?

We had met before. අපි ඊට කලින් මුණ ගැහිල තිබුනා.
We had not met before. අපි ඊට කලින් මුණ ගැහිල තිබුනෙ නැහැ.
Had we met before? අපි ඊට කලින් මුණ ගැහිල තිබුනද?
Had we not met before? අපි ඊට කලින් මුණ ගැහිල තිබුනෙ නැද්ද?

They would like some tea now. ඒ අය දැන් තේ ටිකක් බොන්න කැමති වෙයි (කියල මම හිතනවා).
They would not like any tea now.* ඒ අය දැන් තේ බොන්න අකමැති වෙයි (කියල මම හිතනවා).
Would they like some tea now?* ඒ අය දැන් තේ ටිකක් බොන්න කැමති වෙයිද (කැමති වෙයි කියලද ඔයා හිතන්නේ)?
Would they not like some tea now?* ඒ අය දැන් තේ ටිකක් බොන්න අකමැති වෙයිද (අකමැති වෙයි කියලද ඔයා හිතන්නේ)?

We should have done it. අපට ඒක කරන්නයි තිබුනේ. (එය කළ යුතුව තිබූ දෙයක් වුණත් කර නැහැ.)
We should not have done it. අපට ඒක නොකරන්නයි තිබුනෙ. (නොකළ යුතුව තිබූ දෙයක් වුණත් කර තිබෙනවා.)
Should we have done it? අපට ඒක කරන්නද තිබුනේ? (කර නැති නමුත්) / අපි ඒක කළ යුතුව තිබුනද? (කර තිබෙන නමුත්) [මෙය මෙසේ යෙදෙන පසුබිම අනුව අර්ථ දෙකක් ගන්නවා]
Should we not have done it?  අපට ඒක නොකරන්නද තිබුනේ? (කර ඇති නමුත්) / අපට ඒක කරන්න නෙමේද තිබුනේ? (කර නැති නමුත්) [මෙයත් යෙදෙන පසුබිම අනුව අර්ථ දෙකක් ගන්නවා]

*මේ ආකාරයේ නිෂේධාර්ථ ප්‍රකාශයකදී  ‘any’ යන්න යෙදුනත්, ප්‍රශ්නාර්ථයේදී - නිෂේධාත්මක ප්‍රශ්නායකදී පවා - කතා කරන්නා (ඇත යන අර්ථයේ උත්තරයක් බලාපොරොත්තුවෙන්) යොජනාවක් වැන්නත් ප්‍රශ්නයකින් ඉදිරිපත් කරන විට some’ යන්නද, ලැබෙන උත්තරය ගැන හැඟීමක් නොමැතිව හුදෙක් ප්‍රශ්නයක් නගන විට any’ යන්නද යොදා ගැනෙනවා. (Some Uses of ‘Some’ – එහි භාවිතයේ වෙනස්කම් ගැන ලිපියත් බලන්න.)  

උපකාරක ක්‍රියාවක් වන can’ පදයේ නැත යන අර්ථය cannot’ ලෙස තනි පදයක් වශයෙන් බොහෝ වි‍ට භාවිතා වන නිසා එය යෙදෙන්නේ මෙසේයි.

They cannot see it. ඒ අයට ඒක පේන්නෙ නැහැ.
Cannot they see it? ඒ අයට ඒක පේන්නෙ නැද්ද?

මේ ඇතැම් උපකාරක ක්‍රියාපද බහුලව (විධිමත් භාවිතයේදී හෝ අවිධිමත් භාවිතයේ අර්ථය අවධාරණය කළ යුතු විටදී හැර) කෙටි ආකාරයන්ගෙන් (short forms) භාවිතා වෙනවා. එවිට ඒවා පහත ‍ආකාරයෙන් යෙදෙකවා.

She’ll come tomorrow. එයා හෙට එයි.
She won’t come tomorrow. / She’ll not come tomorrow.** එයා හෙට එන එකක් නැහැ.
Won’t she come tomorrow? එයා හෙට එන එකක් නැද්ද?

He’s going home. එයා ගෙදර යනවා.
He isn’t going home. / He’s not going home.** එයා ගෙදර යන්නෙ නැහැ.
Isn’t he going home? එයා ගෙදර යන්නෙ නැද්ද?

They’ve seen us. ඒ අය අපිව දැකල තියනවා.
They haven’t seen us. / They’ve not seen us.** ඒ අය අපිව දැකල නැහැ.
Haven’t they seen us? ඒ අය අපිව දැකල නැද්ද?

We’d met before. අපි ඊට කලින් මුණ ගැහිල තිබුනා.
We hadn’t met before. / We’d not met before.** අපි ඊට කලින් මුණ ගැහිල තිබුනෙ නැහැ.
Hadn’t we met before? අපි ඊට කලින් මුණ ගැහිල තිබුනෙ නැද්ද?

They’d like some tea now. ඒ අය දැන් තේ ටිකක් බොන්න කැමති වෙයි (කියල මම හිතනවා).
They wouldn’t like any tea now. / They’d not like any tea now.** ඒ අය දැන් තේ බොන්න අකමැති වෙයි (කියල මම හිතනවා).
Wouldn’t they like some tea now? ඒ අය දැන් තේ ටිකක් බොන්න අකමැති වෙයිද (අකමැති වෙයි කියලද ඔයා හිතන්නේ)?

We shouldn't have done it. අපට ඒක නොකරන්නයි තිබුනෙ.
Shouldn't we have done it?  අපට ඒක නොකරන්නද තිබුනේ? / අපට ඒක කරන්න නෙමේද තිබුනේ?

They can’t see it.
ඒ අයට ඒක පේන්නෙ නැහැ.
Can’t they see it? ඒ අයට ඒක පේන්නෙ නැද්ද?

**මෙම තැන්වල මේ නිෂේධාත්මක ප්‍රකාශවල ‍උපකාරක ක්‍රියාපදය මේ දෙආකාරයෙන්ම කෙටි කළ හැකියි. නමුත් අවිධිමත් භාවිතයේ නිෂේධාර්ථය අවධාරණය කිරීමට අවශ්‍ය අවස්ථාවලදී නම් දෙවෙනි ආකාරය යොදා ගෙන not’ යන්න බර කර කීම (stress) කෙරෙනවා.

ඉතින් මේ වෙන තුරු කතා කළේ හැම විටම උපකා‍රක ක්‍රියාපද යෙදෙන වාක්‍ය ගැනනේ. ඇත යන අර්ථයෙදි උපකාරක ක්‍රියාවක් සාමාන්‍යයෙන් නොයෙදුනත්, නැත යන අර්ථයෙදි හා ප්‍රශ්නාර්ථයෙදි උපකාරක ක්‍රියාපදයක් යොදා ගැනෙන ර‍ටාත් තියනවනේ.

School begins at 7.30. ඉස්කොලෙ 7.30ට පටන් ගන්නවා.
School does not begin at 7.30. (School doesn’t begin at 7.30.) ඉස්කොලෙ 7.30ට පටන් ගන්නෙ නැහැ.
Does school begin at 7.30? ඉස්කොලෙ 7.30ට පටන් ගන්නවද?
Does school not begin at 7.30? (Doesn’t school begin at 7.30?) ඉස්කොලෙ 7.30ට පටන් ගන්නෙ නැද්ද?

We go to school every day. අපි හැමදාම ඉස්කෝලෙ යනවා.
We do not go to school every day. (We don’t go to school every day.) අපි හැමදාම ඉස්කෝලෙ යන්නෙ නැහැ.
Do we go to school every day? අපි හැමදාම ඉස්කෝලෙ යනවද?
Do we not go to school every day? (Don’t we go to school every day?) අපි හැමදාම ඉස්කෝලෙ යන්නෙ නැද්ද?

She talked to them yesterday. එයා ඊ‍යෙ ඒ අය එක්ක කතා කළා.
She did not talk to them yesterday. (She didn’t talk to them yesterday.) එයා ඊ‍යෙ ඒ අය එක්ක කතා කළේ නැහැ.
Did she talk to them yesterday? එයා ඊ‍යෙ ඒ අය එක්ක කතා කළාද?
Did she not talk to them yesterday? (Didn’t she talk to them yesterday?) එයා ඊ‍යෙ ඒ අය එක්ක කතා කළේ නැද්ද?

මේ ඉහත රටා තුනේදිම උපකාරක ක්‍රියාපද පාවිච්චි වෙන‍ විට‍ ඒ සමග යෙදෙන්නේ අනිත් ක්‍රියාපදයේ මූලික ස්වරූපය (bare infinitive) බව මතක තියා ගත යුතුයි. සාමාන්‍යයෙන් මේ රටාවල ඇත යන අර්ථයෙදි උපකාරක ක්‍රියා පාවිච්චි නොකෙරුනත්, ඇත යන අර්ථය අවධාරණය කිරීමට නම් එහිදීත් උපකාරක ක්‍රියාව යොදා ‍ගෙන එය බර කර (stress) කියවෙනවා.

We do/DO go to school every day. අපි හැමදාම ඉස්කෝලෙ යනවා.

She did/DID talk to them yesterday. එයා ඊයෙ ඒ අය එක්ක කතා කළා.

එසේම ප්‍රශ්නයකට ඇත යන අර්ථයේ කෙටි පිළිතුරක් දීමේදී උපකාරක ක්‍රියාපදය පමණක් යොදා ගන්නවා.


Does she come here often? – Yes, she does. / No, she doesn’t. එයා නිතරම මෙහෙ එනවද? – ඔව්, එනවා. / නෑ, එන්නේ නෑ. 
Doesn’t she come here often? – Yes, she does.*** / No, she doesn’t.එයා නිතරම මෙහෙ එන්නෙ නැද්ද? – ඇයි නැත්තෙ? එනවා. / නෑ, එන්නේ නෑ.

Did you meet him last week? – Yes, I did. / No, I didn’t. ඔයාට/ඔයාලට ගිය සතියෙ එයාව හම්බ උනාද? – ඔව්, හම්බ උනා. / නෑ, හම්බ උනේ නෑ.
Didn’t you meet him last week? – Yes, I did.*** / No, I didn’t. ඔයාට/ඔයාලට ගිය සතියෙ එයාව හම්බ උනේ නැද්ද? – ඇයි නැත්තෙ? හම්බ උනා. / නෑ, හම්බ උනේ නෑ.

***නැත යන අර්ථයේ ප්‍රශ්නයකට මේ ආකාරයෙන් ඇත යන අර්ථයෙන් පිළිතුරු දීමේදී උත්තරයේ උපකාරක ක්‍රියා පදය වඩා බර කර (stress) කිව යුතුයි. (මෙවැනි ප්‍රශ්නවලට උත්තර දීම ගැන තවත් විස්තර සඳහා This Isn’t So Difficult. – Yes or No?බලන්න.) 

මීට අමතරව what, when, who... ආදී ප්‍රශ්නාර්ථ පද (question words) යොදා ගෙන අසන ප්‍රශ්නවලදී, එම ප්‍රශ්නාර්ථ පදයෙන් නිරූපනය වෙන්නේ ක්‍රියාවට බඳුන් වන දෙය/කෙනා (object) නම්, ප්‍රශ්නාර්ථ පදය වැකියේ මුලින් යොදා අපි කලින් සලකා බැලූ ප්‍රශ්නාර්ථ වාක්‍යවල රටාවට ඉතිරි කොටස තැබෙනවා.

What are you doing? මොනවද ඔයා/ඔයාලා කරන්නෙ?

When did you write this? ඔයා/ඔයාලා කොයි වෙලාවෙද / කවදද මේක ලිව්වෙ?

Who does she want to meet? / Whom does she want to meet? [විධිමත්]  එයා‍ට කාවද හම්බ වෙන්න ඕනැ?
(මෙවැනි තැන්වල who සහ whom පද භාවිතය ගැන You Know Who I Am? - දන්නවද මම කවුද කියලා?ලිපියේ විස්තර කෙරුනා.)

Whose book did you take? ඔයා කාගෙ පොතද ගත්තේ?

Where have they seen her? කොහෙදිද ඒ අය එයාව දැකල තියෙන්නෙ?

Why did you do it? ඇයි ඔයා/ඔයාලා ඒක කෙරුවේ?

How did you do it? කොහොමද ඔයා/ඔයාලා ඒක කෙරුවේ?

How many children do they have? ඒ ගොල්ලන්ට ළමයි කී දෙනෙක් ඉන්නවද?

How much water should we add to it? අපි ඒකට කොච්චර වතුර එකතු කරන්න ඕනැද?

How much did it cost? ඒක කීයක් (මිළ) උනාද?

How old is she? එයාට වයස කීයද?

How fast can he run? එයාට කොච්චර වේගෙන් දුවන්න පුලුවන්ද?

How far is it from here to Kandy? නුවරට මෙහෙ ඉඳල කොච්චර දුරද?

How long is this river? මේ ගඟ කොච්චර දිගද?

How long have they lived in that house? ඒ අය කොච්චර කල් ඉඳල ඒ ගෙදර ඉන්නවද?

How long will it take us to finish this assignment? මේ පැවරුම ඉවර කරන්න අපට කොච්චර වෙලා/කල් යයිද?

How often does he visit you? එයා ඔයාව/ඔයාලව බලන්න එන්නේ කොච්චර කාලෙකට සැරයක්ද?

What time does the train leave? කෝච්චිය පිටත් වෙන්නෙ කීයටද?

What other child/children do you like? වෙන මොන ළමයාටද/ළමයින්ටද ඔයා/ඔයාලා කැමති?

How much more money do you need? ඔයාට/ඔයාලට තව කොච්චර සල්ලි ඕනැද?

How many more teachers do they need? එයාලට තව ගුරුවරු කීදෙනෙක් ඕනැද?

What more is she asking for? මීටත් වැඩිය මොනවද එයා ඉල්ලන්නේ?

What/Why/Where/Who(m)/How else…? වෙන මොකක්ද (මොනවද) / මොන හේතුවකටද / කව්ද / කොහොමද...?

What else do you want? වෙන මොනවද ඔයාට/ඔයාලට ඕනැ?

නමුත් ප්‍රශ්නාර්ථ පදය ක්‍රියාව කරන්නා (subject) නිරූපනය කරයි නම් වාක්‍යයේ ඉතිරි කොටස ඇත යන අර්ථයේ වාක්‍යයක ස්වරූපය ගන්නවා.

Who comes here tomorrow? කව්ද හෙට මෙහෙ එන්නේ?


What happened? මොකක්ද උනේ?

Who is coming? (Who’s coming?) කව්ද එන්නේ?

කර්ම කාරක (passive voice) වාක්‍යවල නම් ක්‍රියාවට බඳුන්වන දෙයට/කෙනාට මුල් තැන ලැබෙන නිසා එවායේ ප්‍රශ්න ඇසෙන්නේ පහත ආකාරයටයි.

The thief was caught by the policeman. හොරාව පොලිස් නිළධාරියා අල්ල ගත්තා. (හොරාව පොලිස් නිළධාරියා විසින් අල්ලනු ලැබුවා.)
Who was caught by the policeman? කාවද පොලිස් නිළධාරියා අල්ල ගත්තේ? (කාවද පොලිස් නිළධාරියා විසින් අල්ලනු ලැබුවේ?)
By whom was the thief caught? කවුරු විසින්ද හොරාව ඇල්ලුවෙ? (කා විසින්ද හොරාව අල්ලනු ලැබුවේ?)

The bread has been cut with a blunt knife. පාන් කපලා තියෙන්නෙ මොට්ට පිහියකින්.
What has been cut with a blunt knife? මොනවද මොට්ට පිහියකින් කපලා තියෙන්නේ?
With what has the bread been cut? / What has the bread been cut with? මොකෙන්ද පාන් කපලා තියෙන්නෙ?


(You Know Who I Am - දන්නවදමම කවුද කියලා, What Do You Want - මොනවදඕනැහාJust Say No! කොහොමද කියන්නේ? ලිපිත් බලන්න.)

(සේයාරුවට ස්තුතිය:  Horia Varlan)


Related Posts with Thumbnails