Tuesday, February 16, 2010

I Wish I Knew! - මේ අතීත කාලයද?


 
සේයාරුවට ස්තුතිය: bp6316 is alive 


මීට කලින් ලිපියේ if යෙදෙන ආකාරය සලකා බලද්දි මම තැන් දෙකකදී සඳහන් කළා මතක ඇති subjunctive mood කියලා එකක් ගැන. මනඃකල්පිත, යතාර්ථවාදී නැතැයි සිතන හෝ සිදු වේ දැයි සැක සහිත දේ සඳහා මෙම ක්‍රියා රටාව භාවිතා වෙනවා කියලත් එතනදි කිව්වනේ. මේ වගේ අර්ථවලින් මෙය ඉංග්‍රීසි භාෂාවෙ වෙනත් තැන්වලත් පාවිච්චි වෙනවා.

බොහෝ යුරෝපීය භාෂාවල මෙම ගණයට අයත් ක්‍රියා රූප වෙනමම උගන්වනවා. නමුත් වර්තමාන ඉංග්‍රීසි භාෂාවෙ ඒවා එතරම් කැපී නොපෙනෙන තත්වයකට පත් වී ඇති නිසා ඒවා ගැන එතරම් අවධානයක් යොමු වෙන්නෙ නැහැ. කෙසේ වෙතත් එය භාවිතා වෙන පසුබිම් දැන සිටීම භාෂාව හොඳින් හැසිරවීමේදී වැදගත් වෙනවා. 

***මෙම ‍රටාවේ වර්තමාන අර්ථ සඳහා, ක්‍රියාවක සාමාන්‍ය අතීත කාල ස්වරූපය (past tense), එනම් අපි කලින් ලිපියක (E) ලෙස නම් කළ රටාවේ එන ස්වරූපය, භාවිතා කෙරෙනවා. නමුත් අතීත කාලයට was යෙදෙන තැන්වල නම් මේ රටාවෙදි - විශේෂයෙන් විධිමත් (formal) භාෂාවෙ සහ සාම්ප්‍රදායික යෙදුම්වල (idiomatic expressions) - ඒ වෙනුවට were පාවිච්චි වෙනවා. (ඇතැම් අය මෙහිදී was යෙදීම කොහෙත්ම නුසුදුසු යැයි සලකනවා.)

මෙසේ යම් ක්‍රියාවක අතීත කාල ස්වරූපයම මෙහි වර්තමාන අර්ථවලය භාවිතා වීම ඉංග්‍රීසි දෙවෙනි බසක් හැටියට ඉගෙන ගන්න අප‍ට සමහර අවස්ථාවල පැටලිලි සහිත වන නිසා මෙය හොඳින් තේරුම් ගත යුතුයි.

1. I wish (I knew / he had / she were…) රටාව - එසේ වුණා නම් කොපමණ හොඳද කියා සිතනවා

මෙහි I wish වෙනුවට He wishes, they wish… වැන්නක් තිබිය හැකියි. subjunctive ක්‍රියා පද වර්තමාන කාල හා අතීත කාල වාක්‍යවල වෙනසක් නැතිව භාවිතා වෙනවා.

I wish I knew it. මම ඒක දන්නව නම් කොච්චර හොඳද කියල මට හිතෙනවා.

I wish I could stop smoking. මට දුම්බීම නවත්තන්න පුලුවන් නම් කොච්චර හොඳද කියල මට හිතෙනවා.

I wish my father were alive. මගෙ තාත්තා ජීවතුන් අතර හිටියා නම් නම් කොච්චර හොඳද කියල මට හිතෙනවා.

I wish I didn’t (did not) have to do it. මම ඒක කරන්න ඕනැ නැත්නම් නම් කොච්චර හොඳද කියල මට හිතෙනවා.

We wish our parents had a lot of money. අපේ දෙමව්පියන්ට ගොඩක් සල්ලි තිබුන නම් කොච්චර හොඳද කියල අපට හිතෙනවා.

We wish he didn’t know it. එයා එක නොදන්නව නම් කොච්චර හොඳද කියල අපට හිතෙනවා.

He wishes he were rich. එයා පෝසත් උනා නම් කොච්චර හොඳද කියල එයා හිතනවා.

They wish they had a car. ඒ ගොල්ලන්ට කාරෙකක් තිබුන නම් කොච්චර හොඳද කියල එ ගොල්ලො හිතනවා.

***අතීතයේදී කැමැත්තෙන් සිටි දෙයක් ගැනත් මේ රටාවම යොදා ගන්නවා.

I wished I knew it. මම ඒක දැනගෙන හිටිය නම් කොච්චර හොඳද කියල මට හිතුනා.

I wished I could stop smoking. මට දුම්බීම නවත්තන්න පුලුවන් නම් කොච්චර හොඳද කියල මට හිතුනා.

He wished he were rich. එයා පෝසත් උනා නම් කොච්චර හොඳද කියල එයා හිතුවා.

He wished he knew the truth. ඇත්ත දැන ගෙන හිටිය නම් කොච්චර හොඳද කියල එයා හිතුවා.

When I was a child I wished I didn’t have term tests.
මම පොඩි කාලෙ මම හිතුවා වාර පරීක්ෂණ නොතිබුනා නම් කොච්චර හොඳද කියල.

2. If only (I knew / he had / she were…) රටාව - එසේ වුණා නම් කොපමණ හොඳද (කියා මම / අපි සිතනවා)

මෙය වර්තමාන කාලයේ තමන්ගේ කැමැත්තක් ප්‍රකාශ කිරීමට යොදා ගන්නවා.

If only I knew it. ඒක මම දන්නව නම් කොච්චර හොඳද.

If only she were here. එයා මෙහෙ හිටියා නම් කොච්චර හොඳද.

If only they weren’t (were not) here. ඒ අය මෙහෙ නොහිටියා නම් කොච්චර හොඳද.

***මෙහිදී if only යන්න only if (එසේ නම් පමණක්) සමග පටලවා නොගත යුතුයි.

You can go there only if you finish your homework first. ඔයාට එහෙ යන්න පුලුවන් ඊට කලින් (ඉස්කෝලෙ) ගෙදර වැඩ ඉවර කෙරුවොත් විතරයි.

3. as if / as though (I knew / he had / she were…) එසේ යයි පෙනෙන / පෙන්වන යමක් ගැන

යමක් එසේ යයි පෙන්වන / පෙනෙන අවස්ථාවක මෙය භාවිතා වෙනවා. මෙසේ පෙන්වන / පෙනෙන දෙය ඇත්තෙන්ම එසේ වීමට හෝ නොවීමට හැකියි. මෙහිදී subjunctive mood පාවිච්චි කරන්නේ එය ඇත්තෙන්ම නම් එසේ නොවේ යැයි අපි සිතන විටයි. 

එය ඇත්තෙන්ම එසේ වීමට ඉඩ ඇති බව අපි සිතන විට වර්තමාන කාල වාක්‍යවල වර්තමාන කාල ක්‍රියාවද, අතීත කාල වාක්‍යවල අතීත කාල ක්‍රියාවද යෙදෙනවා. මෙම වෙනස පැහැදිලිව පෙනෙන්නේ වර්තමාන කාලයේදීයි. (නැති නම් අතීත කාලයට was යෙදෙන තැනකදීයි.) 

subjunctive ක්‍රියා පද වර්තමාන කාල හා අතීත කාල වාක්‍යවල වෙනසක් නැතිව භාවිතා වෙනවා.

He behaves as if / as though he had lots of money. එයා හැසිරෙන්නෙ එයාට සල්ලි ගොඩක් තියෙනවා වගේ. (එයාට සල්ලි ගොඩක් තියනවා කියලා අපි හිතන්නේ නැහැ, ඒ නිසා subjunctive mood යෙදෙනවා.)

She acts as if she knew everything. එයා ඉන්නෙ එයා ඔක්කොම දන්නවා වගේ. (එයා ඔක්කොම දන්නවා කියලා අපි හිතන්නෙ නැති නිසා subjunctive mood යෙදෙනවා.)

They spoke as if they could do anything. ඒ අය කතා කෙරුවෙ එ අයට ඕනැ දෙයක් කරන්න පුලුවන් වගේ. (ඒ අයට ඕනැ දෙයක් කරන්න පුලුවන් කියලා අපි නොහිතන නිසා නිසා subjunctive mood යෙදෙනවා.)

It looks as if it is / were going to rain. වහින්න වගේ යන්නේ. (වහීවි යයි අපි සිතන්නේ නම් සාමාන්‍ය වර්මාන කාලය, නැත්නම් subjunctive mood.)  

She looked as if she was / were tired. එයාට මහන්සි වගේ පෙනුනා.‍ (ඇත්තෙන්ම ඇය මහන්සි වී සිටියා යයි අපි සිතනවා නම් සාමාන්‍ය අතීත කාලය, නැත්නම් subjunctive mood.) 

He sounded as if he had a sore throat. එයාට උගුරෙ අමාරුවක් තිබුන වගේ කටහඬ ඇහුන විදිහට. (ඇත්තෙන්ම උගුරෙ අමාරුවක් තිබුනා යයි අපි සිතනවා නම් සාමාන්‍ය අතීත කාලයද, නැත්නම් subjunctive mood ද යෙදුනත් ක්‍රියා පදයේ ස්වභාවය නිසා මෙහිදී වෙනස පෙනෙන්නේ නැහැ.)

***
නමුත් අවිධිමත් (informal) අවස්ථාවල as if හෝ as though ට පසු ඕනෑම විටක වර්තමාන කාල වාක්‍යවල වර්තමාන කාල ක්‍රියාවද, අතීත කාල වාක්‍යවල අතීත කාල ක්‍රියාවද, යෙදීමත් දකින්නට ලැබෙනවා. ඒ වගේම as if හෝ as though වෙනුවට like යෙදීමත් අවිධිමත් භාෂාවේදී සිදු වෙනවා.

He behaves as if he has lots of money. එයා හැසිරෙන්නෙ එයාට සල්ලි ගොඩක් තියෙනවා වගේ.

She looked as if she was tired. එයාට මහන්සි වගේ පෙනුනා.

She acts like she knows everything. එයා ඉන්නෙ එයා ඔක්කොම දන්නවා වගේ.

It looks like it's going to rain. වහින්න වගේ යන්නේ.

***ප්‍රකාශය කරන්නේ වර්තමානයේ වුවත්, අතීතයේ වුවත්, එම අවස්ථාවට කලින් සිදු වී තිබිය යුතු දේ සඳහා, කලින් ලිපියක (G) ලෙස නම් කළ රටාව (had + past participle) යෙදෙනවා. නමුත් මෙහිදීත් අර්ථය වෙනස් බව මතක තබා ගත යුතුයි.

I wish I had seen her. මම එයාව දැක්ක නම් නම් කොච්චර හොඳද කියල මට හිතෙනවා.

If only we hadn’t (had not) written that letter. අපි ඒ ලියුම නොලිව්ව නම් කොච්චර හොඳද.

They wished they had finished their studies. ඒ ගොල්ලො ඉගෙනීම් කටයුතු ඉවර කළා නම් කොච්චර හොඳද කියල ඒ ගොල්ලො හිතුවා.

They act as if nothing had happened. ඒ අය ඉන්නෙ මොකුත් උනේ නැහැ වගේ. (නමුත් යමක් වී ඇති බව අපි සිතනවා.)

He looks as if he had slept badly. එයා හරියට නිදා ගෙන නැහැ වගේ පේන්නෙ. (නමුත් එය නින්ද සමග සම්බන්ධයක් නැතැයි අපි සිතනවා.) 

***පෙනෙන දෙය ඇත්තෙන්ම එසේ වී ඇතැයි අපි සිතන්නේ නම්, එසේ නැත්නම් අවිධිමත් (informal) අවස්ථාවලදී ඕනෑම විටක, වර්තමාන කාල වාක්‍යවල as if හෝ as though ට පසු (G) රටාව වෙනුවට (C) රටාව යෙදෙනවා. අවිධිමත් අවස්ථාවල as if හෝ as though වෙනුවට like යෙදීමේදීත් සැම විටම යෙදෙන්නේ (C) රටාවයි.

They act as if nothing has happened. ඒ අය ඉන්නෙ මොකුත් උනේ නැහැ වගේ. (ඇත්තෙන්ම කිසිවක් වී නැතැයි අපි සිතන්නේ නම්, එසේ නැත්නම් අවිධිමත් භාවිතයේදී.)

He looks as if he has slept badly. එයා හරියට නිදා ගෙන නැහැ වගේ පේන්නෙ. (ඇත්තෙන්ම හොඳින් නිදාගෙන නැතැයි අපි සිතන විට, එසේ නැත්නම් අවිධිමත් භාවිතයේ.)

They act like nothing has happened. ඒ අය ඉන්නෙ මොකුත් උනේ නැහැ වගේ. (අවිධිමත්)

He looks like he has slept badly. එයා හරියට නිදා ගෙන නැහැ වගේ පේන්නෙ. (අවිධිමත්)

***ප්‍රකාශය කරන්නේ වර්තමානයේ වුවත්, අතීතයේ වුවත්, එම අවස්ථාවට පසුව සිදු වීමට ඇති දේ සඳහා would do (play, teach, speak…) රටාව පාවිච්චි කරනවා. අර්ථයට අනුකූලව would වෙනුවට should, could, might පදද භාවිතාව‍ට ගැනෙනවා.

I wish we would win the match.* අප‍ට මැච් එක දිනනව නම් කොච්චර හොඳද කියල මට හිතෙනවා.

If only she would come back. එයා ආපහු එනවා නම් කොච්චර හොඳද.

They behave as if they would live forever. ඒ අය හැසිරෙන්නෙ ඒ අය හැමදාම ජීවත් වෙනවා වගේ. (නමුත් සැමදා ජීවත් විය නොයැකි බව අපි දන්නවා.)

They acted as if they could do whatever they wanted. ඒ ගොල්ලො හිටියෙ ඒ ගොල්ලන්ට ඕනැ දෙයක් කරන්න පුලුවන් වගේ. (නමුත් ඔවුන්ට හැම දේම කිරීමේ හැකියා‍ව නොතිබූ බව අපි දන්නවා.)

*මෙම රටාව යෙදෙන්නේ සිදු වීම සැක සහිත දෙයක් සම්බන්ධවයි. සිදු වෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වෙන දෙයක් ගැන මෙම රටාව යෙදෙන්නේ නැහැ. (To Reply or Not to Reply – මොකක්ද කරන්නෙ? ලිපියත් බලන්න.)


I wish you would study hard. ඔයා මහන්සි වෙලා ඉගෙන ගන්නවා නම් කොච්චර හොඳද. (එහෙම කරයිද කියලා නම් දන්නේ නැහැ.)

I hope you will study hard. මම බලාපොරොත්තු වෙනවා ඔයා මහන්සි වෙලා ඉගෙන ගනී කියල.
(මෙසේ අනාගතයේ සිදු වනු ඇතැයි බලාපොරොත්තු වෙන දෙයක් සම්බන්ධව hope පදය සමග අනිත් ක්‍රියා පදයේ වර්තමාන ක්‍රියා රූපත් බොහෝ විට යෙදෙනවා. ‘I hope you study hard.’) 

***පෙනෙන දෙය ඇත්තෙන්ම එසේ වෙනු ඇතැයි අපි සිතන්නේ නම්, එසේ නැත්නම් (informal) අවස්ථාවලදී ඕනෑම විටක, වර්තමාන කාල වාක්‍යවල as if හෝ as though ට පසු will, can, may… ආදිය යෙදෙනවා. අවිධිමත් අවස්ථාවල as if හෝ as though වෙනුවට like යෙදීමේදීත් සැම විටම යෙදෙන්නේ මේ ආකාරයටයි.

I feel as if I will be sick tomorrow. මට දැනෙන්නෙ (ඇත්තෙන්ම) මට හෙට අසනීප වෙයි වගේ. 

They behave as if they will live forever. ඒ අය හැසිරෙන්නෙ ඒ අය හැමදාම ජීවත් වෙනවා වගේ. (අවිධිමත්)

I feel like I will be sick tomorrow. මට දැනෙන්නෙ මට හෙට අසනීප වෙයි වගේ. (අවිධිමත්)

***අනාගත කාලයට සම්බන්ධ වාක්‍යයක (1) හෝ (3) රටාව භාවිතා වෙන විටත් ඉහත ආකාරයන්ම අනුගමනය නරනවා.

You will wish you hadn’t done it. ඔයා ඒක නොකළා නම් කොච්චර හොඳද කියල ඔයාට හිතේවි.

They will act as if they knew everybody. ඒ ගොල්ලො ඉඳීවි ඒ ගොල්ලො ඔක්කොම අඳුරනවා වගේ. 

***තවත් subjunctive mood යෙදෙන, බහුලව භාවිතා වෙන රටාවක් තමයි It is time (that)හෝIt is high time (that)…යන්න. කාලය පැමිණ ඇතත් තවම සිදු වී නැති දෙයක් එහි දැක්වෙන නිසා එසේ වෙනවා.

It’s time (that) the rainy season started. (It’s time for the rainy season to start.) වැහි කාලෙ පටන් ගන්න කාලෙ හරි.

It’s time (that) we finished this. (It’s time for us to finish this.) අපට මේක ඉවර කරන්න වෙලාව හරි.


***නමුත්යමක් බොරුවට හඟවනවා යන්නට යෙදෙන pretend පදය සමග නම් ගැනෙන්නේ සාමාන්‍ය ක්‍රියා රටායි.

She is pretending that she is sick. එයා බොරුවට අසනීපයි කියලා පෙන්නනවා.

She is pretending to be sick. එයා බොරුවට අසනීපයි කියලා පෙන්නනවා.

She is pretending sickness. එයා බොරුවට අසනීපයි කියලා පෙන්නනවා.

***යමක් සිතින් මවා ගන්නවා යන්නට යෙදෙන imagine පදය සමග බොහෝ විට ගැනෙන්නේත් සාමාන්‍ය ක්‍රියා රටායි. නමුත් අතාත්වික බව හුවා දැක්වීමට ඇතැම් විට subjunctive භාවිතා කෙරෙනවා.

Imagine (that) you’re in a desert. ඔයා කාන්තාරෙක ඉන්නවා කියලා හිතන්න (හිතින් මවා ගන්න).

Imagine being in a desert. කාන්තාරෙක ඉන්නවා කියලා හිතන්න (හිතින් මවා ගන්න).

Imagine yourself / him (being) in a desert. ඔයා / එයා කාන්තාරෙක ඉන්නවා කියලා හිතන්න (හිතින් මවා ගන්න).

Imagine yourself / him as a desert-dweller. ඔයා / එයා කාන්තාර වැසියෙක් කියලා හිතන්න (හිතින් මවා ගන්න).

Imagine yourself / him rich. ඔයා / එයා පෝසත් කියලා හිතන්න (හිතින් මවා ගන්න).

Imagine how I felt in that situation. මට ඒ අවස්ථාවේ දැනුනේ කොහොමද කියලා හිතන්න (හිතින් මවා ගන්න).

Imagine how you would feel in such a situation. ඔයාට ඒ වගේ අවස්ථාවක කොහොම දැනෙයිද කියලා හිතන්න (හිතින් මවා ගන්න).

Imagine (that) people could fly. මිනිස්සුන්ට පියාඹන්න පුළුවන් කියලා හිතන්න (හිතින් මවා ගන්න).

***එලෙස පෙනෙනවා යන අර්ථයෙන් ඉතා බහුලව භාවිතා වෙන seem පදය සමග පහත ආකාරවල විවිධ රටා යෙදෙනවා.

It seems (to me) that she is intelligent. එයාට මොළේ තියනවා (බුද්ධිමත්) වගේ (මට) පේනවා / පේන්නේ.

It seems (to me) that she isn’t intelligent. එයාට මොළේ නැහැ (බුද්ධිමත් නැහැ) වගේ (මට) පේනවා / පේන්නේ.

It seemed (to me) that she was intelligent. එයාට මොළේ තියනවා (බුද්ධිමත්) වගේ (මට) පෙනුනා / පෙනුනේ.

It seemed (to me) that she wasn’t intelligent. එයාට මොළේ නැහැ (බුද්ධිමත් නැහැ) වගේ (මට) පෙනුනා / පෙනුනේ.

It seems (to me) that she is an intelligent girl. එයා මොළේ තියන (බුද්ධිමත්) ගෑණු ළමයෙක් වගේ (මට) පේනවා / පේන්නේ.

It seems (to me) that she likes us. එයා අපට කැමතියි වගේ (මට) පේනවා / පේන්නේ.


It seems (to me) that she doesn’t like us. එයා අපට කැමති නැහැ වගේ (මට) පේනවා / පේන්නේ.

It seems (to me) that she has left. එයා ගිහින් වගේ (මට) පේනවා / පේන්නේ.

It seems (to me) that she hasn’t left. එයා ගිහින් නැහැ වගේ (මට) පේනවා / පේන්නේ.

It seemed (to me) that she liked us. එයා අපට කැමතියි වගේ (මට) පෙනුනා / පෙනුනේ.

It seemed (to me) that she didn’t like us. එයා අපට කැමති නැහැ වගේ (මට) පෙනුනා / පෙනුනේ.

It seemed (to me) that she had left. එයා ගිහින් වගේ (මට) පෙනුනා / පෙනුනේ.

It seemed (to me) that she hadn’t left. එයා ගිහින් නැහැ වගේ (මට) පෙනුනා / පෙනුනේ.

It seemed as if / as though / like she was / were intelligent. එයාට මොළේ තියනවා (බුද්ධිමත්) වගේ පෙනුනා / පෙනුනේ. (මීට කලින් රටාවලදී මෙන්, ඇත්තෙන්ම එසේ යයි සිතනවාද නැද්ද හා භාවිතය විධිමත්ද අවිධිමත්ද යන කරුණු මත යොදා ගන්නා ස්වරූපය වෙනස් වෙනවා.)

She seems (to be) intelligent. එයාට මොළේ තියනවා (බුද්ධිමත්) වගේ පේනවා / පේන්නේ.

She doesn’t seem (to be) intelligent. එයාට මොළේ නැහැ (බුද්ධිමත් නැහැ) වගේ පේනවා / පේන්නේ.

She seemed (to be) intelligent. එයාට මොළේ තියනවා (බුද්ධිමත්) වගේ පෙනුනා / පෙනුනේ.

She didn’t seem (to be) intelligent. එයාට මොළේ නැහැ (බුද්ධිමත් නැහැ) වගේ පෙනුනා / පෙනුනේ.

She seems like an intelligent girl. එයා මොළේ තියන (බුද්ධිමත්) ගෑණු ළමයෙක් වගේ පේනවා / පේන්නේ.

She seems (to be) an intelligent girl. එයා මොළේ තියන (බුද්ධිමත්) ගෑණු ළමයෙක් වගේ පේනවා / පේන්නේ.

She seems to like us. එයා අපට කැමතියි වගේ පේනවා / පේන්නේ.


She doesn’t seem to like us. එයා අපට කැමති නැහැ වගේ පේනවා / පේන්නේ.

She seems to have left. එයා ගිහින් වගේ පේනවා / පේන්නේ.

She doesn’t seem to have left. එයා ගිහින් නැහැ වගේ පේනවා / පේන්නේ.

She seemed to like us. එයා අපට කැමතියි වගේ පෙනුනා / පෙනුනේ.

She didn’t seem to like us. එයා අපට කැමති නැහැ වගේ පෙනුනා / පෙනුනේ.

She seemed to have left. එයා ගිහින් වගේ පෙනුනා / පෙනුනේ.

She didn’t seem to have left. එයා ගිහින් නැහැ වගේ පෙනුනා / පෙනුනේ.


I can’t seem to do this. මට මේක කරන්න බැහැ වගේ පේනවා / පේන්නේ.

I couldn’t seem to do that. මට ඒක කරන්න බැහැ වගේ පෙනුනා / පෙනුනේ.

There seems to be a problem. ප්‍රශ්නයක් තියනවා වගේ පේනවා / පේන්නේ.

What seems to be the problem? ප්‍රශ්නෙ මොකක් වගේද පෙන්නේ (ප්‍රශ්නෙ මොකක් කියලද හිතන්නේ)?

තවත් දේවල් මෙතන කතා කරන්න තිබුන නම් හොඳයි කියල හිතෙනවා. ඒත් ඊළඟ සැරේම බලමු. (I wish we could discuss more here. But we would rather do so next time.)



13 comments:

  1. මම හැමදාම ලිපියක් පලවුනොත් බලනව එකපාරක් කියවල වැඩක් නැහැ හිතට වැටෙන්න කීපපාරක් කියවනව. ඇත්තටම වටිනා මෙහෙයක් ඉටු කරනවාට මගේ ප්‍රණාමය. හැමදාම බලනව විතරයි. comment කරන්නේ නැහැ. ඉතින් අද හිතුනා comment දාන්න. ඒක අපේ කළගුණ සැලකීමක්. ගුරු පඩුරු දෙන්නත් බැහැ නේ...

    ReplyDelete
  2. Sujeewa සර්ගෙන් අපි ගොඩක් දේවල් ඉගන ගන්නවා. මේ 'If only' කියන එක මම අද තමා ඉගන ගත්තේ. බොහොම ස්තුතියි සර්.
    If only I had an English knowledge like you :)

    ReplyDelete
  3. @wath
    ඉඳල හිටල හරි comment එකක් දාන එක හොඳයි. එතකොට මම දැන ගන්නවා මේකෙන් කාට හරි වැඩක් වෙනවා කියල.

    ReplyDelete
  4. @දසයා

    "If only I had an English knowledge like you"

    - You will one day, if you just keep learning.

    ReplyDelete
  5. මමත් හැමදාම මෙහෙ එනවා යනවා.. ඒත් කමෙන්ටුවක් දාන්න බැරි වුනා.. ඇත්තටම හරිම වටින ලිපි එකතුවක්... දිගටම ලියන්න.. වැඩිපුර එදිනෙදා ජීවිතයේදී භාවිතා කෙරෙන වාග් රටා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.. බොහොම ස්තූති ඔබතුමාට... ජයෙන් ජය..

    ReplyDelete
  6. @Udara || උදාර මදුෂංක
    එදිනෙදා ජීවිතයට අදාළ වාග් රටා වැඩිපුර ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නම්.

    ReplyDelete
  7. Corona නිස ගෙදර නිකන් ඉන්නෙ නැතුව English ටික්ක් ඉගෙන ගන්නව. ඔබ තුමාට ගොඩක් පිං.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි අහන්න.

      Delete
  8. සර්ගේ බ්ලොග් එකේ තියන මන් බලපු කරුණු හැමදෙයක්ම වගේ මන් පොතක් අරන් ලියල තියෙන්නේ සර්.නැත්නම් එක සැරයක් බැලුවට අමතක වෙන නිසා .සර්ට ගොඩක් පිං සිද්ධවෙනවා මන් සර්ගේ මේ බ්ලොග් එකෙන් සෑහෙන්න දේවල් ප්‍රමාණයක් ඉගෙනගෙන තියනවා ඉගෙන ගනිමින් ඉන්නවා.
    සර් මේ article එකේ මට පොඩි ගැටළු කීපයක් අවා.

    1. As if කොටසේදී මොකක්ද මේ subjective mood කියන්නේ ..
    සර් අරන් තියන එක උදාහරනෙක තියෙන්නේ
    • He behaves as if she had lot of money.
    එයා හැසිරෙන්නේ එයාට සල්ලි ගොඩක් තියනවා වගේ (එයාට සල්ලි ගොඩක් තියනවා කියල අපි හිතන්නේ නැහැ)
    එහෙනම් එයාට ඇත්තටම සල්ලි ගොඩක් තියනවා කියල හිතල මේක ලියන්නේ කොහොමද සර් ?
    • She acts as if she knew everything.
    එයා ඉන්නේ එයා ඔක්කොම දන්නවා වගේ (එයා ඔක්කොම දන්නවා කියල අපි හිතන්නේ නැති නිසා subjective mood යෙදෙනවා කියල එකෙත් සර් කියනවා .)
    එහෙනම් කොහොමද සර් එයා හැසිරෙන්නේ ඇත්තටම ඔක්කොම දන්නවා වගේ කියලා කියන්නේ?..මට ඔයේ ටික තේරෙන්නේ නෑ සර්......ඔයේ subjective mood කියන එක තේරෙන්නෙ නැති හින්දද දන්නෙත්

    2. සර් Number one (1) වලින් රටාවක් දාල තියනවනේ I WISH (I knew / she had /she were… ) කියල
    එකට අනුව අපිට කියන්න පුළුවන්
    I wish I knew it.
    මම ඒක දන්නවා නම් කොච්චර හොදද කියල මට හිතෙනවා, කියල .
    ඒ වගේම ටිකක් පල්ලෙහාට වෙන්න තරු තුනක් දාලා ලියල තියනවා වෙනම රටාවක්

    I wish I had seen her.
    මම එයාව දැක්කනම් කොච්චර හොදද කියල මට හිතෙනවා කියල.
    ඇයි සර් මේ had +past participle දාල ලිව්වම කොහොමද අර්තය වෙනස් වෙන්නේ.අපිට මේකම පලවෙනි රටවෙන්ම කියන්න බැරිද සර් ?

    3. It seems (to me ) that she has left
    එයා ගිහින් වගේ (මට)පේනවා /පෙන්නේ
    මෙතන seemed කියලා නෙමේද සර් ලියන්නේ

    ReplyDelete
    Replies
    1. 1.
      The subjunctive mood, which mostly resembles past-tense verb forms in modern English, is sometimes used to talk about what we consider to be unrealistic or imaginary. (More about it is found in other articles of the blog.)

      In the two sentences you’ve quoted, (as mentioned in this article itself) you just use the suitable present-tense verb forms if you think it’s really so.

      “He behaves as if she has lot of money.”
      “She acts as if she knows everything.”
      2.
      “I wish I knew it.” – Here the verb ‘knew’ isn’t in the past tense though it looks like that. It’s in the subjunctive mood because in reality I don’t know it.

      “I wish I had seen her.” – Here ‘had seen’ isn’t the past participle. It’s the subjunctive mood and it refers to something that didn’t happen in the past: in reality I didn’t see her (or I haven’t seen her).

      3.
      If you use ‘seemed’, you’re talking about something that looked that way at some point in the past.
      “It seems (at present) that she has left.”

      ´It seemed (at that time) that she had left.”

      Delete
    2. No doubt, all are clear. Thanks a lot sir

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails